11-2. සිරිමාවගේ කථා වස්තුව

0
2


“ඇත්ත දැකීම කොතරම් අසීරුද?”

පින්වතුනේ, පින්වත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී සත්‍යය පහදා දෙන්න ඉදිරිපත් වන ආකාරය හරී පුදුමයි. මේකත් එවැනි දෙයක්.

රජගහ නුවර ඉතා සුරූපී ගණිකාවක් සිටියා. ඇගේ නම සිරිමා. ඈ කලක් සුමන සිටුපුත්‍රයාගේ බිරිඳ වී සිටියා. පූර්ණක සිටුවරයාගේ දියණිය වන උත්තරා උපාසිකාවට සිරිමාගෙන් වරදක් වුණා. ඉතින් සිරිමා උත්තරාගෙන් සමාව ගන්න ගියා. උත්තරා කිව්වේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයා තමන්ගේ නිවසට වඩින නිසා ඒ දානයට සහභාගී වුණොත් සමාව දෙනවා කියලයි. ඉතින් සිරිමාත් දානයට සහභාගී වුණා. එදා භුක්තානුමෝදනාවෙදි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙම ගාථා රත්නයයි.

“අක්කෝධේන ජිනේ කෝධං – අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන – සච්චේන අලිකවාදිනං
ක්‍රෝධ නොකිරීමෙන් – ක්‍රෝධය දිනිය යුත්තේ

යහපතම කිරීමෙන් – අයහපත දිනිය යුත්තේ
දන් පුරුදු කිරීමෙන් – ලෝභකම දිනිය යුත්තේ
සත්‍යය පැවසීමෙන් – අසත්‍යය දිනිය යුත්තේ”

මෙහි අර්ථය මැනවින් මෙනෙහි කළ සිරිමාව සෝවාන් ඵලයට පත්වුණා. ඈට හරී සතුටුයි. ඈ දෙවෙනි දින බුදුරජුන් ප්‍රමුඛ සංඝයාට ඇරයුම් කළා. ඉතා ප්‍රණීත අයුරින් දන් පැන් පූජා කළා. එදා සිට නිතිපතා ඇගේ නිවසින් භික්ෂූන් වහන්සේලා අට නමක් දන් පිළිගන්නවා.

සිරිමාව දන් බෙදන්නේ පුදුම විදිහට. පාත්‍රය පිරෙන්න බෙදනවා. එක පාත්තරයකට ලැබෙන දානෙන් දෙතුන් නමකට වළඳන්න පුළුවනි. මේ නිසා සිරිමාවගේ දානය ගැන භික්ෂූන් වහන්සේලා මහත් පැහැදීමෙන් කතා බස් කළා.

ඈත පළාතක වාසය කරන භික්ෂුවකටත් සංඝයා කෙරෙහි ඈ දක්වන ලෙන්ගතුකම ගැන අසන්නට ලැබුණා. ඈ සෝතාපන්න වූ කාන්තාවක් බව ඒ භික්ෂුව දන්නෙ නෑ. ඒ භික්ෂුව දන්නේ ඉතාමත් සුරූපී වෙසඟනක් අතිප්‍රණීත ලෙස සැකසූ භෝජනවලින් සංඝයා පුදන බවයි. මේ නිසා ඇය නොදැකම ඇය කෙරෙහි බැඳීමක් ඇතිවුණා. දැන් මේ භික්ෂුවට හිතෙන්නේ සිරිමාව ගිහින් බලන්නමයි.

ඉතා දුරබැහැර සිට සිරිමාව බැලීමේ ආසාවෙන් පැමිණි මෙම භික්ෂුවට ඇයගේ නිවසේ දන් වැළඳීමේ අවස්ථාව ලැබුණා. නමුත් එදා ඒ භික්ෂුව හිතාගෙන සිටි කිසිදෙයක් වුණේ නෑ.

කලින් දවසේ සංඝයාට දන් පූජා කළාට පස්සේ සිරිමා හදිසියේම ලෙඩවුණා. ඇඳට වැටුණා. ඈ සේවිකාවන්ට අණ කළා.

