116 . බෙලි ගස / Aegle marmelos / Beli බෙලි ශාකය ගෙවත්තට ශ්රියා කාන්තාව සේ සැළකෙ…

0
14


116 . බෙලි ගස / Aegle marmelos / Beli

බෙලි ශාකය ගෙවත්තට ශ්රියා කාන්තාව සේ සැළකෙන ශාක අතුරින් එක් ගසකි. හින්දු බැතිමතුන් ශිව දෙවියන් පිදීමට බෙලි ගස යොදාගන්නා අතර විෂ්ණු පූජාවටත් බෙලි ශාක පත්ර නැතිවම බැරිය. එසේම යසස , කීර්තිය , සෞභාග්යය , දියුණුව කැඳවන පූජනීය වෘක්ෂයක් සේ බෙලි ශාකය ගැමියන් හදුන්වනු ලබයි. ගෙමිදුළ බෙලි ගස් පහක් සිටුවීම දෙව් ලොව යාහැකි පින්කමක් ලෙසට භාරතීය ආගමික ග්‍රන්ථයන්හි විස්තර වන අතර ගෙමිදුළේ දකුණු පස බෙලි ශාකයක් සිටුවා ගැනීම වාසනාවන්ත ලක්ෂණයක් සේ මතයක්ද පවතී.

බෙලි ශාකයට බිල්ව , ගන්ධපත්‍ර , ශ්‍රිඵල , ත්‍රිපත්‍ර , ශලාටු , සදාඵල පර්‍යාය නාමයන් වන අතර ඉංග්‍රීසියෙන් Bael fruit කියාද දෙමළෙන් විල්වම් , මාවිලමරම් ලෙසින්ද සංස්කෘතයෙන් බිල්ව , ශ්‍රීඵල , ත්‍රිපත්‍ර නමින් හදුන්වනු ලබයි.

ඉන්දියාව නිජබිම කරගත් බෙලි ශාකය මියන්මාරය , මැලේසියාව , පකිස්ථානය , පිලිපීනය , ලංකාව ආදි රටවල ද බහුලව දක්නට ලැබෙන ශාකයකි. බෙලි ගස 10m ක් පමණ උසට වැඩෙන වසරේ එක් කලකදී පමණක් කොළ හැලෙන (පතනශීලී) ශාකයක් වන මෙහි මේරූ අතුවල කටු පිහිටයි. ළපටි අතු කොළ පැහැති වන අතර ත්රිපත්රි සංයුක්ත පත්ර ඒකාන්තරව පිහිටයි. පත්රිකා හැඩයෙන් අණ්ඩාකාර සිට ඉලිප්සාකාර වෙයි. පත්ර පොඩි කළ විට මනා සුවඳක් දැනෙයි. කක්ෂීය පුෂ්ප මංජරියක පොකුරු වශයෙන් හට ගන්නා සුවඳැති මල් කොළ පැහැයට හුරු සුදු පැහැතිය. උපගෝලාකාර ඵලය වටා ඝණ කටුවක් පිහිටන අතර ගෙඩිය තුල මදය පිහිටයි. එහි ඇති ඇලෙන සුලු ද්රාවණයේ ගිලුණු බීජ 6 – 10 ක් බොහොවිට දක්නට ලැබෙයි. උද්භිද විද්යාත්මක තොරතුරුවලට අනුව බෙලි ගස යම් කාලයකදී අපට හඳුන්වා දී ඇති අතර බෙලි ඉන්දියාවට දේශීය වූ ශාකයකි. බෙලි ප්‍රධාන වර්ග 2කි. එනම් විශාල ගෙඩි සෑදෙන රට බෙලි නම් විශේෂයත් කුඩා ගෙඩි සෑදෙන ගම් බෙලි වශයෙනි. අගනා පළතුරක් මෙන්ම ඖෂධීය වටිනාකම් රාශියකින් යුතු බෙලි ශාකය Rutaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

බෙලිවල දෝෂ කර්ම සේ කඵ ශාමක බවත්
ගුණ කර්ම ලෙසට රස – කෂාය , තික්ක . ගුණ – රූක්ෂ , ලඝු , වීර්ය – උෂ්ණ . විපාක – කටුක බවත් සදහන් වෙයි. මලබද්ධය , මලස්රාව , අජීර්ණ , වමනය , සෙංලමාලය , දැවිල්ල , හෘද දුර්වලතාවයන් , අතීසාර , රක්ත අතීසාර , දියවැඩියාව , අක්ෂි රෝග , වාත රෝග , ඉදිමුම් ආදියට ප්රතිකාර කිරීම සඳහා බෙලි මල් , මුල් , පොතු , කොළ , ගෙඩි , මද , ලාටු , කටු ආදී සෑම කොටසක්ම භාවිතයට ගනී.

