15-4. මාරයාගේ කථා වස්තුව-(මාර විෂය හරි පුදුමයි)

0
4


“මාරයා පව් රැස් කරගනී”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයෙහි මාර විෂය කියා දෙයක් තියෙනවා. මාර විෂය කියන්නේ මාරයාට බලපවත්වන්නට පුළුවන් යම් දෙයකට ද, එයටයි. මාරයා කියලා කෙනෙකු ලෝකයේ සිටින බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව වදාළා. ඔහුගේ බලපුළුවන්කාරකම් ගැනත් වදාළා. ඔහු අධිපතිකම් කරන්නේ සත්වයන්ගේ කෙලෙස් සහිතව ක්‍රියාත්මක වන ඇස, කන, නාසය, දිව, කය, මනස යන හයටයි. ඒ නිසා ඔහුගේ බලපෑමෙන් නිදහස් වීම ඉතා දුෂ්කර දෙයක්. ඔහුගේ සියලු බලපුළුවන්කාරකම් මර්ධනය කරමින් බුදුරජාණන් වහන්සේ බෝධිමූලයේදී ජයගත්තා. මාර විෂයෙන් නිදහස් වුණා. අනභිභවනීය තැනකට පත්වුණා. නමුත් මාරයා වරින්වර කරන හිරිහැරවල අඩුවක් වුණේ නෑ. මෙයත් එවැනි කථාවක්.

බුදුරජාණන් වහන්සේ එකල වැඩසිටියේ පඤ්චසාල කියන බ්‍රාහ්මණ ගමේ. එදා බුදුරජාණන් වහන්සේ පිහිට විය යුතු තැනැත්තන් කවුද කියා මහාකරුණාවෙන් බලා වදාළා. එතකොට උන්වහන්සේගේ මහා කරුණාවට හසුවුණේ එම ගම්වැසි පන්සීයයක් පමණ වූ කුමාරිකාවන් පිරිසක්. ඒ දරු පිරිස මුණගැසෙන අදහසිනුත්, පිණ්ඩපාතයේ වඩින අදහසිනුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගමට වැඩියා.

එදා මුළු ගමටම මාරයාගේ ආවේශය ඇතිවුණා. මිනිස්සුන්ගේ සිත් සතන්වලට මාරයාගේ බැල්ම වැටුණා. බුදුරජාණන් වහන්සේ ගමේ වඩින බව පෙනි පෙනී මිනිසුන් තම තමන්ගේ කටයුතු කරමින් සිටියා. ශ්‍රද්ධාමාත්‍රයක් ඇතිවුණේ නෑ. දන් පැන් පූජා කරගන්නට අදහසක්වත් ඇතිවුණේ නෑ. අපගේ භාග්‍යවතුන් වහන්සේ සෝදාගත් පාත්‍රය ඇතිවම කිසි ආහාරයක් නොලැබ ගමේ පිඬුසිඟා වැඩියා. ප්‍රධාන ගම් දොරටුව තෙක් වැඩියා. එතකොට ඒ ප්‍රධාන ගම් දොරටුව අසල සිටි මාරයා මෙහෙම ඇහුවා.

“හා…! ශ්‍රමණයන් වහන්ස… පිණ්ඩපාතය ලැබුණේ නැද්ද?”

“මාරය… මට පිණ්ඩපාතය නොලැබෙන්නේ යම් කරුණක් නිසා ද, එකරුණ ඔබ විසින් කරන ලද්දේය…”

“එහෙම නම් ශ්‍රමණයන් වහන්ස, ආයෙමත් ගමට වඩින්න. මං දානය ලැබෙන්නට සළස්වන්නම්…!

මෙසේ පැවසූ මාරයා මෙහෙම හිතුවා.

‘බැරිවෙලාවත් මේ ශ්‍රමණයන් වහන්සේ යළිත් ගමට වැඩියොත් මං හොඳ වැඩක් කරනවා… ගමේ සියල්ලන්ගේම සිරුරුවලට ආවේශ වෙලා අත්පුඩි ගහලා කෙළිකවටකම් කරවනවා’ කියලා.
ඒ අවස්ථාවේදී කෙළිසෙල්ලම් පිණිස ගිය කුමාරිකාවරු පන්සිය දෙනා භාග්‍යවතුන් වහන්සේව දැකලා එතනට ආවා. ඇවිදින් වන්දනා කරමින් එකත්පස්ව සිටියා.

එහිදී ධර්ම කථාවක් ඇතිවේය යන අදහසින් එයට බාධා පැමිණවීම පිණිස මාරයා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා.

“ශ්‍රමණයන් වහන්ස, දානෙ පොඞ්ඩක් වළඳන්නට නොලැබුණොත් බඩගිනි දුකෙන් පීඩාවට පත්වෙනවා නේද?”

මාරයාගේ සියලු අදහස් දැන වදාළ භාග්‍යවතුන් වහන්සේ මාරයාට මෙහෙම වදාළා.

“මාරය, ආහාර කිසිවක් නැතුවට ආභස්සර බ්‍රහ්මලෝකයේ මහාබ්‍රහ්මයා මෙන් මටත් පීති සුඛයෙන් කල් ගෙවන්නට පුළුවනි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළා.

සුසුඛං වත ජීවාම – යේසං නෝ නත්ථි කිඤ්චනං
පීතිභක්ඛා භවිස්සාම – දේවා ආභස්සරා යථා

අපට කිසිවක් නැතිව ගිය මුත් – වසමු අපි සුවසේම සැබැවින්
දේව ආභස්සර පිරිස් ලෙස – ප්‍රීති සැප වළඳමු අපිත්

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේට හිංසා පීඩා කරලා සතුටු වෙන අයත් ලෝකයේ හිටියා. උන්වහන්සේට ලැබෙන දානය වළක්වා සතුටු වෙන අයත් හිටියා. උන්වහන්සේට දන් හැන්ඳක් පූජා කොට කල්ප ගානක් සැප විපාක දෙන පින වළක්වා සතුටු වෙන අයත් හිටියා. උන්වහන්සේට ගරහා සතුටු වෙන අයත් හිටියා. නින්දා කොට සතුටු වෙන අයත් හිටියා. ලෝකය කෙරෙහි මහාකාරුණික බුදුකෙනෙකුන් වහන්සේට හිංසා කොට සතුටු වෙන ලෝකය තුළ ඒ බුදුරජාණන් වහන්සේම අකම්පිත සිතින් සෙත සළසා වදාළා.

එදා කුසගින්නේ වැඩසිටි බුදුරජාණන් වහන්සේගේ උත්සාහය සාර්ථක වුණා. අර පන්සියයක් කුඩා දියණිවරු සෝවාන් ඵලයට පත්වුණා. මොනතරම් යහපතක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

    තවත් මෙවැනි ලස්සන කතා කියවන්න ඔබ කැමති නම් පිවිසෙන්න >>

The post 15-4. මාරයාගේ කථා වස්තුව-(මාර විෂය හරි පුදුමයි) appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here