“අනේ නැගණිවරුනි…. මං පූජා කරනවා වගේම පිළිවෙලට දානය දෙන්න ඕන හොඳේ… සසරෙන් එතෙරට වඩිනා උතුම් සඟරුවන කෙරෙහි ගෞරවයෙන් දන් පූජා කරගන්න ඕන හොඳේ…”

ඉතින් ඒ සේවිකාවන් භික්ෂූන් වහන්සේලා නිවසට වඩම්මවා ගත්තා. දැන් අර භික්ෂුව පුල පුලා බලාසිටින්නේ සිරිමාව දෑසින් දකින්නයි. වෙනදා වගේ ඈ ලස්සනට ආවේ නෑ. කුමක් හෝ වෙනසක් වෙලා තියෙනවා. දානය පූජා කළේ සේවිකාවන් විසිනුයි. සංඝයා විමසුවා

“අපගේ සිරිමා උපාසිකාව කොහේවත් ගිහින්ද?”

“අනේ ස්වාමීනී…. අපගේ ආර්යාව හදිසියේම අසනීප වුණා. නමුත් ඔබවහන්සේලාට වන්දනා කිරීමට අසාවෙන් ඉන්නවා.”

ටික වේලාවකින් සේවිකාවන් විසින් වත්තම් කරගෙන සිරිමාව එක්කගෙන ආවා. ඈ ඉතාමත් අපහසුවෙන් නමුත් පහන් සිතින් මහත් බැතියෙන් යුතුව සංඝයා වන්දනා කළා. සිරිමාව බැලීම පිණිසම ඈත සිට පැමිණ සිටි භික්ෂුවට මෙය මහත් අසිරිමත් දර්ශනයක් වුණා. සිරිමා එතරම් වයස නැති නිසාත්, ඒ අසනීපය ගැන උන්වහන්සේගේ සිතට ගියේ නෑ. උන්වහන්සේට සිතුණේම ලෝකයේ ලස්සනම කත ඈ කියලයි. දන් පාත්‍රය අරගෙන වෙහෙර ගියා. ‘අයියෝ….! හරි පුදුම ලස්සන රූපයක්නෙ ඈට තිබුණේ…. අනේ….! ඈ ලෙඩ වුණා….! මටත් දන් වළඳන්න බෑ…! මට මොකදෝ වගේ… මට සිරිමා ළඟට ගිහින් උපස්ථාන කරන්න ඇත්නම් මීට වඩා හොඳයි’ කියලා වකුටුවෙලා සැතපුණා.

හිතවත් භික්ෂුවක් ඇවිදින් කරුණු කිව්වා. හිතට රැවටෙන්න එපා කිව්වා. දානෙ වළඳලා සතිපට්ඨානය වඩන්න කිව්වා. ඔයිට වඩා බුද්ධිමත් වෙන්න කිව්වා. ඒ කිසිවක් ඒ භික්ෂුවගේ සිතට යන්නේ නෑ. නිරාහාරවම සිටියා.

එදා සවස සිරිමා වෙසඟන අභාවයට පත්වුණා. අජාසත් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පණිවිඩකරුවෙක් පිටත් කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ජීවක වෛද්‍යවරයාගේ නැගණිය වන සිරිමාව කලුරිය කළා” කියලා. බුදුරජාණන් වහන්සේ ඔහු අතේ මෙම පණිවිඩය යැව්වා.

“රජතුමනි, සිරිමාව ආදාහනය කරන්න එපා! ඇගේ සිරුර අමුසොහොනට ගෙන ගොස් දම්මවන්න. සතුන්ට ගොදුරු නොවෙන ලෙස රැකවල් දම්මවන්න” කියලා.

ඉතින් රජතුමාත් ඒ විදිහටම කටයුතු කළා. දවස් හතරයි ගතවුණේ. සිරිමාව අඳුනගන්න බෑ. ඇස්වලින්, කන්වලින්, නාස් පුඩුවලින්, මුඛයෙන්, මළ මුත්‍ර මාර්ගවලින් ඕජා ගලනවා. ශරීරය හොඳටම ඉදිමිලා. පණුවන් උඩට එනවා. අධික දුර්ගන්ධයක් හමනවා. භාග්‍යවතුන් වහන්සේගේ වචනය පරිදි රජතුමා සිරිමාවගේ සිරුර බලන්න එන්න කියලා අඬබෙර ගැසුවා.

