10-17. සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව

0
8


“පිනෙන්මයි හැම දියුණුවම ලැබෙන්නේ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරුන්ට පින් කරන්ට කලාතුරකින් ලැබෙනවා. ඒ අවස්ථාවේදී නුවණ පාවිච්චි කිරීමෙන් තමයි ඒ පින කරගන්නේ. නුවණ නැත්නම් ගිලිහී යනවා. නුවණැති මිනිසෙක් තමාට ලැබුණු පින්බර අවස්ථාව රැකගත් අයුරුයි මේ කථාවෙන් දැක්වෙන්නේ. බොහෝ ඉස්සර කාලෙ බරණැස් නුවර සිටුවරයාට ගන්ධකුමාර නමින් පුතෙක් හිටියා. රජතුමා සිටුවරයා මියගිය පසු ඒ ගන්ධකුමාරයාට සිටු තනතුර දුන්නා. එතැන් පටන් ගන්ධ සිටුතුමා කියලා ප්‍රසිද්ධ වුණා. දවසක් ගබඩාව ඇරලා සිටුතුමාට ඒ සියලු දේවල් පෙන්නුවා. “සිටුතුමනි, ඔබේ පියාගේ ධනය තමයි අර. අනිත් පැත්තේ තියෙන්නේ සීයාගේ ධනය. අර ඈත තියෙන්නේ මී මුත්තාගේ ධනය” කියලා. ඉතින් ගන්ධ සිටුතුමා මේ මහා ධනසම්භාරය දිහා බලාගෙන භාණ්ඩාගාරිකට මෙහෙම කිව්වා. “එතකොට අපේ කවුරුවත් මේවා අරන් ගිහිල්ලා නැහැ නේද?” “එසේය සිටුතුමනි. තමන් කරපු පින් පව් හැර වෙන මොනවද අරගෙන යන්න තියෙන්නේ?” සිටුතුමා නිශ්ශබ්දව හිතන්න පටන් ගත්තා. ‘අපේ දෙමව්පියෝ මේවා දාලා ගියේ මෝඩකමට. මං නම් මේවා අරගෙන යන්නේ. මේ සියල්ලම වියදම් කරලා හොඳට කාලබීලයි මං නම් යන්නේ…’ ඉතින් මොහු ලක්ෂ ගණන් වියදම් කරමින් පළිඟුවලින් නාන පොකුණක් හැදුවා. පළිඟුවලින් නාන ඵලකයකුත් හැදුවා. පළිඟුවලින්ම වාඩිවෙන පුටුවකුත් හැදුවා. කහවණු ලක්ෂයක් වියදම් කරලා පිඟානක් හැදුවා. තව ලක්ෂයක් වියදම් කරලා කෑම කන මණ්ඩපයක් හැදුවා. තව ලක්ෂයක් වියදම් කොට පැන් දමන භාජන කෙරෙව්වා. තව ලක්ෂයක් වියදම් කොට ආහාර දමන භාජන කෙරෙව්වා. තව ලක්ෂයක් වියදම් කොට සීමැදුරු කවුළුවක් කෙරෙව්වා. උදේ ආහාරයට කහවණු දාහක් වියදම් කළා. දවල්ටත් කහවණු දාහක් වියදම් කළා. රෑටත් කහවණු දාහක් වියදම් කළා. පසළොස්වක දවසට ලක්ෂයක් වියදම් කළා. විශේෂ දවසට නගරයම අලංකාර කොට අඬබෙර ගස්සනවා. සිටුවරයා ආහාර ගන්නා අයුරු බලන්න එන්න කියලා හැමෝටම දැනුම් දෙනවා. මේ විස්මිත බත් කෑම බලන්න ඈත පළාත්වලිනුත් ආවා. පේන්නෙ නැති අය ඇඳන් පිට ඇඳන් තබලා ඒවා උඩ නැගලයි බලන්නේ. කෑම