බෙලි ගෙඩි සහ ගසේ වෙනත් කොටස් විවිධ ගුණයන්ගෙන් යුක්ත ය.
👉 අමු බෙලි මද මලබද්ධය ඇති කරන අතර පැසුණු බෙලි මද මල භේද කරයි. අමු බෙලි මද
වාතය හා සෙම සමනය කරයි. අමු බෙලි මද පෙති ගසා වියළා කබලේ බැද තේ මෙන් වත්කර බීම ආමවාතයට සුව දෙයි. මල කැටිකරවන අතර හර්ද රෝගවලටද ගුණදායකයි.

👉 ඉදුණු බෙලි මද මිහිරි සුවඳකින් යුක්ත වන අතර මල භේද කරන , ශක්තිජනක , උදර වේදනා පහ කරන , හෘදයට සහ මොළයට හිතකර ගුණ සහිතයි. ඉතා පෝෂ්ය දායක වන අතර විදුරු මසින් ලේ ගැලීම නවතයි. බෙලි යුෂ ගී වලට මිශ්ර කර පානය කිරීමෙන් හර්ද රෝග ආඝාත තත්ත්ව අවම කරවයි.

👉 බෙලි මල් අතීසාර , වමන , පිත , පිපාසය දුරු කරයි. වේදනාව නසන ගුණ ඇති අතර මල් තේ ලෙස පානය කිරීමෙන් සමෙහි කුරුලෑ ලප කැළැල් මැකී සම නිරෝගිකරවයි. සුදු කබර පොතු කබර රෝගවලටද එරෙහිව ක්රියා කරයි. පිපාසය දාහය නිවාලනවා.

👉 බෙලි කටු දැවිල්ල , ඌෂ්ණය , අරුචිය , මලබද්ධය නැති කරයි. හෘදය හා මොළය ශාක්තිමත් කරයි. බෙලි කටු තම්බා වතුර බීමෙන් අත් පා දැවිල්ල හා උෂ්ණය සංසිදෙයි.

👉 බෙලි ගැට විරේචක ගුණයෙන් යුක්ත ය.

👉 බෙලි කොළ වේලා කුඩුකර තේ මෙන් පානය කිරීමෙන් දාහය නිවෙන අතර වමනය දියවැඩියාව ද පාලනය කළ හැකියි.
වේදනා නාශකයක් සේ තැවිලි පොට්ටනිවලටද භාවිතය. ඉදිමුම සුවකරනවයි. බෙලි කොළ යුෂ හෝ තැම්බූ වතුර අතීසාරය , අම්ල පිත්ත , උණ රෝග සඳහාත් යොදා ගැනෙයි.

👉 බෙලි මුල් දස මූල බෙහෙතට අඩංගු වන්නකි. වාත දෝෂ නසන ගුණ සහිත අතර ආහාර ජීරණයට උදව් කරවයි. මුල කෂාය කර බීමෙන් උණ , අතීසාර , අජීර්ණ , ග්රහණි රෝග පාලනය කරවයි. ආහාර අරුචිය දුරුකර දෙයි. මුලෙහි අරටුව කුසගිනි වඩවන , ලේ ගැලීම් වලකාලන , කාමෝද්දීපක ගුණ සහිතයි.

