13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය

0
4


 “සෝකය නැතිවන්නේ දහමෙන් පමණි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් විට අපේ ජීවිතයට බැරෑරුම් කරදර සිද්ධ වෙනවා. අපි ගොඩාක් ආදරය කරන අය අනපේක්ෂිත මොහොතක අපෙන් වෙන් වෙනවා. එතකොට අපට දරාගන්න බෑ. සුනාමියක් වගේ ඇවිත් අපිව තනිකරලා අපේ අදරැති හැමෝම නැතිවුණොත් අපි කොහොම ඉවසන්නද? එබඳු දේවල් සිදුවෙන්නේ නෑ කියන්නේ කොහොමද? අපි ඉදිරියේම කී දෙනෙකුට නම් එහෙම වෙලා තියෙනවාද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබුණු නිසා බොහෝ අය ඒ දුකෙන් එතෙර වුණා. අභයරාජකුමාර කථා වස්තුව එවැනි කථාවක්.

ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ වේළුවනාරාමයේ. බිම්බිසාර රජතුමාගේ පුත්‍රයෙක් හිටියා අභයරාජකුමාර නමින්. ඈත ප්‍රදේශයක කැරැල්ලක් මැඬලන්න රජතුමා මේ කුමාරයාව පිටත් කළා. මොහු ඉතා දක්ෂ ලෙස එම කැරැල්ල මර්ධනය කළා. සංසිඳෙව්වා. සාමය ඇති කළා. රජතුමාට හරි සතුටුයි. රජතුමා මොහුට දවස් හතකට රාජ්‍යය දුන්නා. ඒ කියන්නේ උපරිම වශයෙන් රජ සැප විඳ විඳ කල්ගෙවන්න අවස්ථාව දුන්නා. නැටුම් ගැයුම් වලට අතිශයින්ම දක්ෂ සුරූපී නිළියකුත් දුන්නා. ඉතින් මේ අභයරාජකුමාරයා හත්දවස පුරා මාළිගාවෙන් පහළට බැස්සේ නෑ. රසවත් කෑම කකා, මධුපානය කරමින් විනෝද වුණා. අර ලස්සන නිළිය විදුලිය වගේ නැටුවා. මේ කුමාරයා ඒ නිළියට මුළුමනින්ම වසඟ වුණා.

අටවෙනි දවසේ නදී තීරයට ගියා. හොඳට වතුර නෑවා. උයනට ගොඩවුණා. මධුවිත තොලගාමින් හිනහ වෙවී ගී කිව්වා. අර සුරූපී නළඟන බෙර තාලයට පාද තිබ්බා. අත් පා ළෙල දුන්නා. විදුලිය මෙන් කැරකුණා. වසඟ වූ සිතින් රාජකුමාරයා මේ දෙස බලාගෙන සිටියා. කවුරුත් පුදුමයට පත් කරමින් අර නළඟන සැණෙකින් ඇදගෙන වැටුණා. කුමාරයාට නැගිට්ටුණා.

“අයියෝ! …. මෙහෙ වරෙල්ලා… ඉක්මනින් බලාපල්ලා… මේ ලස්සනට නිළියට මොකද වුණේ…?”

රාජපුරුෂයන් ඇවිත් විමසා බැලුවා. ඇය මැරිලා!

“පින්වත් කුමාරයාණෙනි, කරන්න දෙයක් නෑ. ජීවිතයේ හැටි ඔහොම තමයි. ඇය කවදාවත් ආයෙ නැගිටින්නේ නෑ. දැන් තියෙන්නේ අපට ඈව පුළුස්සා දමන එක විතරයි. මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බැහැ නෙව.”

කුමාරයා වැළපෙන්න පටන් ගත්තා. ඔළුවට අත් ගගහා හඬන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේව සිහිපත් වුණා.

“අනේ… මට හොඳටම අමාරුයි. මේ දුක උහුල ගන්න බෑ. අනේ මාව වේළුවනාරාමයට එක්කගෙන යන්න. භාග්‍යවතුන් වහන්සේ හැර වෙන කවුරු නම් මේ දුක නිවා දමාවිද?”

ඉතින් කුමාරයාව එක්කගෙන ගියා. කුමාරයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිරිපතුල් අල්ලගෙන බිම දිගාවෙලා හඬා වැටුණා.

“අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස. මාගේ හිතේ බුර බුරා නැගෙන මේ සෝක ගින්න නිවා දමනා සේක්වා!”

“පින්වත් කුමාරය, ඔය ස්ත්‍රිය මියයාම නිසා ඔබ හඬා වැළපුණේ මේ ආත්මයේ විතරක් නොවෙයි. පරක් තෙරක් නොපෙනෙන ගෙවී ගිය අතීත සසරේ ඔය ස්ත්‍රිය නිසාම හෙලූ කඳුළු අපමණයි. එනිසා පින්වත් කුමාරය, සෝක කිරීමෙන් ඵලක් නෑ. ජීවිතයේ යථාර්ථය නොදන්නා අඥානයන් සෝකයෙන්ම කල්ගෙවනවා. අපි එහෙම කළ යුතු නෑ.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මිහිරි සරින් අභයරාජකුමාර යාට  මෙම ගාථාව වදාළා.

ඒථ පස්සථිමං ලෝකං – චිත්තං රාජරථූපමං
යත්ථ බාලා විසීදන්ති – නත්ථි සංගෝ විජානතං

ඇවිත් බලන විට මේ හිස් ලෝකය – සැරසූ රජුගේ රිය වැන්නේ
අනුවණ ජනයා එයින් මුලාවී – සෝක දුකින් වෙලිලා ඉන්නේ
එනමුදු මෙහි ඇති තතු දකිනා විට – සියලු බැඳුම් දුරු වී යන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන තුරු දුක, සෝක, සුසුම් හෙලීම්වලින් නිදහස් වෙන්න ක්‍රමයක් නෑ. ලෝකය තුළ මොනතරම් ආරක්ෂාව සෙව්වත් කිසි කෙනෙකුට ජරා මරණ දුකෙන් බේරෙන්න ක්‍රමයක් නෑ. එනිසා හටගන්න සෝක වැළපීම්වලින් බේරෙන්න ක්‍රමයකුත් නෑ. හැබැයි යමෙක් භාග්‍යවතුන් වහන්සේ වදාළ අයුරින් ජීවිතය දෙස බලනවා නම් ඔහු පමණක් හඬන වැළපෙන ලෝකය ඉදිරියේ අකම්පිතව සිටිනු ඇත.

 

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

     මුල් පිටුවට >>>

The post 13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here