11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව

0
4


“චතුරාර්ය සත්‍යය අවබෝධ නොකිරීම අනතුරක්මයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්ලිකා දේවිය ගැන ඔබ අසා ඇති. ඇය හරියට පින් කළා. කොසොල් රජතුමාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙව්වේ ඇය විසිනුයි. ඇය නිහතමානීව සිටින්නට බොහෝ උත්සාහ කළා. ඇය බොහෝ සෙයින් සංඝයාට දානමාන දෙන්නත්, පුදපූජාවන් පවත්වන්නටත් කල් ගෙවූ නමුත් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස වෙහෙසුණේ නෑ. මාර්ගඵල ලබන්නට බැරිව ගියා. මෙනිසාම ඇගේ සිත සතර සතිපට්ඨානයෙහි රඳවා ගැනීමෙහි අදක්ෂ වුණා.

සමහර අයගේ ජීවිතවලට කිසි දවසක නොසිතූ දේවල් සිදුවෙනවා. එබඳු අනපේක්ෂිත දෙයක් තමන්ගේ චරිතයට සිදුවුණොත් එය පිටට කියන්නත් බෑ. සංවර වෙන්න විදිහකුත් නෑ. ඒ ගැන හිත හිතා දුක් විඳිනවා. මෙච්චර පින්කම් කළ මල්ලිකා දේවියටත් එවැනි අකරතැබ්බයක් වුණා. මල්ලිකා දේවිය දිනක් නාන කොටුවේ හිටියා. ඇය තනියම දිය නාමින් සිටිද්දී මාළිගාවේ ඇතිදැඩි කරන සුනඛයෙක් ඈ ළඟට ඇවිදින් ඇඟේ පැටලෙන්න ගත්තා. සුනඛයා නරක විදිහට හැසිරුණා. ඈ සුනඛයා කෙරෙහි අනුකම්පාවෙන් නිශ්ශබ්දව හිටියා.

සුනඛයා ඈ ළඟ හැසිරුණු විදිහ රජතුමා දැක්කා. රජතුමා ඒ ගැන බොහොම දොස් කිව්වා. එවෙලේ ඈ කිව්වේ තමා එයට කිසිම අනුබලයක් දුන්නේ නැත කියා ය. ඒ නිසා කිසිවක් වුණේ නැත කියා ය. මල්ලිකා දේවියට මේ ගැන ඉතාමත්ම ලැජ්ජාව ඇතිවුණා. ඇයි, රජ්ජුරුවොත් දැක්කනේ. තමන් හීනෙකින්වත් නොසිතූ දෙයක් මේ වුණේ. සමහර අවංක අයට සුළු දෙයක් වුණත් ඒ ගැන හරියට පසුතැවිලි වෙනවා. මල්ලිකා දේවියත් නිතර නිතර මේ ගැන පසුතැවිලි වුණා. ඇත්තෙන්ම එදා ඇය කිසි වැරද්දකට සුනඛයාව පෙළඹෙව්වේ නෑ. ඌමයි ඇවිදින් නාඩගම් නැටුවේ. නමුත් බලන්න. සිත හදාගන්න බැරිකම කොතරම් දුර යනවද?

බුදුරජාණන් වහන්සේව දකිද්දි, සංඝයාව දකිද්දි ඇය හරියට පසුතැවුණා. හිතෙන් දුක් වින්දා. කාටවත් කියාගන්නත් බෑ. ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා. කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා. ඇයට ලොකු භයකුත් ඇතිවුණා. මේ හේතුවෙන් ඇය මරණින් මතු නිරයේ උපන්නා.

කොසොල් රජතුමාට මල්ලිකාව හරි ප්‍රියයි. රජතුමා හරියට දුක්වුණා. හැඬුවා. ඇගේ සිරුර ආදාහනය කොට ඇය උපන්නේ කොහේද කියා දැනගැනීමේ ආසාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. නමුත් එතනදි රජතුමාට එය අමතක වෙනවා. දින හතක් යන තුරුම රජතුමාට ඔය කාරණාව අමතක වුණා. හත්වෙනි දවසේ රජතුමාට ඒක මතක් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා.

