13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

0
3


“බොරු කියන්නාට නොකළ හැකි පාපයක් නෑ…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මිනිසුන් ඉරිසියාවට පුදුම විනාශකාරී දේවල් කරනවා. ලෝකයේ ඉරිසියාව තරම් මිනිස් හිත නීච බවට පත්කරන වෙන කිසිවක් නැද්දෝ කියලා හිතෙනවා. ඉරිසියාව වැඩිවුණාම තමන්ගේ තරාතිරමවත් තමන්ට තේරෙන්නේ නෑ. ඉරිසියාවට ලක්වෙන කෙනාව කොහෝම හරි විනාශ කරන්නයි කල්පනා කරන්නේ. ඒ වෙනුවෙන් ඉතා ලාභදායක දෙයක් තමයි නින්දා අපහාස කිරීම. නින්දා අපහාස තුළින් කෙනෙක්ව අපහදවන්න ලේසියි කියලයි ඉරිසියාකාරයා හිතන්නේ. එතකොට ඔහු කරන්නේ හැකිතාක් නින්දා අපහාස කරන එක.

බුදුරජාණන් වහන්සේව පවා අන්‍ය තීර්ථකයන් අතර බලවත් ඉරිසියාවට ලක්වුණා. ඔවුන් ඒ වෙනුවෙන් කළ හැකි සෑම නීච දෙයක්ම කළා. නමුත් පාරමී බලයෙන් පිරිපුන් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්ම චක්‍රය ඒ සියලු බාධා මැඬලමින් කරකැවුණා. මේ කථාවේ සඳහන් වන්නේ උන්වහන්සේ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් අභූත චෝදනා පිණිස කරුණු ගොනු කොට පව් රැස් කිරීමක් ගැනයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වය ලබා හතළිස් පස් වසරක් වැඩසිටියා. එයින් මුල් විසි වසර අයිති වන්නේ ප්‍රථම සම්බෝධි යුගයටයි. ඒ විසි වසර තුළ ශික්ෂාපද පැණවීමක් සිදුවුණේ නෑ. මහා පින් බලයෙන් යුතු උතුම් මිනිසුන් බුදුසසුනෙහි පැවිදි වුණේ ඒ යුගයේදී. උන්වහන්සේලා ධර්ම ශ්‍රවණය තුළින්ම හික්මුණා. උතුම් මගඵල ලැබුවා. ගිහි පිරිසත් ඒ විදිහයි.

ඉතින් ඒ ප්‍රථම සම්බෝධි යුගයේදී බොහෝ ගිහි පැවිදි ශ්‍රාවක පිරිස් බිහිවුණා. දෙවිමිනිස් ලෝ සතුන් උතුම් නිවන් මගට බැසගත්තා. අපගේ දසබලයන් වහන්සේගේ උතුම් සම්බුදුගුණ මැනැවින් ඉස්මතු වුණා. එනිසාම බොහෝ ලාභසත්කාර උපන්නා. හිරු මඬල උදාවන විට අඳුරෙහි බැබලී සිටි කණාමැදිරියන් සොයාගන්නවත් බැරිව යනවා. ඒ වගේ අන්‍ය තීර්ථකයන්ට ලාභ සත්කාර නැතිව ගියා. පිළිගැනීම නැතිව ගියා. ඔවුන් එකතු වෙලා කුමන්ත්‍රණය කළා.

“අනේ හැබෑවට… ශ්‍රමණ ගෞතමයන් විතරක් ද බුදුවුණේ….? අපිත් බුදුවරු නෙව… මොකෝ…. උන්නාන්සෙට දුන්නොත් විතර ද මහත්ඵල මහානිසංස ලැබෙන්නේ….? අපිට දුන්නාම එහෙම වෙන්නෙ නැද්ද…? එනිසා තමුසෙලා එක්කෙනෙක් පස්සේම යා යුතු නෑ. අපටත් සත්කාර කරපල්ලා… දන් පැන් දීපල්ලා…”

නමුත් මිනිස්සු ඒවා ගණන් ගත්තේ නෑ. චතුරාර්ය සත්‍යය අවබෝධ වීම නිසා ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී සිටියා. එතකොට ඔවුන් මෙහෙම කල්පනා කළා.

