12-5. මහාකාල උපාසකතුමාගේ කථා වස්තුව

0
13


“තමා කළ පාපයෙන් තමාමයි නැසෙන්නේ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කොයිතරම් යහපත් ලෙස ජීවත් වුණත් බලපොරොත්තු නැති කරදර සිදුවෙනවා. නිරපරාදේ චෝදනාවලට ලක්වෙනවා. කිසි වරදක් නැතුව වැරදිකාරයන් වෙනවා. එවැනි දේ සිදුවෙනකොට අපේ සිත හදාගැනීමට අපි දක්ෂ විය යුතුයි. බාහිර ලෝකයෙන් සාධාරණත්වය බලාපොරොත්තු වුණොත් සිතේ ඇතිවෙන්නේ කැළඹීම විතරයි. සසරේ ස්වභාවය දුක් සහිත බව තේරුම් ගෙන සිටීම අපට හරී ප්‍රයෝජනයි.

මෙයත් එවැනි කථාවක්. සැවැත් නුවර මහාකාල නමින් එක්තරා උපාසක පින්වතෙක් හිටියා. මෙතුමා මාසයකට අට දිනක් දෙව්රමට ගිහින් උපෝසථ සීලය සමාදන් වෙනවා. රාත්‍රිය පුරාමත් බණ අසනවා. ඔය අතරේ එක්තරා රාත්‍රියක සොර මුලක් එක ගෙයක් බින්දා. බඩු පැහැර ගත්තා. එසේ පැහැර ගනිද්දී ලෝහ භාජනයක් වැටුණා. ඒ සද්දයට නිවැසියන් අවදි වුණා. කලබල වුණ සොරමුල ගත් බඩු ඒ ඒ තැන්වල දාලා පැනලා දිව්වා. නිවැසියන් සොරමුල පස්සෙන් පැන්නුවා.

මහාකාල උපාසකතුමා පාන්දර නැගිටලා පොකුණට ගිහින් මුහුණ සෝදමින් සිටියා. ඒ පාරෙන්ම දුවගෙන පැමිණි ඇතැම් සොරු මහාකාල උපාසකතුමා ඉදිරියේ බඩු අතෑරලා දිව්වා. පන්නගෙන ආ පිරිස

“මෙන්න බඩුත් එක්ක හොරා අහුවුණෝ…” කියලා මහාකාල උපාසකතුමාව අල්ලගත්තා.

“ඒයි හොරා…! නුඹ ගෙවල් බිඳලා බඩු පැහැරගෙන බණ අහන කෙනෙකුගේ වේශයෙන් හැසිරෙනවා නේද?” කියලා අර මිනිස්සු මේ උපාසකතුමාට පහර දුන්නා. වැදුණු පහරින් උපාසකතුමා මැරිලා වැටුණා.

එදා උදෑසන කුඩා සාමණේරවරුන් පැන් ගෙන ඒමට පොකුණට ගිය වෙලේ මරණයට පත්වී සිටින උපාසකතුමාව දැක්කා. මහත් කම්පාවට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සති ගණන් නැවතිලා සිල් රැකපු හරිම හොඳ උපාසක කෙනෙක් තමයි ඔය මහාකාල කියන්නේ. කවුරුවත් කරපු වැරැද්දකට දඬුවම් වින්දා නෙව. මෙයින් උපාසක උන්නැහේට අසාධාරණයක් වුණේ.”

“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. මේ ආත්මයේදී අපේ උපාසකට සිදුවුණු ඇබැද්දිය සාධාරණ එකක් නෙවෙයි. නමුත් පෙර කර්මානුරූප බලපෑමකින් තමයි මේ විපත වුණේ.

පින්වත් මහණෙනි, ඈත අතීතයේ බරණැස් නගරයට ගොඩක් දුරින් පිටිසර ගමක් තිබුණා. ඒ ගමට යන්න තියෙන්නේ වනාන්තරයක් මැදින්. වනයේ සැඟවී සිටින සොරමුලක් මිනිස්සුන්ව කොල්ලකනවා. රජතුමාට මේ ගැන පැමිණිලි කළා. රජතුමා වනයට ඇතුළුවෙන තැනත්, පිටවෙන තැනත් මුරකාවල් යෙදුවා. ඔතන සේවය කළ රාජපුරුෂයෙක් හිටියා. ඔහු මිනිසුන්ගෙන් මුදල් ගෙන වනයෙන් එතෙර කරවනවා. එතෙර සිට මෙතෙරට කැඳවාගෙන එනවා.

ඔය අතරේ එක්තරා පුරුෂයෙක් තමන්ගේ බිරිඳත් සමඟ පොඩි කරත්තයක නැගී වනයෙන් එතෙර වෙන්න පැමිණියා. එතෙර වෙන්න ආපු පුරුෂයාගේ බිරිඳ ඉතාම ලස්සනයි. ඇය කෙරෙහි මොහු තුළ තෘෂ්ණාවක් ඇතිවුණා. ඒ වෙලාව එතරම් රෑ බෝ වෙලා නැහැ. අර රාජපුරුෂයාට පහසුවෙන්ම වනයෙන් එතෙර කරවන්න පුළුවන්. නමුත් ඔහු වෙන දෙයක් කිව්වේ.

