11-5. කයේ ආදීනව-රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව

0
11


“බුදුරජාණන් වහන්සේගෙන් ඒකාන්තයෙන්ම පිහිට ලැබේ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේගේ පවුලේ සියලු දෙනාම පාහේ නිවන් අවබෝධ කළා. කිඹුල්වත් පුරයට වැඩම කිරීමෙන් පස්සේ නන්ද කුමාරයාට පැවිදි වෙන්න වාසනාව ලැබුණා. රාහුල කුමාරයාටත් පැවිදි වෙන්න වාසනාව ලැබුණා. පස්සේ ප්‍රජාපතී ගෞතමී බිසවත් පැවිදි වුණා. යසෝදරාවත් පැවිදි වුණා. නන්දා කුමරිය තමයි ඉතුරු වුණේ. ඉතින් ඈ කල්පනා කළෙත් තනියම මාළිගයකට වෙලා ජීවත් වෙන එක තේරුමක් නෑ කියලයි. ඇයට තිබුණේ ධර්මය අවබෝධ කිරීමේ ආසාව නොවෙයි. තනිව සිටීමේ අකමැත්තයි. බඳින්න අදහසක් තිබුණෙත් නෑ. මේ නිසාම ඈ ත් භික්ෂුණියක් වෙන්න තීරණය කළා.ඉතින් නන්දා කුමරිය භික්ෂුණී ආරාමයකට ගියා. ඉතාමත් රූප සම්පන්න වූ නන්දාවෝ භික්ෂුණියක් වෙන්න කැමති වීම ගැන හැමෝම සතුටු වුණා. ඇගේ රූපය ලස්සන නිසා කවුරුත් කිව්වේ රූප නන්දා කියලයි. ඈ ත් තමන්ගේ රූපය ගැන ගොඩක් ආඩම්බරයෙනුයි හිටියේ.කයේ ආදීනව තේරුම්ගන්න උත්සහ ගත්තෙ නෑ. ඈ පැවිදි වුණාට බුදුරජාණන් වහන්සේට මුහුණ දුන්නේ නෑ. බණ අහන්න යන්න කැමති වුණෙත් නෑ.

භාග්‍යවතුන් වහන්සේ ජීවිතයේ ඇත්ත පහදලා දෙනවානේ. ඒ කියන්නේ මෙන්න මෙයයි රූපයේ ස්වභාවය. මේ රූපය පෙණ ගොඩක් වගේ. සාරයක් නෑ. කටු මැටි ගහපු වරිච්චි ගෙයක් වගේ. ඇට නහර වලිනුයි කෙලින් තියෙන්නේ. දොරටු නවයකින් අසුචි ගලනවා. හමකින් වැහිලා තියෙනවා. බැරිවෙලාවත් හම යටට ගොහින් මස් උඩට ආවොත් ඒ කෙනාට පොලු අරගෙනවත් මස් කන්න එන සත්තුන්ගෙන් තම සිරුර බේර ගන්න බැරිවේවි. මේ විදියට කයේ ආදීනව ඇහෙන කොට රූප නන්දා භික්ෂුණිය හිතුවේ රූපයට ගරහනවා කියලයි.

දවසක් රූප නන්දා භික්ෂුණියට මෙහෙම හිතුණා. ‘කොයික වුණත් භාග්‍යවතුන් වහන්සේ මගේ වැඩිමහලු සහෝදරයා නෙව. අනික, රූපයට දොස් කිව්වා කියලා ඕක ඒ හැටි ගණන් ගන්න දේකුත් නෑ කියලයි මට හිතෙන්නේ. මේ මිනිස්සු හරීයට ගුණ කියන්නේ…. සමහරු උන්වහන්සේව දැකලත් නෑ… ඒත් පැහැදිලා ඉන්නවා. බණ චුට්ටක් අහලා හරීයට පින් දෙනවා. ජීවිතය අවබෝධ වුණා කියලා සතුටු කඳුළු වගුරවමින් යනවා. එහෙම එකේ මං විතරක් මේ අයින් ගහලා ඉන්න එක හරි නෑ. ඉඳල හිටලවත් ගිහින් එන්න ඕන’

“අනේ මෙහෙණිවරුනේ…. මාත් ඔන්න අද බණ අසන්ට දම්සභා මණ්ඩපයට යන්න ආසයි.”

එතකොට භික්ෂුණීන් වහන්සේලා හරි සතුටු වුණා.

“හප්පේ! යාන්තම් ඇති. මෙයාටත් මොළේ පෑදීගෙන එන හැඩයි…. වයසට යන හැටි පෙනි පෙනී තාවකාලික රූපෙට රැවටිලා ඉන්නවානේ…. හැබැයි මං හිතන්නේ අද නම් භාග්‍යවතුන් වහන්සේගේ බණ ටිකක් ඇහුණොත් වෙනස් වේවි.”