‘මේ වැඬේ හරියන්නේ නෑ… මොන උපායකින් හරි ශ්‍රමණ ගෞතමයන් ගැන මිනිස්සු තුළ ඇති පැහැදීම නැති කරන්න ඕන. ලැබෙන ලාභසත්කාර වනසන්න ඕන’ කියලා.

ඒ කාලෙ සැවැත් නුවර චිඤ්ච මානවිකා නමින් තාපසියක් හිටියා. ඇය දිව්‍ය අප්සරාවක් වගේ රූප සෝභාවෙන් යුක්තයි. කොච්චර ලස්සන ද කියන්නේ ඇගේ ශරීරයෙන් රැස් විහිදෙනවා වගෙයි පෙනෙන්නේ. අන්‍ය තීර්ථකයන්ගේ සාකච්ඡාවේදී ඇය ගැනත් කතා බස් වුණා. කෙනෙක් මෙහෙම කිව්වා.

“හරි! මට අදහසක් පහළ වුණා. අපේ චිඤ්ච මානවිකාව මේ වැඩේට පටලවා ගම්මු. ශ්‍රමණ ගෞතමයන්ට ඒ තුළින් නින්දාවක් උපද්දමු. එතකොට ලාභ සත්කාර නිකම්ම නැතිවෙලා යාවි.”

“ඒක නම් යස අගේ ඇති උපායක් තමයි” කියලා හැමෝම සතුටු වුණා.

එදා තීර්ථකයන්ගේ ආරාමයට ගිය චිඤ්චිය ඔවුන්ට වන්දනා කොට සිටියා. තීර්ථකයන් ඈ සමඟ කතා කළේ නෑ.

“අහෝ! මගෙන් මොකුත් වරදක් වුණාවත්ද? ආර්යයන් වහන්ස, මම වන්දනා කරමි. ඇයි ආර්යයන් වහන්සේලා අද මාත් එක්ක කතා කරන්නේ නැත්තේ…?” කියා ඇය තුන් වතාවක්ම වැන්දා. එහෙත් ඔවුන් උත්තර දුන්නෙ නෑ. ඇය නැවත ආයාචනා කළා. එතකොට ඔවුන් මෙහෙම කිව්වා.

“නැගණියෙනි, නුඹට කිසි වගක් නෑ නේද? ශ්‍රමණ ගෞතමයන් අපිව විනාශ කළා. ලාභ සත්කාර වැනසුවා. මේ ගැන දන්නෙ නැද්ද තී?”

“අනේ ආර්යයන් වහන්ස, මම මොකෝවත් දැනසිටියේ නෑ. ඉතින් අපි මොකක්ද මේකට කළ යුත්තේ?”

“නැගණියෙනි, ඉදින් නුඹ අපේ සැපය කැමති නම් නුඹම මැදිහත් වෙලා ශ්‍රමණ ගෞතමයන්ට නින්දාවක් උපද්දවාපන්. ලාභ සත්කාර වනසාපන්.”

“හොඳයි! ආර්යයන් වහන්ස. ඔය වැඩේ මං භාර ගන්නම්. තමුන්නාන්සේලා කල්පනා කළ යුතු නෑ.”

එදා සිට අසත්පුරුෂයන්ගේ ඇම ගිල ගත් මේ පව්කාර ස්ත්‍රිය අපූරු උපායක් යෙදුවා. සැවැත් නුවර දෙව්රමට මිනිස්සු බණ අහන්න යනවා. ඔවුන් ආපසු එද්දී රතුපාට සළුවක් පොරවාගෙන සුවඳ මලුත් අරගෙන චිඤ්චිය දෙව්රම දෙසට යනවා.

“අපි මේ බණ අහලා ඉවර වෙලයි යන්නේ. මේ තැනැත්තී දැන් යන්නේ කොහෙද?”

“බොලාට මොටද මගේ යන ගමන් බිමන් ගැන?” කියලා දෙව්රම ආසන්නයේ තිබුණු තීර්ථකයින්ගේ ආරාමයකට යනවා. පසුවදා උදේට දෙව්රම් වෙහෙරින් නික්ම යන එකියක ලෙස නගරෙට පිටත් වෙනවා.

