13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)

0
6

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔයාලා දන්නවානේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පවුල් විස්තර. උන්වහන්සේගේ පියා තමයි කපිලවස්තු නුවර හිටපු රජතුමා. ඒ කියන්නේ සුද්ධෝදන රජතුමා. ඒ රජපවුල අයිති ශාක්‍ය වංශයටයි. ඒ කාලේ ශාක්‍ය වංශයට ලොකු පිළිගැනීමක් තිබුණා. සත්මුතු පරම්පරාවක්ම පිරිසිදුයි කියලා හැමෝම ගෞරව කළා. මේ නිසා එයාලා හරී ආඩම්බරයෙන් හිටියේ.

අපගේ සිද්ධාර්ථ කුමරුන් සක්විති රජ වෙනවා දකින්නයි එයාලා ආසා කළේ. නමුත් වුණේ අකමැතිම දේ. ගිහි ජීවිතය අත්හැරියා. කෙස් රැවුල් බෑවා. පරණ සිවුරු පොරෝගත්තා. මැටි පාත්තරයක් අතට ගත්තා. ගෙයක් ගානේ කෑම ටිකක් ඉල්ලගෙන වැඩියා. මේ ගැන ශාක්‍ය රජපරපුරට හරි ලැජ්ජයි. ‘අපට මේ කුමක්ද වුණේ’ කියලා පසුතැවුණා.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ විජ්ජාචරණ ගුණය එයාලා දන්නෙ නැහැ නෙව. කාළුදායී ඇමතියා රජගහනුවරට ගිහින් භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කළා කපිලවස්තු නුවරට වඩින්න කියලා. ඉතින් රහතන් වහන්සේලා පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු නුවරට වැඩියා. නෑදෑයෝ ගණන් ගත්තේ නෑ. රජ පවුලේ කවුරුවත් ගණන් ගත්තේ නෑ. පොඩි ළමයි ටිකක් විතරක් පිළිගැනීමේ උත්සවයට ඇවිත් හිටියා.

භාග්‍යවතුන් වහන්සේගේත්, සඟ පිරිසේත් බාහිර පෙනුම ගැන ඒ ඇත්තන්ගේ පැහැදීමක් ඇතිවුණේ නෑ. කවුරුවත් ඇවිදින් වන්දනා කළෙත් නෑ. භාග්‍යවතුන් වහන්සේ කෙලින්ම වැඩියේ නිග්‍රෝධාරාමයටයි. හැමෝම එකතුවෙලා හිටියාට ‘බුදු කෙනෙක්’ යනු කවරෙක්දැයි දැනීමක් කාටවත් තිබුණේ නෑ. මේ අයගේ පුහු මාන්නය බිඳලීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අහසට පැනනැංගා. වළාකුළු අතරේ රත්තරනින් සක්මනක් මැව්වා. ඒ සක්මනේ කෙළවර භාග්‍යවතුන් වහන්සේට සමාන වූ තවත් බුදුරුවක් මැව්වා. ඒ නිර්මිත බුදුරජුන් ජීවිතය ගැන නොයෙක් කරුණු අහනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ අසිරිය දැකපු රජපවුලට දහඩිය දැම්මා. ලැජ්ජාව ඇතිවුණා. සුදොවුන් මහරජු රජපුටුවෙන් නැගිටලා දුවගෙන ආවා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. අනිත් නෑදෑයන් හැමෝම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණා. ඒ වෙලාවේ මල් වැස්සක් වැස්සා.

“පින්වත් මහණෙනි, ඤාති සමූහයා මා ඉදිරියේ වැඳ වැටෙද්දී මල් වැස්සක් වැස්සේ අද පමණක් නොවෙයි. මෙවැනි දෙයක් මීට කලිනුත් වුණා” කියලා වෙස්සන්තර ජාතකය වදාළා. හැමෝටම සතුටුයි. දැන් අර රජ පවුලේ තිබුණු විකාර අදහස් නැතුව ගියා. පුහු මාන්නය බිඳුණා. ලෝකය තුළ ඉන්ද්‍රිය දමනය, චිත්ත සමාධිය, විරාගය, පැවිද්ද යනාදිය ශ්‍රේෂ්ඨයි කියන හැඟීම ඇතිවුණා. ධර්ම දේශනාවෙන් පස්සේ ඤාතීන් ඉතා සතුටෙන් තම තමන්ගේ නිවෙස්වලට ගියා. ඒ කාටවත් හෙට දවසේ දානයට ඇරයුම් කරන්න බැරිවුණා. සුද්ධෝදන නිරිඳුන් හිතුවේ ‘මයෙ පුතා මගේ මාළිගාවට නොවැඩ දානය පිණිස කොහේ යන්නද?’ කියලයි. එහෙම හිතලා පසුවදා දානය පිණිස සියලු භික්ෂූන්ට ද සෑහෙන්න ආසන මාළිගාවේ පැණෙව්වා. නමුත් ආරාධනා කළේ නෑ.