බෙලි ශාකයෙන් අත් බෙහෙත් –
* වාත ඉදිමුම් හා හන්දිපත් වේදනා සදහා බෙලි මුල් සුදුලූනු සමග තම්බා බීම ඔසුවකි.
* දියවැඩියාවට බෙලි කොළ තැම්බූ යුෂ ගම්මිරිස් ටිකක් දමා දිනපතා උදෑසන බීම ගුණදායකයි.
* දහදිය බිබිලි හා ඩහදිය දුගඳ දුරු කිරීමට
බෙලි කොළ අඹරා සිරුරේ ගල්වා පැයකට පසු ස්නානය කිරීම.
* වමනයට බෙලි මුල් පොතු කෂායට මී පැණි දමා බීමට දෙයි.
* රක්ත අතීසාරය , රක්ත ප්රවාහිකා , රක්ත අර්ශස් ආදියට බෙලි ගැට මඳ පෙති මෙන් කපා අව්වේ වේලා කබලේ මඳක් බැද කුඩු කර බීම ගුණදායකය.
* සෙංගමාලයට බෙලි කොළ යුෂ මී පැණි සමඟ දෙයි.
* අධි රුධිර පීඩනයට ඉදුණු බෙලි , බැබිල මුල් හා අමු ඉඟුරු සමව ගෙන තම්බා යුෂ සීනි සමග පානය කිරීම සුදුසුයි.
* අමු බෙලි මද පෙති ගසා වියළා කබලේ බැද තේ මෙන් වත්කර බීම ආමවාතයට සුව දෙයි.
* හෘද රෝගවලට බෙලි මල් කෂාය යොදා ප්රතිකාර කරයි.
* මධුමේහයට බෙලි කොළ යුෂ හෝ කොළ තැම්බූ වතුර බීමට දෙයි.
* කුරුළෑ ලප කැළැල් වලට ඉදුණු බෙලි කහ සහ දෙහි යුෂ මිශ්රකර මුහුණේ ගල්වා පැයකට පසු සෝදා හැරීම සුදුසුය.
* බෙලි කොළ තම්බා තැවීමෙන් වෙදනා සහිත ඉදිමුම් සමනය වේ.
* සම පැළීමට , හැකිළීමට ඉදුණු බෙලි , වට්ටක්කා මද , එළකිරි මිශ්රකර ගැල්වීම සුදුසුයි.
* අර්ශස් වේදනාවට බෙලි මුල් තැම්බූ වතුරෙන් තැවීම සේදීම ගුණදායකය.
* තම්බාගත් බෙලි මදවලට තැම්බූ වතුරම කලවම් කර පානයක් සාදා බීමෙන් මුත්ර දෝෂ සමනය වෙයි.
* දැවිල්ල සහිත ඉදිමුම්වලට බෙලි කොළ ඇල්දියෙන් අඹරා ගෑම සහනය ගෙන දෙයි.
* අතුල් සහ පතුල්වල දැවිල්ලට බෙලි ශාක කොටස් යොදා නිපදවන බිල්වාදී තෛලය ආලේප කිරීමෙන් සුවය ලැබෙයි.

බෙලි පෝෂණ ගුණයෙන් අණූන පලතුරක් වන අතර බෙලි මද 100g ක කිලෝකැලරි 137ක ශක්තියක් අන්තර්ගත අතර කාබොහයිඩ්‍රේට් 31.8g ක් ද , මේදය 0.3gක්ද , ප්‍රෝටීන 1.8gක් ද අන්තර්ගතයි. සිරුරට අවැසි විටමින් හා ඛණිජ ලවණ රාශියක් ද බෙලි වල අඩංගු අතර මෙහි විටමින් A , C , B1 හා B2 , තයමීන් , රයිබොෆ්ලේවින් , නියැසීන් මෙන්ම කැරොටීන් ද අන්තර්ගතයි. සිරුරට අත්‍යවශ්‍ය ඛණිජ ලවණ සදහා බෙලි ආහාරයට ගැනීමෙන් කැල්සියම් හා පොටෑසියම් සැළකිය යුතු ප්‍රමාණයක් ශරීරයට ලැබෙන අතර බෙලි 100g ක තන්තු 2.9gක් හා ජලය 61.5gක්ද අන්තර්ගත වෙයි.

බෙලි ගෙඩි බඩ වියළීමේදී සීනි සමගත් බඩ බුරුල්වීමේ දී මී පැණි සමගත් කෑමට ගැනීම ඔසුවකි. බෙලි මල් තැම්බූ වතුර ඇඟ නිවන පානයක් වන අතර ඉදුණු බෙලි හෝ පැසුණු බෙලි තම්බා පළතුරක් ලෙස කෑමට ගැනීමටත් රසවත් ගුණවත් පානයක් සාදා ගැනීමටත් හැකියි. මවක් දරු ප්රසූතියෙන් පසු “කොළ වතුර” නෑවීමේදී එයට බෙලි කොළ එකතු කරන්නේද ඔසු ගුණ අන්තර්ගත නිසාමය.