“ඊයේ හවස නේද ගියේ. මේ ඇත්ති කොහෙද රෑ හිටියේ?”

“බොලාට මොටද මං උන් හිටි තැන්?”

ඉතින් මේ පවිටු ස්ත්‍රිය මාසයක් දෙකක් ඔය විදිහට රඟපෑවා. අන්තිමේදී ඈ මෙහෙම කියන්න ගත්තා.

“නුඹලාට මොටද මං රෑට නවතින්නේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගන්ධ කුටියේ වග දැනගං.”

පෘථග්ජන උදවියට මෙය ඇත්තක් වගේ පෙණුනා.

“අයියෝ…! මෙහෙම දේවලුත් මෙවැනි තැනක සිද්ධ වෙනවාද?” කියලා කසුකුසුවක් ඇතිවුණා.

තුන් හාර මාසයක් යද්දී මේ පවිටු ස්ත්‍රිය රෙදි කැබලිවලින් කුස වෙලා ගත්තා. ගර්භනී මාතාවකගේ වෙස් ගත්තා. රතු රෙද්දක් ඇඟට පොරවා ගත්තා. දැන් ඈ හැම තැනම ඇවිදිනවා.

“මදෑ…. ශ්‍රමණ ගෞතමයන් නිසා මගේ බඩට දරුවෙකුත් ලැබුණා නෙව…!”

දැන් ඈ ටිකෙන් ටික කුස මෝරන බවකුත් පෙන්නුම් කළා. දර කෑලි දාලා කුසේ ප්‍රමාණය උස් කරලා පෙන්නුවා. ඇවිදගෙන යද්දී ඉණට අත තියාගෙන හති දදා යනවා.

එදා හවස් යාමේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මාසනයේ වැඩහිඳ ශ්‍රාවක පිරිසට දහම් දෙසමින් සිටියා. ඇය සෙනඟ පීරාගෙන මහත් වෙහෙසකින් වගේ ඉදිරියට ආවා. ශාලාව දෙවනත් වෙන්න හඬ නගා මෙහෙම කිව්වා.

“හනේ… හනේ… මහා ශ්‍රමණයන් වහන්ස, තාමත් මහජනයාට බණ කිය කිය ඉන්නවා නෙව. ඔබගේ හඬ නම් මිහිරි තමයි. දත් පිහිටා ඇති හැඩත් ලස්සන තමයි. ඒ වුණාට ඔබ නිසා දැන් මගේ කුසේ ඉන්න දරුවා බිහිවෙන්න ආසන්නයි නෙව. අනේ හැබෑටම…? තවමත් තිඹිරි ගෙයක් හෙව්වේ නැද්ද? ගිතෙල්, තෙල් ආදිය තමන්ට හොයා ගන්න බැරි නම් ඔය ඉන්නෙ කොසොල් රජ්ජුරුවො, අනේපිඬු සිටාණෝ, විශාඛා මහෝපාසිකාවෝ ආදිය. උන්දැලාට කිව්වා නම් නරකද මේ චිඤ්චියට මේ වෙලාවේ උදව් කළ යුතුයි කියලා… එකට වාසය කරන්න විතරද දන්නේ…? දරුවා ලැබෙන කොට උපස්ථාන කරන්න දන්නෙ නැද්ද?” කියලා අසුචි පිඬක් රැගෙන සඳ මඬල දූෂණය කිරීමට වෑයම් කරන්නියක සේ භාග්‍යවතුන් වහන්සේට නින්දා කළා. භාග්‍යවතුන් වහන්සේ අකම්පිත සිංහ රාජයෙකු සේ දම් දෙසුම නවත්වා ඈ ඇමතුවා.

“එම්බා නැගණිය, ඔබ ඔය කරන කථාවෙහි සත්‍ය අසත්‍ය බව ඔබත් මාත් දන්නවා නේද?”

“එසේය, මහා ශ්‍රමණය. මේ කාරණාව ඔබත් මාත් පමණක් දන්නා බව මොනතරම් ප්‍රසිද්ධ දෙයක්ද?”

