2-9. යහළු භික්ෂූන් දෙනමකගේ කථා වස්තුව

0
4


පින්වතුනේ, පින්වත් දරුවනේ,

මෙම කථාවේ සඳහන් වන්නෙත් කැපවීම ගැනයි. උත්සාහය ගැනයි. වීරිය ගැනයි. ප්‍රමාද නොවීම ගැනයි. බුදුරජාණන් වහන්සේ තරම් උත්සාහය ගැන කතා කරපු වෙන කිසි කෙනෙක් නෑ. උන්වහන්සේ එතරම්ම උත්සාහය අගය කළා. කෙනෙකුගේ ජයග්‍රහණයට මුළුමනින්ම බලපාන්නේ තමන්ගේ උත්සාහයයි, කැපවීමයි. අද පමණක් නොවෙයි එදත් එ් විදිහමයි.

සැවැත් නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයෙහි මුලු මහත් කෝසල ජනපදය පුරාම මහත් ප්‍රබෝධයක් ඇතිවුණා. බොහෝ තරුණයන් සසුන්ගත වුණා. අලූතෙන් අරණ්‍ය සේනාසන බිහිවුණා. බොහෝ දෙනෙක් සීල, සමාධි, ප්‍රඥා වැඩුවා. ඉතින් මෙය සකල මිනිස් වර්ගයාටම මෙලොව පරලොව ජයගත් ස්වර්ණමය යුගය බවට පත්වුණා.

දිනක් යහළුවන් දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සසුන්ගත වුණා. භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩිද්දී මේ දෙනමත්, එම චාරිකාවට එක් වුණා. භාවනා කිරීමට හුදෙකලා තැනක් සොයන්නට පටන් ගත්තා. මේ දෙනමට ඉතාම සුන්දර අරණ්‍යයක වාසය කරන්නට ලැබුණා.


මෙම යහළුවන් දෙදෙනා ගිහි කල නිතර කතා බස් කරමින් කල් ගෙවනවා. වල් පල් දොඩනවා. පැවිදි වුණාට පස්සේ මේ ගතිය වෙනස් වුණා. එක නමක් ගිහි කාලයේ වගේම කතා බහෙන් කල් ගෙවන්නට කැමති නමුත්, අනිත් නම එයට කැමති වුණේ නෑ. එ් නිසා මේ දෙනම තනි තනිවම බණ භාවනා කරගන්නට කතිකා කරගත්තා. අර ගිහි කාලෙ වගේම කතාවෙන් කල් ගෙවන්නට කැමති භික්ෂුවට අලුතින් කතාබහට කවුරුවත් නැතිව ගියා. උන්වහන්සේ පිණ්ඩපාතෙ වඩිනවා. පාරෙ යද්දී එක එක අරමුණු ඇස්වලට මුණගැහෙනවා. එ්වා ගැන හිතනවා. එක එක දේවල් අසන්නට ලැබෙනවා. එ්වා ගැනත් හිතනවා. රසවත් කෑම බීම ලැබෙනවා. එ්වා ගැනත් හිතනවා. ඉතින් හොඳට වළඳලා නිදාගන්නවා. කතාබහට කවුරුත් නැති නිසා වැඩිපුර නිදාගත්තා. සීත වෙනකොට ගිනි ගොඩක් ගහලා ඇති පදමට ගිනි තපිනවා.

