105 . කරපිංචා / Murraya koenigii / Karapincha කරපිංචා හදුන්වන නාමයන් අතර සංස්කෘ…

0
6


105 . කරපිංචා / Murraya koenigii / Karapincha

කරපිංචා හදුන්වන නාමයන් අතර සංස්කෘතයෙන් ශ්‍රි පර්ණිකා , අලකාව්ය , කාලශාක , ගිරිනිම්භා , වරතික්තා , කෘෂ්ණනිම්බා , මහ නිම්බා , නිම්බ පත්ර , රාමන් සුරභි , සුරනිම්බා , මහාඅරිෂ්ඨ , වරාටික්ටා , ශ්‍යාමල ලෙසටද දෙමලෙන් කරු වෙම්බු , කරුවෙප්පිලායි , කට්ටුවෙප්පිලායි , කති නීම් , මිතානීම් , කරිපට්ට , ගන්ධෙලා , ධාර්සන්ගා නමින්ද බෙංගාලි බසින් බාර්සංගා , කරියාපුල්ලි කියාද ගුජරාටි බසින් ගෝරානිම්භ ,කඩිලිම්බෝ ලෙසටත් නරසිංහ , බිෂාහාරි නමින් ඇසෑම් බසින්ද ඉංග්‍රීසියෙන් Curry – Leaf කියා හදුන්වනු ලබයි.

ගෙවතුවල බහුලව දක්නට ලැබෙන අඩි 10 – 20 අතර වැඩෙන සුලභ ශාකයකි. කරපිංචා ඖෂධයක් සේම ආහාර රස කාරකයකි. අළු පාට පොත්තක් සහිත මෙම ශාකයේ ළපටි දලුවල යාන්තමින් බූව ඇත. මෙහි පත්ර ලං ලංව පිහිටා තිබේ. පත්ර පිහිටීම අසමපක්ෂය. පත්රයක් හෙවත් කිනිත්තක් අඟල් 5 – 10 දක්වා දිගය. පත්රයේ ප්රාක්ෂය මදක් බූව සහිතයි. එක කිනිත්තක පත්රිකා 15 – 25 අතර සංඛාවක් පිහිටයි. පත්රිකාවක් අඟල් 1 1/2 පමණ දිගය. ඒවායේ නටු කෙටි වන අතර හැඩය අයතලංසාකාරය. පත්රිකාවල උඩ පැත්ත සිනිඳුය. මල අඟල් 1/2 ක් පමණ වන අතර සුදු පැහැතිය. දෙසැම්බර් හා අගෝස්තු මාසවල මල් හට ගන්නා අතර මල් සුවඳවත්ය. මණි පත්ර 5කි. කුඩාය , ත්රිකෝණාකාරය , තරමක් තීව්රය. දල 5කින් හා රේණු10කින් යුක්තයි. මල් පිහිටා ඇත්තේ බෙදුනු අග්රස්ථ බහු අක්ෂවලයි. නිපත්රිකා ඉතා කුඩාය. දල විවෘතයි. ඒවයේ තැන් තැන්වල තිත් වැනි ගැට ඇත. මාංසල මඩලක් මත රේණු තිබේ. ඩිම්බ කෝෂය ද්වීකෝෂ්ඨය. ජායංගදරයක් නොමැත. දිගු කීලයක් සහිත වන අතර කලංකය විශාලය. ඵලය අඟල් 1/3 පමණ වු කළු පාට බදරියකි. එහි බීජ දෙකක් ඇත. බීජ මගින් ප්‍රචාරනය සිදුවෙයි. කොළවල හා නටුවල ප්රබල සුවඳක් ඇත. ව්යංජන රස ගැන්වීමට කරපිංචා කොළ හා නටු භාවිතා කරයි. කරපිංචා ගසේ ලීය තදය. දුඹුරු පාටට හුරු ළා කහ පාටය. එය කල්පවත්නා ලීයකි. බහුවාර්ෂික ශාකයක් වන කරපිංචා ශාකය RUTACEAE කුලයට අයත් වෙයි.

