13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

0
3


“ප්‍රඥාවමයි උතුම්”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුද්ධ කාලේ ගොඩාක් පින්වන්තයින් ඉපදිලා හිටියා. ඔවුන්ගේ බලවත් පුණ්‍ය මහිමය නිසාම ඉතාම පහසුවෙන් ගිහි ජීවිතය අත්හරින්න පුළුවන් වුණා. ලෞකික බැඳීම සිඳ බිඳ දමන්නට පුළුවන් වුණා. සිල් රැකගන්නත්, සිහි නුවණ දියුණු කරගන්නත් පුළුවන් වුණා.ඒ කාලෙ මිනිස්සු ප්‍රඥාව ම සෙවීම කරගෙනයි වාසය කලේ. ඒ හැම වාසනාවක්ම ලැබෙන්නේ පුණ්‍ය මහිමයෙන්මයි.

සාමාන්‍ය මනුෂ්‍යයන් තමන්ගේ ජීවිතයට ඇලී වාසය කරන්නේ ලේසියෙන් ගලවා ගන්න බැරි විදිහටයි. කොටින්ම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයටම වසඟ වෙලයි ඉන්නේ. මෙයින් නිදහස් වෙනවා යන්න හිතන තරම් ලේසි එකක් නොවෙයි. අධිකතර පුණ්‍යබලයක් අවශ්‍යයි. ඒ මහා පින් බලයෙන් යුතු තරුණයන් පන්සීයක් පමණ බුදු සසුනෙහි පැවිදි වුණා. පැවිදි වුණු දවසේ ඉඳන් අරණ්‍යවාසයට ආසා කළා. අකුසල් දුරු කිරීමටත්, කුසල් වැඩීමටත් බලවත් වීරියක් ගත්තා. හැම තිස්සේම සිහි නුවණින් ඉන්න උත්සාහ කළා. නිතර කළේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් ගැනත් රූප, වේදනා ආදී උපාදානස්කන්ධයන් ගැනත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වැඩීමයි. කොතරම් බලවත් මහන්සියක් ගත්තත් උන්වහන්සේලාට මාර්ගඵල විශේෂයක් ඇතිකරගන්නට බැරිවුණා. එසේ නමුත් තම උත්සාහය අත්හැරියෙත් නෑ. නුවණින් මෙනෙහි කිරීම අත්හැරියෙත් නෑ. මෙහෙම කතා වුණා.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අපි ආයෙමත් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට යමු. භාග්‍යවතුන් වහන්සේ අපේ දහම් මග වැඩෙන අයුරින් අපට තවත් උපදෙස් දේවි. එතකොට අපි ඒ විදිහටත් කරමු.”

ඉතින් මේ භික්ෂූන් වහන්සේලා සැවැත් නුවරට වඩිනා අතරේ නුවණින් මෙනෙහි කළේ ඇසෙන, දකින හැමදෙයක්ම මිරිඟුවක් වගේ ඇති වී නැති වී යන අයුරුයි. මිරිඟුව ඈතට පේන දෙයක්. ළං වූ විට නොපෙනෙන දෙයක්. ඇසින් දකින රූපත්, කනෙන් අහන ශබ්දත්, නාසයට දැනෙන ගඳ සුවඳත්, දිවට දැනෙන රසයත්, කයට දැනෙන පහසත්, සිතට දැනෙන සිතුවිලිත් වැඩි වෙලා තියෙන්නේ නෑ. මිරිඟුවක් බොඳ වෙලා යනවා වගේ ඒවා වෙනස් වෙලා යනවා. අලුත් දේවල් පේන්න ගන්නවා. පරණ දේ නැතිවෙනවා. ඇත්තෙන්ම මිරිඟුවක් වගෙයි.

ඉතින් මේ විදිහට නුවණින් මෙනෙහි කරමින් භික්ෂූන් වහන්සේලා වඩිද්දී දෙව්රමට පිවිසි ගමන් ධාරාණිපාත වර්ෂාවක් වැස්සා. තමන් ඉදිරියේ වැහි බිඳු බිමට වැටි වැටී වතුර බුබුළු පැනනඟිනවා. සැණෙකින් බිඳිලා යනවා. මිරිඟුවක් සේ ඇති වී නැති වී යන ලෝකය දෙස විමසමින් සිටි භික්ෂූන් වහන්සේලාට මෙසේ වැහි බිඳු ඇති වී නැතිවී යාම තව තවත් ප්‍රකට වුණා.
“ඇත්ත… මේ ජීවිතයත් සැණෙකින් නැසී යනවා. දියබුබුලක් වගේ. ඇති වී නැති වී බිඳෙමින් යන ලෝකයකට නේද අපි මේ මුලා වුණේ.”

සියලු භික්ෂූන් වහන්සේලා කල්පනා කළේ ඔය විදිහටයි. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ගන්ධ කුටියේ. උන්වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාව දැක්කා. ඒ භික්ෂූන්ගේ ප්‍රඥාව තුළ විදර්ශනා මනසිකාරය වැඩී යන අයුරු දැක්කා. නුවණ මෝරා යන අයුරු දැක්කා. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙසට ආලෝකයක් මුදා හැරියා. දැන් මිහිරි හඬින් මෙම ගාථා රත්නය ඇසෙනවා.

යථා බුබ්බුලකං පස්සේ – යථා පස්සේ මරීචිකං
ඒවං ලෝකං අවෙක්ඛන්තං – මච්චුරාජා න පස්සති

නැසී යන දිය බුබුල විලසින් – ජීවිතේ ඇති තතු දකින්නේ
නැසී යන මිරිඟුවක් විලසින් – ජීවිතේ විමසා බලන්නේ
මුළු ලොවම මේ ලෙසින් පෙනෙන විට – මාරයා හට ඔහුව නොපෙනේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ප්‍රඥාව කියන්නේ හරි අද්භූත, විස්මිත ගුණයක්. කෙනෙකුට ප්‍රඥාවක් තියෙනවා නම් ඔහුට වෙන මොනවා නැතිවුණත් කමක් නෑ. කෙනෙකුගේ ප්‍රඥාව නැත්නම් ඔහුට මොනවා තිබුණත් වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළේ ප්‍රඥාවන්තයන්මයි.

ඒ ප්‍රඥාවමයි තමන්ට උදව් කළේ. දැන් බලන්න. ඒ භික්ෂූන් වහන්සේලා පන්සිය නමම ඒ සිටිවනම අරහත්වයට පත්වුණා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණා. නිකෙලෙස් වුණා. පරිපූර්ණ අවබෝධයට පත්වුණා. හරි අසිරිමත් නේද?

ලෝකය දෙස විනිවිද බලන්නට හැකියාව ලැබෙන්නේ ප්‍රඥාවෙන් විතරයි. අපි වුණත් ටික ටික නමුත් මේ අයුරින් ජීවිතය දෙස බලන්නට පුරුදු වුණොත් සෙමෙන් සෙමෙන් ප්‍රඥාව වැඬේවි. එතකොට අපටත් මේ මායා මෝහ ලෝකයෙන් එතෙර වෙන්න අවස්ථාවක් ලැබේවි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

  මුල් පිටුවට >>>

The post 13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here