පින්වතුනේ, පින්වත් දරුවනේ, නීච අයුරින් අසත්පුරුෂ ප්‍රහාරයක් එල්ල වන මේ වේලෙහි සක් දෙවිඳුගේ ආසනය උණුසුම් වුණා. ඔහු තව්තිසාවෙහි සිට මිනිස් ලොව දෙස බැලුවා. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරම නිර්මල වූ, පරම පිරිසිදු වූ අසිරිමත් බඹසරට නින්දා කරන නීච චිඤ්චාව දුටුවා. සක් දෙවිඳු දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් සමඟ මනු ලොවට බැස්සා. අර දිව්‍ය පුත්‍රයන් සතර දෙනා මී පැටවුන්ගේ වෙස් ගත්තා. ඔවුන් ඉර්ධියෙන් චිඤ්චාවගේ හොර ගැබට ඇතුළු වුණා. වැල් පොටවල් කපන්න ගත්තා. එක සැණින් සුළඟක් ආවා. රෙදි වැරලි කැළඹුණා. තමන් ඉදිරියේම දර මිටිය බිම වැටුණා. එතකොට මේ පවිටු ස්ත්‍රිය කලබල වුණා. මිනිසුන් තමන්ව අල්ලා කරදරයක් කරාවිය කියන බියට දුවන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ පෙනෙන තෙක් මානයේ ඇයට අනතුරක් වුණේ නෑ. යම් මොහොතක බුදුරජාණන් වහන්සේට ඇයව නොපෙනී ගියා ද, මහා පොළොව බිඳී විවරයක් ඇතිවුණා. අවීචි මහා නරකයෙන් පැන නැඟුණු ගිනි දැල් උඩට මතුවුණා. රත් පළසක් පොරවා ගන්නා ලෙස ඒ ගිනි දැල් ඈ වටා එතුණා. පොළොවෙහි ගිලුණා. අවිචී මහා නිරයේ උපන්නා.

මෙය අන්‍ය තීර්ථකයන්ගේ කුමන්ත්‍රණයක් බව හෙලි වුණා. ඔවුන්ගේ තිබුණු ලාභ සත්කාරත් නැතිවුණා. භාග්‍යවතුන් වහන්සේගේ කීර්ති රාවය තව තවත් ඉස්මතු වෙලා ගියා.

පසුවදා දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් අතර මේ කතාව ඇතිවුණා.

“ඇවැත්නි, චිඤ්ච මානවිකාව මහා විනාශයක් නෙව කරගත්තේ. මෙබඳු අත්‍යුදාර ගුණයෙන් යුතු අග්‍ර දක්ෂිණෙය්‍ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කොට මහා විපතක් කරගත්තා නෙව.”
මේ වෙලාවේ අපගේ ශාස්තෘන් වහන්සේ වැඩියා. භික්ෂූන්ගේ කතාවට මෙසේ පිළිතුරු දුන්නා.

“පින්වත් මහණෙනි, ඔය චිඤ්චාව දැන් විතරක් නොවෙයි, මීට කලින් ආත්මයකත් මට අභූතයෙන් නින්දා කරලා වැනසිලා ගියා” කියලා මහා පදුම ජාතකය වදාළා.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් වාසය කළා. එසමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ ඒ රජ්ජුරුවගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. නිසි කල් ගිය විට පින්වත් කුමරෙක් උපන්නා. මොහුට පදුම කුමාරයා යන නම ලැබුණා. ටික කලකින් බිසොවුන් වහන්සේ මැරුණා. එතකොට රජතුමා වෙන බිසවක් අගමෙහෙසිය කළා.

ඔය අතරේ ඈත ගමක සොර බියක් උපන්නා. ඉතින් රජතුමා සොර බිය සංසිඳවීම පිණිස නික්මෙන්ට සූදානම් වුණා. බිසවත් ඇවිටිලි කළා, ඈටත් එන්න ඕන කියලා.