කරපිංචාවල ඖෂධීය වටිනාකම් අතර සිසිල්ය , කසටය , අර්ශස් , දාහ , පණු හා කුරුමිණි රෝග , දැවිල්ල , කුෂ්ට , ලේ දෝෂ , ඉදිමුම් , වණ ආදී රෝග සමනය කරයි. හෘදයාබාධ හට ගන්වන කොලෙස්ටරෝල් අඩුකරලීමට කරපිංචා ඉවහල් වන බව අනාවරණය වී තිබේ. එහෙයින් දේශීය වෛද්යවරු හෘදයාබාධ වළක්වා ගනු කැමති අයටත් හෘද රෝගීන්ටත් කරපිංචා කොළ ඉස්ම යෙදූ කැඳ බීමට නිර්දේශ කරති. කරපිංචා දලු සම්බෝල වශයෙන් හෝ මැල්ලුම් වශයෙන් කෑමට ගැනීමද ගුණදායකය. දේශීය වෛද්යවරුන්ට අනුව ව්යංජනවලට දමන කරපිංචා ව්යංජනය සමගම ආහාරයට ගත යුතුය. කරපිංචා කොළ හීනියට ලියා හෝ අඹරා ව්යංජන ආදියට යෙදූ විට ආහාර සමග ශරීර ගත වන නිසා එයින් ලැබෙන ගුණය මහත්ය.
කරකැවිල්ල හා වමනය ආදිය ඇති අයටත්, විෂ ශරීරගත වූ අයටත්, කුසගිනි නොමැති, අජීර්ණාබාධ නිතර වැලඳෙන අයටත්, සුළු උමතු ගති ඇති පුද්ගලයින්ටත් කරපිංචා කැඳ ප්රශස්ථ ඔසුවක් බව දේශීය වෛද්යවරුන්ගේ පිළිගැනීමයි.

ආයුර්වේදයට අනුව කටුක , තික්ත , කෂාය , රසයෙන් යුක්ත වන අතර ලඝු , ස්නිග්ධ , තීක්ෂනයෙන් ද , උෂ්ණ වීර්යෙන්ද යුක්තවේ. කර්ම වශයෙන් උෂ්ණ තීක්ෂණ නිසා කඵ හා වාත සමනය කරයි. අක්මාව යහපත් කරයි. කුසගින්න වඩවා ආහාර දිරවීමේ ශක්තිය වැඩිකරයි. ආහාර රුචිය වඩවයි. මළ පිටවීම යහපත් කරයි. බඩ පුරවා දැමීම ,වමනය, පණුදෝෂ පණු වමනය, හා පණු අජීර්ණය සුවපත් කරයි.

සර්ප විෂ සමනය කීරීමේලා කරපිංචා සතු ශක්තිය ඉතා ප්රකටය. අජීර්ණය, ආහාර අරූචිය, අග්නි මාන්දම, ශූල අක්මා ආදී රෝග සඳහා ද, ආම සහිත අතීසාර වලදී ද, උණ රෝග අවස්ථා වලදී ද එකීය වශයෙන් හෝ මිශ්ර ඖෂධ ලෙසද භාවිත වන අවස්ථා කීපයකි.
සර්ප විෂ, ආහාර මාර්ග පද්ධතියේ ආබාධ, අධ්යාතතිය, අධික කොලෙස්ටරෝල්තාව, දියවැඩියාව, ආදීය සඳහා වර්ථමානයේ බහුලව භාවිත කරයි. අධික රුධිර පීඩනය සඳහා ඒකීය වශයෙන් කරපිංචා කොළ කැඳ සකස් කර දීම ඉතා හිතකරය. ගර්භණී සමයේ ඇතිවන අධ්යාතතිය සඳහා කරපිංචා සාර්ථක පිළියමකි.