අනිත් ස්වාමීන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව ගමට පිණ්ඩපාතෙ වඩිනවා. පාරේදි මුණගැහෙන අරමුණු වලට මිශ්‍ර වෙන්න යන්නෙ නැහැ. අසන්නට ලැබෙන අරමුණු වලින් සිත කලඹා ගන්නෙ නැහැ. යම් සිහි නුවණකින් යුතුව කුටියෙන් එළියට බැස්සාද, එ් සිහි නුවණින්ම ආපසු කුටියට වඩිනවා. සිහි නුවණින්ම දානය වළඳනවා. කොතරම් සීතල වුණත් ගිනි තපින්න පුරුදු වුණේ නෑ. සීතල රස්නෙ හැම දෙයක්ම ඉවසන්න පුරුදු වුණා. කෑමවල රස හොය හොයා ගියේ නෑ. සිහි නුවණින්ම සිවුරුත් පෙරෙව්වා. සිහි නුවණින්ම සැතපුණා. පුදුම විදිහට කැපවුණා. හිමිදිරි පාන්දර අවදිවෙනවා. සක්මන් භාවනාවේ යෙදෙනවා. වාඩිවෙලා භාවනා කරනවා. මුළු දවසම සක්මන් කරමින්, වාඩි වී භාවනා කරමින් නීවරණ ධර්මයන් යටපත් කරන්න මහන්සි ගත්තා. අන්තිමේදී උන්වහන්සේ ජයගත්තා. හොඳට සමාධිය දියුණු වුණා. නුවණින් විමසීමත් දියුණු වුණා. ප්‍රඥාව ඇති වුණා. කෙලෙස් දුරුවුණා. ආසවක්ඛය ඤාණය තුළින් අරහත්වයට පත්වුණා. මේ රහතන් වහන්සේට තමා සමඟ වැඩි යහළු ස්වාමීන් වහන්සේ ගැන හරි අනුකම්පාවක් ඇති වුනා. මහත් ආදරයෙන් අවවාද කළා. එ්ත් වීරිය ඇතිකර ගන්නට තරම් ශක්තියක් එ් ස්වාමීන් වහන්සේට තිබුණෙ නෑ. නමුත් මෙම යහළු දෙනමගේ මිත්‍රත්වය පරණ විදිහටම තිබුණා. පොඩ්ඩක් වත් වෙනස් වුණේ නෑ.

වස් කාලය ගෙවිලා ගියා. මේ දෙනම ඉතාමත් සතුටින් සැවැත් නුවර ජේතවනාරාමය බලා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. මේ දෙදෙනාගේ වෙනස ඉතාම පැහැදිලිව පෙනෙනවා. එක නමකගේ මුහුණ ඉතාමත්ම ප්‍රබෝධමත්. ප්‍රසන්නයි. ඉරියව් ශාන්තයි. පැවැත්ම සංවරයි. අතපය හසුරුවන්නෙ ඉතාම සිහියෙන් යුක්තවයි. කිසිම කලබලයක් නෑ. අනිත් නමට හරිම මහන්සියි. හරිම කලබලයි. හැම තිස්සෙම වටපිට බලනවා. සිහියෙන් තොරව ඇවිදිනවා. අතපය හසුරුවනවා. බුදුරජාණන් වහන්සේ මේ දෙනම දෙස මහත් ආදරයෙන් බැලූවා. රහතන් වහන්සේ තමන්ගේ පැවිදි ජීවිතය ජයගත් ආකාරය පැහැදිලි කළා. අලස වූ ස්වාමීන් වහන්සේ කරබාගෙන නිශ්ශබ්දව සිටියා.

එවේලෙහි බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

අප්පමත්තෝ පමත්තේසු – සුත්තේසු බහුජාගරෝ
අබලස්සං ව සීඝස්සෝ – හිත්වා යාති සුමේධසෝ

ප්‍රමාද වූ මිනිසුන් මැද – නොපමාවෙන් සිටින කෙනා
බොහො නිදනා මිනිසුන් මැද – නොනිදා වැර වඩන කෙනා
එ් මහ නුවණැති මිනිසා – ලොවම ජය ගනී එනිසා
දුර්වල අසු පරදවනා – ජවයෙන් යුතු අසු ලෙසිනා