“සොඳුරිය, අපි යන්නේ මේ සටනකටයි. මෙවැනි තැන්වලට තොප යෑම සුදුසු නෑ. මාළිගාවේ නවතින්න. තොපගේ සැප දුක් බලන්ට මම පදුම කුමාරයාට පවරනවා” කියලා රජතුමා සියලු වගකීම් කුමාරයාට පැවරුවා.

රජතුමා ඈත ජනපදයට ගියා. සොර බිය සංසිඳෙව්වා. ආපසු පෙරලා පැමිණියා. නුවර ආසන්නයේ කඳවුරු බැඳගත්තා. පදුම කුමාරයාට දැනුම් දුන්නා. පදුම කුමාරයා නුවර අලංකාර කිරීමට සේනාවට අණ කළා. තමාත් අවශ්‍ය විධාන සැළසුවා. කලබලයට රජුන්ගේ සිරියහන් ගබඩාවට තනියම ගියා. ගිහින් අගමෙහෙසියගේ උපස්ථාන කටයුතු විමසුවා. අගමෙහෙසිය සිටින මාළිගයට ඇතුළු වුණා. වැඳගෙන මෙහෙම කිව්වා.

“පින්වත් මෑණියන් වහන්ස, නුඹවහන්සේට කළ මනා ඇප උපස්ථාන සුවසේ වුණාද?”

එතකොට ඒ බිසව කුමාරයාට මෙහෙම කිව්වා.

“හහ් හහ් හා…! මේ තරුණ මටත් මෑණියන් වහන්සේ කියනවා නෙවෙද? හා… ඒකෙන් කම් නෑ… මගේ ළඟට එන්න. මේ යහනෙන් වාඩි වෙන්න…”

“අනේ පින්වත් මෑණියන් වහන්ස, මට තේරෙන කාලෙ ඉඳලා මම කවරදාකවත් ස්ත්‍රියක් සමඟ එක යහනක වාඩිවෙලා නෑ. ඇරත් නුඹවහන්සේ මගේ පියාණන් වහන්සේගේ බිසොවුන් වහන්සේ නිසා මා සළකන්නේ මගේ මෑණියන් වහන්සේ හැටියටයි.”

එවිට බිසව නොයෙක් ඇවිටිලි කරමින් කුමාරයාව පොළොඹවා ගන්න හැදුවා. කුමාරයා ඒ කිසිවකට අවනත වුණේ නෑ. බැරිම තැන කුමාරයා මෙහෙම කිව්වා.

“අනේ පින්වත් මෑණියන් වහන්ස, නුඹවහන්සේ කොතෙක් කීවත් මට නම් අනාචාරයේ හැසිරෙන්ට බෑ… ඒක ස්ථිරයි !”

එතකොට බිසව කිපුණා.

“හහ් ! නුඹ තමන්ගේ තරම දන්නෙ නැහැ නේද? හොඳයි! බලාගං නුඹට කරන දේ… නුඹ මගේ අදහසට කැමති නොවුණොත් රජ්ජුරුවන්ට කියලා නුඹේ හිස ගස්සවනවා….”

“පින්වත් මෑණියන් වහන්ස, මගේ හිස ගස්සවන්නේ මේ ආත්මයේ විතරයි නෙව. කැමති නම් හිස ගස්සවා දමන්න. නමුත් ඒකට මගේ කණගාටුවක් නෑ” කියලා කුමාරයා පැනලා දිව්වා.

එතකොට මේ බිසව තමන්ගේ ඇඟ නියපොතුවලින් හූරා ගත්තා. සළුපිළි ඉරාගත්තා. කෑගහගෙන ඇඳට වැටුණා. අන්තඃපුර ස්ත්‍රීන් දුවගෙන ආවා. ඈ කෙඳිරි ගගා නන් දොඩවන්න පටන් ගත්තා.

“අනේ… මට අමාරුයි… රජ්ජුරුවන් වහන්සේට කියාපල්ලා මට නැගිටගන්න විදිහක් නැතෙයි කියලා.”

රජ්ජුරුවෝ නුවර ප්‍රදක්ෂිණා කරලා රජගෙට ඇවිත් බිසොවුන් වහන්සේ ගැන විමසුවා. ඈ ඉතා රෝගාතුරව සිටින බව අසා වහා ඈ සිටි තැනට ගියා. යහනේ අසුන් ගත්තා.