* කරවැල් දෂ්ඨනයේදී කරපිංචා කොළ කොටා යුෂ හිස ගැල්වීමද, සියළු සර්ප දෂ්ඨ වලදී කරපිංචා පංචාංගය අමුකහ, ලුණූ සමග කොටා මලවා බැඳීම හෝ යුෂ මිරිකා කකාරා ගෑම මගින් සර්ප විෂ උදාසීන වීමත් ප්රදාහය අඩුවීමත් සිදුවේ.
* ගෝනුසු , බඹර , දෙබර , හා වෙනත් කෘමි දෂ්ඨන වලදී කරපිංචා ගෙඩි ඉස්ම දෙහි යුෂ හා මිශ්ර කර ගැමෙන් වේදනාව හා ඉදිමුව අඩුවෙයි.
* සර්ප දෂ්ඨනයකදී වෛද්ය වරයෙකු ලඟට ගෙන යන තුරු කරපිංචා කොළ මිටක් පමණ කොටා පත භාගයක් පමණ මී පැණි මිශ්රකොට බීමට දීම ගුණ දායකය.
* සර්ප දෂ්ඨනයේදී විෂ විරේකය සඳහා කරපිංචා කොළ , ඇට , දෙහි ඇට සමව ගෙන අඹරා දෙහි ඇඹුලෙන් පානයට දෙනු ලබන අතර සර්ප විෂ ශරීරයෙන් බැහැර කිරීමට කරපිංචා පංචාංගය කලං 12ක් පත 8 – 1ට සිඳුවා ගිතෙල් ප්රතිවාපකොට බීමට දිය හැකිය. කරපිංචා කොළ , පොතු යුෂ මේස හැඳි 4ක් සීණී මීපැණි, හෝ පිරිසිදු කිතුල් හකුරු සමග පෙවීම සියළු සර්ප විෂට ප්රත්යක්ෂ ගුණ දෙන ඖෂධය ක් ලෙස සැලකේ.
* බිබිලි සහිත චර්ම රෝග වලට කරපිංචා කොළ එළකිරෙන් තම්බා අඹරා ගෑම කල හැක. * කුරුලෑ සහ ලප කැලැල් වලට කරපිංචා කොළ එළකිරෙන් අඹරා මුහුණ මද උනුසුම් ජලයෙන් සෝදා දිනකට දෙවරක් පමණක් මෙම ආලේපය මුහුණ පුරා තැවරීම පිලියමකි.
* කාන්තාවන්ගේ පියයුරු හොඳින් වැඩීමට කරපිංචා කොළ කොටා මිරිකා ගත් යුෂට තල තෙල් දමා කකාරා නිවෙන්ට හැර පෙරා ‍ගෙන රාත්රීයේ පියයුරු වල ගා පිරි මැදීමෙන් දින 10 කින් පමණ වැඩෙන බව දක්වා ඇත.
* කරපිංචා නැටි හා කොළ පවනේ වේලා , කබලේ බැද කුඩුකර උතුරන වතුරෙන් කෝපිමෙන් වත්කර බීමෙන් කුඩා ළදරුවන්ගේ වමනයට මෙන්ම පණු රෝග , පනු වමනයට ප්රිතිකාරයකි.
* දොස් සමනයට කරපිංචා නැටි , වියළි ඉඟුරු , අරළු , කිතුල් හකුරු , කෂාය 8 – 1 ට සිඳුවා මී පැණි ප්ර්තිචාප කොට කෂාය වඩි කීපයක් බීම ගුණ දායකය.
* කරපිංචා දළු සම්බෝලය හෝ කැඳ සාදා බීම උදරාබාදයන්ට ගුණවේ.
* පිත් වමනයට කරපිංචා ගසේ පොතු වලින් සෑදූ කෂාය හෝ පොතු සියුම්ව කුඩු කර ගෙන මීපැණි සමග ගැනීම ගුණදායක වන අතර බඩයාම හා අර්ශස් වලදී කරපිංචා දළු අඹරා මී පැණි සමග ගැනීම ද ගුණදායකයි.
* ගැබිනි මව් වරුන්ට උදෑසන වමනයේදී කරපිංචා කොළ කොටා මිරිකා ගත් ඉස්ම දෙහි ඇඹුල් හා මිශ්රි කර සීනි දමා සාදාගත් පානය ටික ටික දිව ගෑම ඉතා සුදුසුය. මෙම ප්‍රතිකාරයම වමනය, ඔක්කාරය, හා තෙල් කෑම වැඩිපුර කෑවිට ඇතිවන අජීර්ණයටත් යොදාගත හැකිය.
* බඩේ කැක්කුමට කරපිංචා කොළ ගලේ අඹරා ගෙන එයට මීපැණි මිශ්ර කර ගැනිමෙන් පාළනය කරගත හැකිය.
* බඩ පුරවා දැමීමට හා බඩේ කැක්කුමට කරපිංචා කොළ හා නැටි , අරළු , ගම්මිරිස් , අසමෝදගම් කබලේ බැද කුඩුකර තබා උණු වතුරට දමා බීම ගුණදායකය.
* කෑම අරූචිය සඳහා කරපිංචා නැටි කළං 6යි, අරළු කළං 6යි ගෙන බොන කෂාය ඉතා ගුණදායකවේ.
* කරපිංච නැටි , අරළු , ඉඟුරු කබලෙන් බැද කුඩුකර තබා සවිඳ ලුණු දමා හෝ නැතිව කෝපි මෙන් දිනකට දෙතුන් වරක් බීමෙන් ආමාජීර්ණ , ආමශූල , මන්දාග්නිය ආදියට ඔසුවකි.
* මධුමේහයට හොඳින් මේරූ කරපිංචා කොළ දහය බැගින් අමුවෙන් උදෑසන ආහාරයට ගැනීමෙන් මධුමේහය වළක්වා ගත හැකිය.
* අකලට හිසකෙස් පැසීම වළක්වා ගැනීමේ හැකියාවක් කරපිංචා සතුය. හිසකෙස් මුල් පෝෂණය කිරීමට හැකි පෝෂණමය සංඝඨක කරපිංචා වල අඩංගු නිසා ඒවා බහුලව ආහාරයට ගන්නා අයගේ හිස කෙස් පැසීම වැළකේ. කරපිංචා කොළ ඉස්ම සහ තැඹිලි තෙල් යොදා ගත් තෙල හිස ගැල්වීමෙන් අකලට හිස කෙස් පැසීම වළක්වාගත හැකිය.
* කරපිංචා කොළ වියළා කුඩුකර තබාගෙන උණූ වතුරට දමා බීමෙන් රුධිරයේ ඇති කොලෙස්ටරෝල් හා වෙනත් මේද වර්ග ඉවත් කරගැනීම පහසු වෙයි.
* කරපිංචා කොළ හා නැටි කළං 1ක් සුදු ළූණු කළං 6ක් සුදු දුරු , කොත්තමල්ලි , කළඳ බැගින් වතුර පත 8 – 1ට සිඳ බීමෙන් රුධිර පීඩනය, හෘද රෝග, හා සන්ධි රුදා ද නසයි.
* කරපිංච නැටි සහ පත් කළං 6ක් සුදුළූණු කළං 6ක් කුඹුක් පොතු කළං 4ක් ඉඟුරු , සුදු ළූණු කළං 2 බැගින් වතුර පත 12 – 2ට සිඳ ඉඟුරු කුඩු දමා දීමෙන් හෘද රෝග නැසේ.
* කරපිංච කොළ , බෙලි මුල් , සාරන මුල් , සුදු ළූණු , කොල්ලු , දේවදාර , හා ඉඟුරු ක්වාථය ද හෘද රෝග නසන බව දක්වා ඇත.
* දිනපතාම කරපිංචා පත් අඹරා සුදුදුරු ගම්මිරිස් , සුදුළූණු , රතුළූණු , සියඹලා බොර , දෙහි ඇඹුල් , සවිඳ ලුණු , එකට අඹරා ආහාර සමග වැළදීමෙන් ආම අජීර්ණ , තරබාරුකම , මේදස් අධික භාවය දුරු කෙරේ.