බුදුරජාණන් වහන්සේ පසුවදා අතීත බුදුවරුන්ගේ චරිතාපදානයන් ආවර්ජනය කළා. ‘කිම? අතීත බුදුවරයෝ තම පියාගේ නගරයට පැමිණ ඍජුවම ඒ ඤාතීන්ගේ නිවසින් දානය ගත්තාහුද? නැතහොත් ගෙපිලිවෙලින් පිඬු සිඟා වැඩියාහුද?’ මෙසේ විමසා බලද්දී පෙර බුදුවරයන් වහන්සේලා පවා ගෙපිලිවෙලින් පිඬු සිඟා වැඩි බව භාග්‍යවතුන් වහන්සේට වැටහුණා.

භාග්‍යවතුන් වහන්සේ සඟ පිරිසත් සමඟ ගෙපිලිවෙලින් පිඬු සිඟා යාම ආරම්භ කළා. හැමෝටම පුදුමයි. යසෝදරාව උඩු මහල් තලයේ සිටිද්දී භාග්‍යවතුන් වහන්සේ පිඬු සිඟා වඩිනවා දැක්කා. ඈ හඬාගෙන ගිහින් රජතුමාට සැළකළා. රජතුමා හොඳටම කලබල වුණා. සළුව ඇඳගන්නවත් වෙලාවක් නෑ. සළුව බාගෙට ඇඳ ඇඳ පාරෙ දිව්වා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට පැමිණුනා.

“අයියෝ! මාගේ පුත්‍රය… ඇයිද මේ මාව වනසන්නේ…? ඔබ ආහාරයක් සිඟමින් ගෙවල් ගානේ යනවා දුටු මට ලැජ්ජාවේ බෑ. මේ නගරයේ යනවා නම් රන්සිවි ගෙයකින් නේද වඩින්න ඕන? ඇයි මෙහෙම මට ලැජ්ජා කරන්නේ?”

මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන මහරජතුමා කෙරෙහි මහත් අනුකම්පාවෙන් වදාළා.

“පින්වත් රජ්ජුරුවන් වහන්ස. මම කවදාවත් ඔබට ලැජ්ජා වෙන දෙයක් කරන්නේ නෑ. මම මේ කළේ තමන්ගේ කුල පරම්පරාව විසින් කළ යුතු දෙයයි.”

“ඈ! …. අහෝ පින්වත් දරුව. මගේ කුල පරම්පරාවේ ගෙවල් ගානේ ගිහින් කෑම ඉල්ලගෙන අනුභව කරනවාද? මම ඒ වගේ පරපුරක කෙනෙක්ද?”

“පින්වත් මහරජ, මෙය ඔබගේ වංශය නොවෙයි. මෙය මගේ වංශයයි. මා අයිති වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ වංශයටයි. උන්වහන්සේලා ජීවත් වුණේ මේ අයුරින් තමයි.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මධුර මනෝහර ස්වරයෙන් මෙම ගාථා රත්නයන් වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇත්තෙන්ම මහා මාන්නයකින් සිටි ශාක්‍ය වංශිකයන් වෙනස් වී ගිය අයුරු අපටවත් හිතාගන්න අමාරුයි. අන්තිමේදී හැමෝම වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වුණා. වැඩි පිරිසක් මගඵල ලැබුවා. සසරෙන් එතෙර වෙන නිවන් මගෙහි බැසගත්තා.සුද්ධෝදන රජුත් ධර්මය අවබෝධ කලා. බොහෝ දෙනෙක් පැවිදි වෙලා අරහත්වයට පත්වුණා. තමන්ගේ පරපුරෙහි භාග්‍යවතුන් වහන්සේ උපන්න නිසා කවුරුත් උන්වහන්සේට ආදරයෙන් කිව්වේ ‘ශාක්‍යවරුන්ගේ මුනිවරයා’ කියලා. ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

මුල් පිටුවට >>>

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here