“දැන්ම යන්න ඕන නෑ. අද මෙහෙ ඉන්න. මං ඔබට නවාතැන් දෙන්නම්. හෙට පාන්දරින් ඇරලවන්නම්.”

“අනේ පින්වත, එහෙම කරන්න එපා. තවම මේ හොඳට එළිය තියෙන්නේ. වැඩි වෙලාවක් යන එකක් නෑ. අනේ අපිව ඉක්මනට මේ වනාන්තරයෙන් එතෙර කරවන්න.”

“නෑ. එහෙම කලබල වෙන්න ඕන නෑ. අද අපේ ගෙදර යමු. කෑම්බීම්, ඉඳුම්හිටුම් මං හරිගස්සලා දෙන්නම්.”

නමුත් මේ දෙදෙනා නවතින්න කැමති වුණේ නෑ. ඔවුන් අකමැත්තෙන් සිටියදීම ඔවුන්ට යන්න දුන්නේ නෑ. තමන්ගේ සේවකයන් ලවා ඔවුන්ගේ කරත්තය නැවැත්තුවා. මේ නිසා ඉතා අකමැත්තෙන් නමුත් ඒ ගෙදර නවාතැන් ගන්න සිද්ධ වුණා. රාත්‍රියට ආහාරපාන ලැබුණා. එදා රෑ මේ රාජපුරුෂයා උපක්‍රමයක් යෙදුවා. තමන් ළඟ තිබුණු ඉතා වටිනා මාණික්‍යයක් ඔවුන්ගේ කරත්තයට දැම්මා. මේ කිසිවක් නොදැන ඒ දෙදෙනා පාන්දරින් පිටත් වුණා.

එදා උදෑසන තම නිවස තුළ කිසියම් පැහැර ගැනීමක් වී ඇති බව ඔහු කියන්න පටන් ගත්තා. වටිනා මැණිකක් නැතිවූ බව පැවසුවා. ඒ මැණික සොයමින් කෑ ගසා එහෙ මෙහෙ ඇවිදින්න පටන් ගත්තා.

“ඒයි! සේවකයිනි, මේ පළාතේ කාටවත් යන්න දෙන්න එපා… මගේ මැණික නැතිවෙලා… මෙතන හොරකමක් වෙලා… පිටත් වුණු හැම වාහනයක්ම පරීක්ෂා කරන්න ඕන.”

අර සේවකයන් හැම කරත්තයක්ම පරීක්ෂා කළා. එතකොට මේ රූමත් කාන්තාව සිටි කරත්තය ඇතුළේ ඒ මැණික තිබුණා. සේවකයෝ “එතකොට තෝ නේද මේ මැණික අරගෙන පැනලා යන්න හැදුවේ…” කියලා අල්ලාගෙන අර රාජපුරුෂයා ළඟට අල්ලාගෙන ගියා.

“ඒයි දුෂ්ට මිනිහා…! මගේ ළඟ නවාතැන් අරගෙන, ආහාරපානාදියෙන් උපකාර අරගෙන නුඹ මගේ මැණිකටත් විද්දා නේද?” කියලා පහර දුන්නා. සේවකයනුත් වටකරගෙන පහර දුන්නා. අර අසරණ මිනිසා එතනම මැරිලා වැටුණා.

ඔය පාප කර්මයේ විපාක වශයෙන් මොහු මරණින් මතු අවීචි මහා නරකයේ උපන්නා. බොහෝ කාලයක් දුක් වින්දා. ඔහුගේ වාසනාවකට මිනිස් ලොව උපදින්න ලැබුණා. ධර්මය අහන්නත් ලැබුණා. ධර්මයේ හැසිරෙන්නත් ලැබුණා. ඔහු සෝවාන් ඵලයට පත්වෙලා හිටියේ. ඔහුගේ අර පැරණි කර්මයේ විපාක ඉතුරු වෙලා තිබුණා. ඒක තමයි ඔය ඵල දුන්නේ.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව මෙම මිහිරි ගාථා රත්නය වදාළා.

අත්තනා’ව කතං පාපං – අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මේධං – වජිරං’වස්මමයං මණිං

තමා විසින් කළ පාපය – තමා තුළයි හටගත්තේ
තමා තුළම උපන්න එය – තමාවමයි වනසන්නේ
දැඩි වූ දියමන්තියකින් – මැණිකක් වනසන ලෙසිනේ
අනුවණ ජනයා වැනසේ – නිරයට වැටෙමින් දුකසේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, දියමන්තිය කියන්නේ ගොඩාක් ශක්තිමත් එකක්. දියමන්තියකින් හැදුණු මැණික් ගලක් කඩලා විනාශ කරන එක ඒ දියමන්තියටම පහසුවෙන් කරන්න පුළුවන් එකක්. ඒ වගේ තමයි තමන් විසින්ම, තමන් තුළින්ම තමන් හිතාමතාම කරන යම් පාපයක් ඇද්ද, එය ඒ පුද්ගලයාව වනසනවා. අපාය දුකට කැඳවාගෙන යනවා. තමන්ගේ එක එක ආසාවන් ඉෂ්ට කරගැනීම වෙනුවෙන් අනුන්ට හිංසා කිරීම මොනතරම් බරපතල විදිහට තමන්ට බලපානවද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 12-5. මහාකාල උපාසකතුමාගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here