මාසයක් පමණ හොඳින් ඉදුණු බෙලි ආහාරයට ගැනීමත් පානයක් ලෙස සකසා ගැනීමත් ආහාර ජීර්ණ පද්ධතියේ ස්නේහශ්‍රාවී ගුණය කාර්යයක්ෂම වන අතර දීර්ඝ කාලීනව මලබද්ධය ඇති වීම වලකයි. බෙලි ගෙඩියෙහි අඩංගු ටැනින් රසායනිකය අතීසාරය , කොළරාව වැනි රෝග ගණනාවක් සුව කිරීමට භාවිතා කරයි. බෙලි ගෙඩියේ මදය වියළා කුඩු සකස් කර ගැනීමෙන් පැරැන්නන් අතීසාරයට ප්‍රතිකාර කර තිබෙනවා. නොඉදුණු බෙලි වල සාරය සුදු කබර රෝගය හා ගුද මාර්ගයේ තුවාල සුව කිරීම සඳහාත් භාවිතය. බෙලි නීරක්තිය , කන් හා අක්ෂි සම්බන්ධ ගැටළු වලට ප්‍රතිකාර වශයෙනුත් යොදාගන්නවා.
ආහාර ජීර්ණ පද්ධතියේ තුවාල සුව කිරීම
බෙලි වල ඇති ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත ෆීනෝලික සංඝටක ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන තුවාල සුව කිරීමද උපකාර වෙයි. බෙලි පලතුරු වල යුෂය බැක්ටීරියා නැසීමේ ගුණ අන්තර්ගත වන අතර වෛරස හා දිලීර ආසාදන වලටත් ප්‍රතිරෝධී ලෙස ක්‍රියා කරන නිසා විවිධ ලෙඩ රෝග රාශියකට ප්‍රතිකර්මයක් ලෙස යොදා ගැනෙයි.

බෙලි පලතුරු යුෂය රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වර්ධනය කිරීමට දායක වන නිසා තුවාලයක් මඟින් අධික ලෙස රුධිර වහනය වූ පුද්ගලයෙකුට , ගැබිණි මව්වරුන් වැනි රුධිරයෙහි හිමෝග්ලොබින් ප්‍රමාණය වර්ධනය වීමට අවශ්‍ය පුද්ගලයින්ට බෙලි ගුණදායක පානයකි. බිල්වාදී නාමය යටතේ බෙලි යොදා නිපදවන ඖෂධ රශියක් අප රට තුල පමණක් දැකිය හැකිය.

ඔසු වශයෙන් පමණක් නොව රුව වැඩීමටත් බෙලි උපයෝගි වෙනවා. ඉදුණු බෙලි ගෙඩියක මද කුඩු කරගත් මුං ඇට සමග මුසුකොට සමේ ආලේප කිරීමෙන් සම පැභැපත් වන අතර නිතර බෙලි ආහාරයට ගැනීමත් සාධකයකි. තවද බෙලි කොල පල්පයක් සේ අඹරා හොදට සිරැරේ ආලේප කරන්න. ගල්වන අතරේ මෘදුව පිරිමැද පැය බාගයකට පමන පසු ස්නානය කිරීමද රුව වැඩීමට හේතු වෙයි.

විෂ්ණු පූජාවට බෙලි කොළ අවශ්යම දෙයක් ලෙස සැලකෙන අතර බාලක ග්රහ දෝෂ වලදී දුම් ඇල්ලීමට බෙලි කොළ , කටු , මුල් යොදා ගනියි. පැසුණු බෙලි කටු විසිතුර භාන්ඩ නිපදවීමට භාවිතා කරයි. ගැමියන් බෙලි ගැට මද කුල්ලේ ගෑමටද යොදා ගනියි.

බෙලි ශාකයේ අන්තර්ගත රසායනික ගුණ අතර coumarins , alkaloids , sterols , terpenes , flavonoids ප්‍රධාන වෙයි.

ඖෂධීය ශාක සංග්රහයේ හා ඔසු පැල දෙපාර්තමේන්තුව දකුණු පලාත් පිටුවේ මෙන්ම ඔසු පැල හදුනාගනිමු සමූහයෙන් හා ඉපැරණි හෙළ වෙදකම සමුහයෙන් තොරතුරු ගෙන සැකසුනකි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here