“සොඳුරිය, මොකක්ද මේ වුණේ? ප්‍රියාදර රජ්ජුරුවන් වහන්ස, මට ස්වාමියෙක් හිටියා නම් මෙහෙම විපතක් වේවිද? නුඹවහන්සේ දැක්ක විටයි මගේ ආරක්ෂක ස්වාමියෙක් ඉන්නවා නේද කියලා මට වැටහුණේ.”

“ඇයි සොඳුරිය එහෙම කියන්නේ…? ඔබට කවුරුද මේ හිරිහැර කළේ…?”

“වෙන කවුරු හිරිහැර කරන්නද? නුඹවහන්සේ මේ නුවර ආරක්ෂාවට යමෙකුට භාර දුන්නා ද ඔහු විසිනුයි මේ හදිය කළේ… පදුම කුමාරයා විසිනුයි….! ඊටපස්සෙ රජතුමනි මං බැහැ කිව්වා…. මට දරුවෙක් වගේ නේද කිව්වා… මං අවනත වුණේ නෑ…. ඔබවහන්සේ වෙනුවෙන් මං ජීවිතේ පූජා කරලයි හිටියේ. එතකොට තමයි මට මේ වධ වේදනා දුන්නේ… අනේ…! මං විඳි දුක…” කියලා ඈ හඬා වැළපෙන්න පටන් ගත්තා.

රජතුමා උදහස් වුණා. මාළිගය දෙදරන්න කෑ ගැහුවා.

“කෝ… මේ සේවකයන්…? පලයව්…! පදුම කුමාරයා ඉන්න තැනකින් අල්ලාගෙන වරෙව්…!”

එතකොට අමාත්‍යවරු පදුම කුමාරයාව අල්ලා ගත්තා. දෑත් පිටිපස්සට බැන්දා. රතු මල්මාලයක් ගෙලෙහි දැම්මා. රජ්ජුරුවන් ළඟට ගෙන ගියා. එතකොට රජ්ජුරුවො හඬ නගා නියෝග කළා.

“මේකාව අරගෙන ගොහින් සොරුන් හෙළන පර්වතයෙන් බිමට හෙළාපං…”

එතකොට පදුම කුමාරයා මෙහෙම කිව්වා.

“පියාණන් වහන්ස, මම ඉතාම නිර්දෝෂී කෙනෙක්. මම කිසි දිනෙක අනාචාරයේ නොයෙදුණු කෙනෙක්. ගැහැණියකගේ වචනයට රැවටී නිස්කාරණයේ මාව නොමැරුව මැනැව.”

“මට ඔය කතාවලින් වැඩක් නෑ. දැන් මේකාව අරගෙන පලයව්! ප්‍රපාතයට හෙළාපං”

එතකොට ඇමතිවරු මෙහෙම කිව්වා.

“දේවයන් වහන්ස, රාජ්‍ය කරන රජදරුවන්ගේ කටයුතු පරීක්ෂාකාරයෙන් විමසා බැලුව මැනැව. අන්‍යන්ගේ වචනය ඒ අයුරින්ම නොපිළිගත මැනැව. ක්ෂණික කෝපය ඇති නොකරගත මැනැව. නිග්‍රහයට සුදුසු නම් නිග්‍රහ කළ මැනැව. සංග්‍රහයට සුදුසු නම් සංග්‍රහ කළ මැනැව. ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන මෙයින් උපන් බස පරීක්ෂා කළ මැනැව. ස්ත්‍රියකගේ වචනය අසා සීලයෙන්ද, ආචාර ධර්මයෙන්ද යහපත් ලෙස රජය රක්නා රාජ්‍යපුත්‍ර වූ නුඹවහන්සේගේ පුත්‍ර වූ පදුම කුමාරයාව නිස්කාරණයේ නොනැසුව මැනැව.”

මේ විදිහට ඇමතිවරුත්, අනෙකුත් බිසොවුන් වහන්සේලාත්, මහජනයාත් කුමාරයාට පක්ෂව කතා කළා. එතකොට රජ්ජුරුවන්ට මෙහෙම හිතුණා.