පින්වතුනේ, පින්වත් දරුවනේ, මොහොතක් සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී පවා කාලය නාස්ති කරපු අය කොයිතරම් සිටින්ට ඇද්ද? කාලය නාස්ති කිරීමේදී එ් ගැන කිසිම බයක් නෑ. කම්පාවකුත් නෑ. සමහර දරුවන් සිටිනවා සෙල්ලමෙන්ම කල්ගත කරනවා. ටීවී බලමින් කල්ගත කරනවා. පරිගණක ක්‍රීඩා කරමින් කල්ගත කරනවා. එහෙම නැත්නම් යහළුවන් සමඟ විහිළු කර කර කල්ගත කරනවා. ජීවිතය ගෙවිලා යනවා හරිම වේගයෙන්. අන්තිමේදි විභාගය ළං වූ විට තැති ගන්නවා. කම්පා වෙනවා. බය වෙනවා. දුක් වෙනවා. සිතෙන් දුර්වල වෙනවා. පුළුවන් තරම් මගහැර ඉන්න කල්පනා කරනවා. එ්ක ප්‍රමාදය නිසාමයි ඇතිවෙන්නේ. නමුත් සමහර දරුවන් හරිම ඤාණවන්තයි. මොන තරම් යහළුවො සිටියත් ඒ මත්තේ නහින්නෙ නෑ. මොන තරම් සෙල්ලම් තිබුණත් එ් පස්සේම දුවන්නෙ නෑ. ඉගෙන ගන්නා කරුණුත් මහත් උත්සාහයකින් යුතුව ඉගෙන ගන්නවා. විවිධ භාෂාවන් ඉගෙන ගන්නවා. විවිධ ශිල්ප ඉගෙන ගන්නවා. විවිධ කුසලතා වර්ධනය කරගන්නවා. එ් තුළින් එයා ඉතාමත්ම ඉහළ මට්ටමට යනවා. පැවිදි ජීවිතය වුණත් එහෙම තමයි. වීරියවන්ත කෙනෙක් විතරයි ජයගන්නෙ.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාවේ දුර්වල අශ්වයා හැටියට සලකන්නේ කම්මැලි පුද්ගලයාවයි. කම්මැලි පුද්ගලයා කොර ගසමින් යන, කම්මැලි වූ, ඈනුම් අරිමින් සිටින, දුර්වල අශ්වයා වගෙයි. එ් අශ්වයාට රේස් යන්න බැහැ. දුවන්න බැහැ. කොර ගගහ යන්නෙ. මෙවැනි හීන වීරියෙන් යුතු මනුෂ්‍යයෙක් ඇසුරු කරන්නට ලැබුණොත් වීරියවන්තයාට වුණත් එය බලපානවා. දක්ෂ කෙනෙකුට වුණත් එම දුර්වල පුද්ගලයාගේ ඇසුර බලපානවා. එබදු අය ඇසුරෙන් තමන්ට වුණත් දියුණුව ලබාගන්නට තියෙන අවස්ථාව මගහැරෙන්නට ඉඩ තියෙනවා.

නමුත් ජව සම්පන්න අශ්වයා සුළඟටත් වඩා වේගයෙන් දුවනවා. ඊතලයකටත් වඩා වේගයෙන් පැනගෙන යනවා. වීරියවන්ත මනුෂ්‍යයා මහා නුවණින් යුතු ප්‍රඥාවන්තයා ජව සම්පන්න අශ්වයෙක් වගෙයි. ඔහු දුර්වල සියලූ දෙනාම පසුකොට වේගවත් ගමනක යෙදෙනවා. නිහඬ ගමනක යෙදෙනවා. ඔහු තමන්ගේ ඉලක්කය කරා කෙමෙන් කෙමෙන් ළං වෙනවා. ඔහු විවේකය ගන්නෙ ඊට පස්සේ. මෙවැනි වීරියවන්තයන් ඇසුරු කිරීමත් වාසනාවක් නොවේද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 2-9. යහළු භික්ෂූන් දෙනමකගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here