කරපිංචා බහුලව ව්‍යංජන රසගැන්වීමට යොදාගන්නා අතර කරපිංචා භාවිතයෙන් යම් යම් ඖෂධීය ආහාර සාදා ගැනීමට පුලුවනි. ලූනු , සුදුලූනූ , ගම්මිරිස් ස්වල්පව ගෙන සිහින්ව අඹරා දෙහි දමාගත් කරපිංචා දලු ලුණුමිරිසත්, ඊට පොල් ටිකක් මුසුකරගත් සම්බෝලයත්, අධි රුධිර පීඩනය වැනි රෝග ඇත්තවුන්ට ඉතා ගුණදායකය. එසේම කරපිංචා කැද පානයද හිතකර ඖෂධීය පානයකි. මද ගින්නේ කැද සාදා ගැනීම නම් ඉතා සුදුසු වන්නේමය. කරපිංචා කැඳ පානයේ ප්‍රතිලාභ අතර
* සර්ප විෂ නැසීමට * ශරීරයේ විෂ නැසීමට * වාතයට * සෙමට * ආහාර දිරවීමට * ආහාර රුචිය වැඩිවීමට * මළ පිටවීම වැඩිදියුණු වීමට * වමනයට * බඩ පුරවා දැමීමට * පණු රෝගයන්ට * අජීර්ණයට * අධික රුධිර පිඩනයට * කොලෙස්ටරෝල් වලට * තරබාරුව මර්ධනය ට හේතුවෙයි.

කරපිංචා වල යකඩ , පොස්පරස් , කැල්සියම් , තන්තු , විටමින් A B C E , ප්රෝටීන් , බීටා කැරොටින් වැනි පෝෂක ගණනාවකින් හා ප්රතිඔක්සිකාරක ගුණවලින් පොහොසත් අතර ඔක්සලේට් අධිකය. නිදහස් ඇමයිනො අම්ල 18 ක් පමණ ඇත. වාෂ්ප ශිලී තෙල් පත්ර වල හා ගෙඩිවල අඩංගුය.

කරපිංචා ශාකයේ රසායනික ගුණ අතර අමු පත්‍රවල ක්‍රියාකාරී alkaloids , mahanimbine (1) murrayanol (2), හා mahanine (3), අඩංගුය. පත්‍රවල B-phellandrene (24.4%), a-pinene (17.5%), B-cary ප්‍රධාන වශයෙන් අන්තර්ගතයි…

ශාක ලෝකය සහ ශ්රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිවල මෙන්ම ඉපැරණි හෙළ වෙදකම පිටුවේ හා ද . පලාත් ඔසු පැල දෙපාර්තමේන්තුවේ ලිපි හා අන්තර්ජාලයේද තොරතුරු ඇසුරින් සැකසුනකි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here