‘බලාගෙන ගියාම මට පක්ෂව ඉන්නේ මමයි, බිසවයි විතරක් නෙව. මේ වෙලාවේ නොමැරුවොත් අනාගතයට අනතුරක්…’ කියලා හිතලා රජ්ජුරුවොම චතුරංගිනී සේනාවත් සමඟින් පදුම කුමාරයාව රැගෙන ගියා. සොරුන් පහළට හෙලන භයානක ප්‍රපාතයෙන් කුමාරයාව දෙපයින් ඔසොවා හිස බිමට හරවා පහළට වීසි කළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, සත්පුරුෂයන්ට ලේසියෙන් විපත් කරන්න බෑ. අඩුගණනේ දෙවි කෙනෙක් හරි ඇවිදින් බේර ගන්නවා. මේ වෙලාවෙත් එහෙම දෙයක් වුණා. ඒ පර්වතයේ දෙවි කෙනෙක් වාසය කරනවා. ඒ දේවතාව සැණෙකින් පෙරට වැඩියා.

“පදුම කුමාරයෙනි, බිය නොවනු මැනැව” කියා අදරැති පිය කෙනෙක් තම පුතණුවන් වඩාගන්නා සේ වඩාගෙන පර්වතයේ සිටින නා රජුගේ පෙණගොබය මත්තේ තැබුවා. එතකොට ඒ නා රජු කුමාරයාව නාග භවනට ගෙන ගියා. නාග රජුගේ රාජ්‍යය දෙකට බෙදුවා. කුමාරයාටත් රජකම පැවරුවා. කුමාරයා අවුරුද්දක් රාජ්‍යය කළා.

“අනේ මට මෙහෙ ඉඳලා වැඩක් නෑ. මිනිස් ලෝකයට යන්න ඕන” කියලා කුමාරයා නා රජුට කිව්වා. නා රජුත් කුමාරයා හිමාල වනයේ වාසය කරන්න කැමති බව අහලා හිමාල වනයට ඇරලෙව්වා.

ඉතින් පදුම කුමාරයා හිමාලයේදී පැවිදි වුණා. සුළු දවසකින් අෂ්ට සමාපත්ති, පඤ්ච අභිඤ්ඤා උපදවා ගත්තා.

එක්තරා වැද්දෙක් වනාන්තරයේ ඇවිදගෙන යද්දී පදුම ඍෂිවරයා වාසය කරන අසපුවට පැමිණියා. එහි ටික දවසක් වාසය කළා. ඍෂිවරයා සමඟ කතාබස් කරද්දී මේ වෙන කවුරුවත් නොව පදුම කුමාරයා බව තේරුම් ගියා. වැද්දා නැවත ගිහින් රජ්ජුරුවන්ට මේ බව දැනුම් දුන්නා. රජතුමා අමාත්‍යවරුන් සමඟ චතුරංගිනී සේනාවත් කැටුව වනයට ගියා. අසපුව ඉදිරිපිට ඍෂිවරයන් වහන්සේ රන් පිළිමයක් සේ වැඩසිටියා. බෝසත් ඍෂිවරයන් වහන්සේ ඔවුන්ට මෙහෙම කිව්වා.

“පින්වත, මේ වනයෙහි මිහිරි පලවැල තියෙනවා. මිහිරි පැන් තියෙනවා. ගමන් වෙහෙස නිවාගෙන විවේකයෙන් ඉන්න.”

එතකොට රජතුමා මෙහෙම ඇහුවා.

“එම්බා පුත්‍රය, මෙය ඇදහීමට නොහැකි දෙයක්. මගේ අතින්මයි භයානක පර්වතයෙන් පහළට ඔබව වීසි කළේ. මේ අයුරින් දැන් ඔබ ජීවත් වන්නේ කොහොමද? ප්‍රිය පුත්‍රය, මට සමාවනු මැනැව. මා කැටුව එනු මැනැව. දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කළ මැනැව.”