අර භික්ෂුවත් දැන් දවස් හතරක් තිස්සේ නොකා නොබී ඉන්නවා. එදා සිරිමාවගේ ගෙදරින් ලැබුණු දානය තවමත් පාත්තරේ. එහෙම්මම කුණුවෙලා. යහළු භික්ෂුවක් ඇවිදින් මෙහෙම කිව්වා.

“ඇවැත්නි, අන්න භාග්‍යවතුන් වහන්සේ සිරිමාවගේ සිරුර බලන්න වඩිනවා.”

එතකොටම ඒ භික්ෂුව ඇස් අරලා බැලුවා. නිකම්ම නැගිට්ටුණා.

“ඈ….! කොහෙද….? කොහෙද සිරිමාගේ සිරුර තියෙන්නේ….? එහෙනම් අපිත් බලන්න යමුද?”

ඉතින් ඒ භික්ෂුවත් හනික නැගිට්ටා. කුණු වී ගිය දානය වීසි කොට පාත්තරය සේදුවා. අනිත් භික්ෂූන් සමඟ පිටත් වුණා. මහ සෙනඟක් සොහොනට රැස්වෙලා හිටියා. මේ කාරණය බලන්න රජතුමාත් ඇවිල්ලා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.

“මහරජ, මැයගේ නම කුමක්ද?”

“ස්වාමීනී, මැය වනාහී ජීවකගේ සොයුරිය වූ සිරිමා නම් වූවාය.”

“මහරජ, මැය තවමත් සිරිමා ම ද?”

“එසේය, ස්වාමීනී”

“එසේ නම් මහරජ, කහවණු දහසකට ඇයව ගෙන යන්න කියා අඬබෙර ගස්සවනු මැනැව.”

කිසි කෙනෙකුගෙන් ප්‍රතිචාරයක් ආවෙ නෑ. හැමෝම එතන හිටියේ හරිම අමාරුවෙන්. එතරම්ම දුර්ගන්ධයක් හමනවා. අන්තිමේදී සිරිමාගේ ගණන අඩු කළා. කහවණු පන්සීයට… තුන්සීයට… පනහට… විසිපහට… දහයට…. පහට… ලංසුවට තිබ්බා. සියලු දෙනා හිටියේ ඇයව හඳුනන්නෙවත් නෑ වගේ. අන්තිමේදී නොමිලේ අරගෙන යන්න කිව්වා. හැමෝම බිම බලාගත්තා.

“පින්වත් මහණෙනි, මෙන්න සිරුරක සැබෑ තතු. මෙයයි අප හැම දත යුතු. කිසිවිට මුලා නොවිය යුතු. මෙහිම සිහිනුවණ වැඩිය යුතු.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ මිහිරි ගාථාව වදාළා.

පස්ස චිත්තකතං බිම්බං – අරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං – යස්ස නත්ථි ධුවං ඨිති

මැනැවින් බලනු මැන මෙය – සොඳුරුව සරසා තිබුණි මෙය
දැන් නව දොරින් අසුචි වැගිරෙයි – ඇට නහර වැල් මතුවෙයි
නොයෙක් රෝගයෙන් ලෙඩවෙන – මේ සිරුර ගැනමයි ලොව
බොහෝ මනහර දේ සිතන්නේ – සැබැවින්ම මේ සිරුරෙහි
තිරසර කිසිත් නැත්තේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලෙ බුදුරජාණන් වහන්සේ රජතුමාද මුල්කොට කළ දෙය අද වගේ කාලෙක කළා නම් මුළු ලෝකයම එයට උරණ වේවි. එතරම්ම මේ සිරුරට වසඟ වෙලා නේද වත්මන් මිනිසා ඉන්නේ. දහම දකින්නට අපහසු ඒ නිසාමයි. භාග්‍යවතුන් වහන්සේගේ උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක වුණා. අර භික්ෂුව සෝවාන් ඵලයට පත්වුණා. දහස් ගණන් පිරිස මගඵල ලැබුවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 11-2. සිරිමාවගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here