12-7. දේවදත්ත ගැන කථා වස්තුව

0
8


“අයහපත කරන්න ලේසියි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැනුත් ඉගෙන ගන්නේ මේ අසත්පුරුෂයා ගැනමයි. දැන් බලන්න දේවදත්ත ගේ නම ඉතිහාසගත වුණාට වැඩක් නෑ නේද? ඔහුට කිසි සත්පුරුෂයෙක් ප්‍රශංසා කරන්නේ නෑ. ඔහු අසත්පුරුෂ භූමියේ සිටිය කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේට නොයෙක් හිංසා කරලා බැරිම තැන තමයි සංඝභේදය කරන්න කල්පනා කළේ. ඒකට මොහු සැළසුමක් කළා. ඒ සැලසුමට කෝකාලික කියලා තවත් අසත්පුරුෂයෙකුත් එකතු වුණා.

“එම්බා කෝකාලික, මේ මිනිස්සු ගොඩක් ආස රූක්ෂ ප්‍රතිපත්තිවලටයි. ඒ වගේම එළවළුයි, බතුයි විතරක් වළඳනවාටත් කැමතියි. අපිට ලේසියෙන්ම මිනිසුන්ව අපේ පැත්තට හරවාගන්න පුළුවන්. ධර්ම විනය නොදත් නවක භික්ෂූන්වත් අපේ පැත්තට හරවාගන්න පුළුවන්. එතකොට ගෞතම සාසනයක් අපට මොකටද? දෙව්දත් සසුනක් හදාගන්න පුළුවන් නෙව” කියලා වර පහක් ලෙස කරුණු ගොනු කළා.

ගෞතම ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා අනිවාර්යයෙන්ම වනාන්තරයේ වාසය කළ යුතුයි. අනිවාර්යයෙන්ම රුක්සෙවණේ වාසය කළ යුතුයි. අනිවාර්යයෙන්ම පාංශුකූල සිවුරෙන් වාසය කළ යුතුයි. අනිවාර්යයෙන්ම පිණ්ඩපාතයෙන් වාසය කළ යුතුයි. අනිවාර්යයෙන්ම මස් මාංශ නොවැළඳිය යුතුයි කියලා අපි මේ පහ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ඉදිරිපත් කරමු. මට හොඳටම විශ්වාසයි මේකට අවසර ලැබෙන්නේ නෑ.”

“යසයි! අපට ලේසියෙන්ම ප්‍රඥා රහිත මිනිසුන්ව පහදාගන්න පුළුවන්” කියලා මේ අසත්පුරුෂ දේවදත්තයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් මෙම කරුණු පහ සංඝයාට අනිවාර්යය කරන්න කියලා ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

දේවදත්තට දැන් හරී සතුටුයි. ඔහුගේ ඉලක්කය හරියාගෙනයි එන්නේ. ඊටපස්සේ ඔහු අලුත පැවිදි වූ පන්සීයක් භික්ෂූන් වහන්සේලා ඉදිරියට ගිහින් මේ කාරණය සැළකළා. සසර ඉතා භයානක බවත්, අප්‍රමාදීව වීරිය කළ යුතු බවත් මොහු කියන්න ගත්තා. මොහුගේ කතාවට නවක භික්ෂූන් වසඟ වුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් ලාභසත්කාරවලට ඇලී වාසය කරන බවත්, එනිසා ඔහුගේ ශ්‍රාවකයන්ට නිවන් මග ප්‍රමාද බවත්, තමන් විසින් ඉදිරිපත් කළ මේ පංච ප්‍රතිපත්තිය හේතුවෙන් වහ වහා සසර දුකින් මිදෙන බවත් මොහු කියා සිටියා. නවක භික්ෂූන් මේ ගැටයට හසුවුණා. දේවදත්තගේ අදහසට එකඟ වුණා. පංච ප්‍රතිපත්ති සමාදන් වුණා.

එදා ආනන්ද තෙරුන් වහන්සේ පිඬුසිඟා වඩිද්දී දේවදත්ත ආනන්දයන් වහන්සේ ළඟට පැමිණියා.

“එම්බා ආයුෂ්මත් ආනන්ද, අද සිට මං භාග්‍යවතුන් වහන්සේගෙන් බැහැරව භික්ෂු සංඝයාගෙන් බැහැරව උපෝසථයත් කරනවා. සංඝකර්මත් කරනවා” කියලා කිව්වා.

ආනන්දයන් වහන්සේ නිශ්ශබ්දව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට මෙකරුණ සැළ කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං රජගහ නුවර පිඬුසිඟා වඩිද්දී දේවදත්ත මාව දැකලා ළඟට ඇවිදින් පවසා සිටියේ ඔහු වෙනම උපෝසථ සංඝකර්ම කරන බවයි. භාග්‍යවතුන් වහන්ස, අද දේවදත්තයා සංඝභේදය කරනවා. උපෝසථයත් කරනවා. සංඝ කර්මත් කරනවා.”

මෙසේ පැවසූ විට අපගේ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ “පින්වත් ආනන්ද, තමන්ට අහිත පිණිස දුක් පිණිස පවතින දේ කරන්න හරී ලේසියි. යමක් තමන්ට හිත සුව පිණිස පවතිනවාද, යහපත් ද එය කිරීම ඉතාම දුෂ්කරයි” කියා වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.

සුකරානි අසාධූනි – අත්තනෝ අහිතානි ච
යං වේ හිතඤ්ච සාධුං ච – තං වේ පරමදුක්කරං

තමා හට දුක විපත සළසන – දේ කරන්නට ඉතා පහසුය
සෙත සුවය දෙන දේ කරන්නට – ඉතා දුෂ්කරමයි කෙනෙකු හට

පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුන්ට විපත් කරන්න නිදි වරාගෙන සැළසුම් කරනවා. බොහෝ වියදම් කොට ගමන් යනවා. කාලය, ශ්‍රමය, ධනය වැය කරනවා. තමා හට යහපත පිණිස ඒ හැමදෙයක්ම යොදාගන්න පුළුවන්. නමුත් එයට හිත යොමු කරගන්න හරි අපහසුයි. තමන්ට දුක හදල දෙන දේ බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. සැප හදන දේ කිරීම ඉතාම දුෂ්කරයි. වෛර නොකොට, ඊර්ෂ්‍යා නොකොට, පළිනොගෙන, එකට එක නොකොට අනුන්ගේ යහපතට සතුටු වෙමින් වාසය කරනවා නම් එය දුෂ්කර තමයි. නමුත් ඒ දුෂ්කර දේ කරන්නට අපි මහන්සි ගනිමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

  තවත් මෙවැනි කථා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

The post 12-7. දේවදත්ත ගැන කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here