“මහරජ්ජුරුවෙනි, මිනිසෙක් බිලී කටුවක මස් කැටියක් ඇමිණුවා. දියට දැම්මා. මාළුවෙක් ඒක ගිල්ලා. හැබැයි ඒක වමනෙ දැම්මා. මමත් ඒ වගේ කෙනෙක්. මං ඉතා දුක සේ ගැලවුණු කෙනෙක්. එබඳු කෙනෙක් යළිත් රජකමකට ඒවිද?”

“ප්‍රිය පුත්‍රය, බිලී කටුව කියන්නේ කුමක්ද? මස් කැටිය කියන්නේ කුමක්ද? එය ගිල ගත් මාළුවා කවුද? එය මට නොතේරේ.”

“මහරජ්ජුරුවෙනි, බිලී කටුව නම් පංච කාමයයි. මස් කැටිය නම් ඇත්, අස්, රථ, පාබල යන සේනාවයි. එය ගිල යළි වමනෙ දමා පළා ගිය මාළුවා නම් මමයි. මහරජ්ජුරුවෙනි, දුස්සීල ගෑණියකගේ බස් අසා මාව පර්වතයෙන් පහළට දැම්මා. මගේ මෙත් සිතේ බලයෙන් මං ආරක්ෂා වුණා. එසේ මරණයෙන් මිදුණු මම රාජ්‍ය ලෝභයෙන් ඔය වළේ වැටෙයි කියලද හිතන්නේ? මම කවදාවත් ඔය රජකමට එන්නේ නෑ. ඔබම ධාර්මිකව රජ කරන්න.”

රජතුමාත්, ඇමතිවරුත් හඬා වැළපෙමින් ආපසු හැරී ආවා. බෝධිසත්වයන් වහන්සේව වීසි කළ පර්වතය ළඟට පැමිණියා.

“එම්බා ඇමතිවරුනි, කිසි වරදක් නැති, ගුණයෙන් නුවණින් සීලයෙන් යුතු පදුම කුමාරයා අපට අහිමි වූයේ ඇයි?”

“දේවයන් වහන්ස, නුඹවහන්සේ නොදන්නා සේක්ද? නුඹවහන්සේගේ බිසොවුන් වහන්සේ නිසාමයි මේ විපත වුණේ. අපගේ නිර්දෝෂී පදුම කුමාරයාව අභූත චෝදනාවකට පටලවා විපතට පත්කළ ඇයව ගෙනත් මේ පර්වතයෙන් පහළට දැමිය යුතුයි.”

රජතුමාත් එය එසේම ස්ථිර කළා.

එකල බිසව වෙලා හිටියේ චිඤ්ච මානවිකාවයි. රජ්ජුරුවො වෙලා හිටියේ දේවදත්තයි. දේවතාව වෙලා හිටියේ සාරිපුත්තයන් වහන්සේයි. නා රජු වෙලා හිටියේ ආනන්දයන් වහන්සේයි. පදුම කුමාර වූ ඍෂිවරයාණන් වුණේ මම් ම නොවේදැයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

පින්වත් මහණෙනි, එකම ධර්මය වන සත්‍ය වචනය අත්හැරලා බොරුවෙහි පිහිටලා වාසය කරන, පරලොව යහපත අත්හරින උදවියට නම් කළ නොහැකි පාප කර්මයක් නෑ.

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා රමණීය ලෙස මෙම ගාථාරත්නය වදාළා.

ඒකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණපරලෝකස්ස – නත්ථි පාපං අකාරියං

සැබෑ බස් පැවසීම මෙලොවේ – එකම දහමකි සැපත සදනා
එහෙත් බොරු බස් දොඩන මිනිසා – පරලොවෙහි යහපත ද වනසා
නොකළ හැකි පාපයක් ඔහු හට – නොමැත්තේම ය

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කරුණු හොඳින් හිතට ගන්න. කවරදාකවත් කිසි කෙනෙකුට බොරු බසකින් නින්දා අපහාස කරන්නට එපා. ගරහන්න එපා. තමන්ට වරදින තැන තමන්ටවත් හොයාගන්න බැරි බව මේ චිඤ්ච මානවිකාවගේ කථාවෙන් හරි අගේට පැහැදිලි වෙනවා. එනිසා අන් අයගේ හොඳ, හොඳ හැටියට දකින්න පුරුදු වෙන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here