එදා භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩියා. පිරිස දිහා බැලුවා. රූප නන්දා භික්ෂුණිය හිටියේ හැංගිලා වගෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඇයව දැක්කා. ඇයගේ යහපත සළසන අදහස ඉස්මතු වුණා. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සොළොස් හැවිරිදි වූ ඉතා සුරූපී ළදරු කන්‍යාවක් පවන් සළනා වගක් එක් වරම රූප නන්දාට පෙනුණා. ඈ පුදුම වුණා. ඇගේ ඇස් අදහාගන්නත් බැරිවුණා.

‘අම්මේ…. අර කන්‍යාවගේ ලස්සන…. හැබෑම ලස්සනයි. ස්වර්ණරාජ හංසිනියක් වගේ…. මේ වගේ සුරූපී කන්‍යාවක් ඉදිරියේ මං කවුද? මගේ රූපය නම් කපුටියකගේ තරම්වත් වටින්නෙ නෑ. චීයා… මං… මං ගැන හිතාගෙන හිටි දේවල්….’

ටිකෙන් ටික අර රූපය වයසට යමින් තිබුණා. ඇස් හැකිලෙමින් තිබුණා. කෙස් අවුල් වෙමින් තිබුණා. කම්මුල් යටට බසිමින් තිබුණා. ඇඟ රැළි ගැසෙමින් තිබුණා. කොන්ද කුදුවේගෙන ගියා. කොඳ කැකුළු වන් දිලිසෙන දත් නැතිවෙලා කට මල්ලක් වගේ වුණා. ඇඟේ නහරවැල් මතුවුණා. වියැළී ගිය බට පතුරු වගේ අතපය දිස්වෙන්න පටන් ගත්තා. ඇය එතනම මැරී වැටුණා.

ඒ රූපය දෙස බලා සිටි රූප නන්දා භික්ෂුණියගේ සිතට දැන් ධර්මය ඇතුළු වෙන්න සුදුසුයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන දහම් දෙසනවා. හැබැයි ඒ දහම දෙසන්නේ නන්දාවටමයි.

“ආතුරං අසුචිං පූතිං – පස්ස නන්දේ සමුස්සයං,
උග්ඝරන්තං පග්ඝරන්තං – බාලානං අභිපත්ථිතං

ලෙඩවෙන කුණු වෙන ජරාව වැගිරෙන මේ කය
නන්දාවෙනි බලන්න දැන් හොඳ හැටි මේ කය
නව දොරින්ම අසුචි ගලයි දුගඳයි මේ කය
අනුවණ ජනයා රැවටී පැතුවෙම මේ කය

යථා ඉදං තථා ඒතං – යථා ඒතං තථා ඉදං,
ධාතුතෝ සුඤ්ඤතෝ පස්ස – මා ලෝකංපුනරාගමි
හවේ ඡන්දං විරාජෙත්වා – උපසන්තෝ චරිස්සසි.

මේ කය වාගේමයි ඔය මැරී තිබෙන කය
මැරී තියෙන කය වැනිමයි ජීවත්වෙන කය
විසිරී යන දෙයක් විලස දත යුතු මේ කය
ආත්මයෙන් හිස් වූ බව දකින්න මේ කය
ඉපදෙන මැරෙනා ලෝකෙට නෑවිත් ඉන්න
කෙලෙස් සහිත ලෝකෙට ආසා නොකරන්න
ඉඳුරන් සංවර කරගෙන සාන්ත වෙන්න
අමා නිවන් සුව විඳිමින් සුවසේ ඉන්න”

බුදුරජාණන් වහන්සේ මේ අයුරින් දහම් දෙසද්දී රූප නන්දාගේ ප්‍රඥාව අවදි වෙන්න පටන් ගත්තා.කයේ ආදීනව වැටහුනා. ඇය සෝවාන් ඵලයට පත්වුණා. දැන් බුදුරජාණන් වහන්සේ තවදුරටත් දහම් දෙසනවා. ඇය හොඳින් අහගෙන ඉන්නවා. සියලු දහම් කරුණු හකුලා අවසානයේදී මෙන්න මේ ගාථා රත්නය උන්වහන්සේ වදාළා.

අට්ඨීනං නගරං කතං – මංසලෝහිතලේපනං
යත්ථ ජරා ච මච්චු ච – මානෝ මක්ඛෝ ච ඕහිතෝ

ඇටවලින් ගොඩනගා තිබෙනා – ලේ මසින් ඔප දමා තිබෙනා
වැටෙන ලෙස අටවලා තිබෙනා – නගරයකි මේ සිරුර පෙනෙනා
එතනමයි දිර දිරා යන්නේ – එතනමයි මැරි මැරී යන්නේ
එතනමයි මානය වැඩෙන්නේ – එතනමයි ගුණමකුකම තියෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, රූප නන්දා භික්ෂුණියට හැම දෙයක්ම අවබෝධ වුණා. රූපය ගැන තිබුණු හැම මාන්නයක්ම නැතිවෙලා ගියා. ඈ මාන්නයෙන් විතරක් නොවෙයි, සියලුම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. උතුම් අරහත්වයට පත්වුණා. ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ සිහිනුවණ උපදවන සේක. ලොවෙන් මිදෙන්නට මග පවසන සේක. පරම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වන සේක.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

  මුල් පිටුවට >>>

The post 11-5. කයේ ආදීනව-රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here