“පින්වත් රජතුමනි, මල්ලිකා දේවිය තුසිත දෙව්ලොව ඉපිද මහත් සතුටින් වාසය කරනවා.”

රජතුමාට හරිම සතුටක් ඇතිවුණා. සැනසිල්ලක් ඇතිවුණා. ඇත්තෙන්ම මල්ලිකාව දුක්වින්දේ දවස් හතයි. ඇගේ පින ගොඩාක් බලවත්. මහා බලසම්පන්න පින් රාශියක් රැස් කරලා තිබුණා. ඒ නිසාමයි ඈ බේරුණේ. සමහර උදවියගේ දුර්වල පින ගැන බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළා. එය හරියට කුඩා වතුර බඳුනක් වගෙයි. එබඳු ජලයකට ලුණු කැටයක් දැම්මොත් ඒ සියලු ජලය ලුණු රසයට හැරෙනවා. මේ වගේ පටු සිතක් ඇති පින් මඳ තැනැත්තා කරන කුඩා පවෙනුත් බොහෝ කල් නිරයේ පැසෙනවා. මල්ලිකාට පටු සිතක් තිබුණේ නෑ. ඇයට තිබුණේ නොදැනුවත්ව වෙච්ච වැරැද්ද හෙළිකරන්නට ඇති ලැජ්ජාවයි. එනිසාම පසුතැවි තැවී සිටීමයි. කොහොම නමුත් සෝතාපන්න වෙලා සිටියා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ.

රජතුමා හැම තිස්සේම මල්ලිකාව ගැන මතක් කරනවා. ඇයගේ ගුණම කිය කිය ඉන්නවා. ඇය කෙරෙහිම බැඳී වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ රජමාලිගයෙහි ඇති මංගල රථ පවා කලකදි දිරා යන හැටි කියා දුන්නා. රජ පරම්පරාවේ රාජකීය රථ පොළොවට පස් වූ හැටි කියා දුන්නා. ගුණධර්ම ඒ අයුරින් දිරන්නෙ නැති බවත් කියා දුන්නා. ඉතාම ලස්සන ගාථා රත්නයක් මේ අයුරින් වදාළා.

ජීරන්ති වේ රාජරථා සුචිත්තා – අථෝ සරීරම්පි ජරං උපේති
සතඤ්ච ධම්මෝ න ජරං උපේති – සන්තෝ හවේ සබ්භි පවේදයන්ති

ඉතා ලස්සනට සැරසූ – රාජරථ යයි දිරාපත් වී
කොයිතරම් සැරසුව නමුත් – සිරුර යයි එලෙසින් දිරාගෙන
එනමුදු සත්පුරුෂයන්ගේ – ගුණදහම් නොදිරයි එලෙසින්
සැබැවින්ම උතුම් මුනිවරු – එයයි ලොව හට කියා දෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේක අපි කාටත් හොඳ පාඩමක්. ඇත්තෙන්ම මල්ලිකාවට තිබුණා. ඒ වැරැද්ද අමතක කොට තමන් කළ පින්කම් ගැන හිත හිතා සතුටු වෙන්න. ඈ සමාජයේ ඉහළින්ම සිටි ඉතාමත් ප්‍රභූ කාන්තාවක්නේ. තමන්ගේ තත්වය ගැන හිතලා වෙන්න ඇති එතරම්ම සිතට දුක් ගත්තේ. අන්තිමේදී ඒ කාරණයම තමන්ව අපායෙ ගෙනියන්න පස්සෙන් ආවා. මේ නිසා කළ හොඳ, කළ යහපත, පින නිතර නිතර සිතන්න ඕන. තමන්ගෙන් සිදු වූ අඩුපාඩු සිතා සිතා දුක් වීම අත්හැර ධර්මය අවබෝධ කරන්නමයි කල්පනා කරන්න ඕන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here