කන වෙලාවට සංගීත භාණ්ඩ වාදනය කරනවා. නළු නිළියෝ නැටුම් දක්වනවා. හැමෝටම මහා පුදුමයි. ඔය අතරේ තමන්ට එදා වේල උපයාගන්න ගමේ මනුස්සයෙක් නගරෙට ආවා. යාළුවෙකුගේ ගෙදර නැවතුණා. ඔහුත් මෙය බලන්න ගියා. එදා හැමෝටම පුදුමයි. බත් වෑංජනවල සුවඳ සෑම තැනම පැතිරෙනවා. මිනිස්සු කෙළ ගිල ගිල බලන් ඉන්නවා. අර කුලී වැඩට ආපු මනුස්සයාට සිටුතුමාගේ රන් තලියේ බත් පිඬක් කන්න ආසාව ඇතිවුණා. “අනේ යාළුවේ… ඔය රන් තලියෙන් බත් කටක් නොකෑවොත් ජීවත් වෙලා පලක් නෑ. මං නම් මැරෙනවා….” කියලා මොහු පිස්සුවෙන් වගේ දොඩන්න ගත්තා. යාළුවාට වළක්වාගන්නත් බෑ. මොහු කෑ ගහලා කිව්වා, “අනේ පින්වත් සිටුතුමනි, මම ඔබට වන්දනා කරමි” පිරිස මැද්දෙන් යටිගිරියෙන් හඬනගා කියූ කරුණ සිටුතුමාට ඇහුණා. හිස ඔසොවා බැලුවා. “ඇයි මොකද?” කියලා ඇහුවා. “අනේ ස්වාමීනී, මං මේ වැඩට ආපු කෙනෙක්. මටත් බත් පිඬක් දෙනු මැනැව.” සිටුතුමා බැහැ කියන අදහසින් ඔළුව වැනුවා. යාළුවා මෙහෙම කිව්වා. “දැන්වත් තේරුණාද? ගොන්කම් නොකර හිටිං. නැතිබැරි විදිහට තියෙන දෙයක් කාලා හිටිං. සිටුවරුන්ගේ බත් කන්න උඹට පුළුවන්ද?” “එහෙනම් මං මැරෙනවෝ…..!” කියල කෑ ගැහුවා. දැන් එකම ගාලගෝට්ටියක් වුණා. “එම්බල මිනිස, බත් පිඬක ගාන දන්නවාද? කහවණු දෙසීයයි. ඔහොම ඉල්ලන විදිහට දෙන්න මෙහෙ බත් කොයින්ද?” “අනේ ස්වාමීනී, එහෙම කියන්න එපා… මගේ යාළුවා මැරිලා යාවි. මේ ජීවිතය බේරලා දෙන්න පුළුවන් ඔබවහන්සේට විතරයි.” සිටුතුමා කල්පනා කළා. “එහෙම නම් තුන් අවුරුද්දක් මගේ සිටු මාළිගයේ දාසකම් කළොත් බත් කටක් දෙන්නම්.” මේ පුද්ගලයා කැමති වුණා! අඹුදරුවන් අත්හැරියා. නෑදෑයන් අත්හැරියා. ගම් රටවල් අත්හැරියා. යාළු මිතුරන් ද අත්හැරියා. සිටුගෙට ඇතුළුවුණා. දිවාරාත්‍රී නොබලා වැඩ කරන්න පටන් ගත්තා. බත්බැලයා කියලා මුළු නුවරම ප්‍රසිද්ධ වුණා. තුන් අවුරුද්ද ගෙවුණා. සිටුවරයාට පුදුමයි. එකම බත් කටක් උදෙසා මේ පුද්ගලයා මහන්සි වෙච්චි හැටි. සිටුතුමා මෙහෙම කිව්වා. “හරි! අද අර මණ්ඩපයේ ගිහින් කෑම කන්න ඕන නුඹ. මට කරන සියලු සත්කාර සම්මාන නුඹට ලැබේවි.” සිටුවරයාගේ නිවසේ තුන් අවුරුද්දක් බැල මෙහෙවර කළ තැනැත්තා සිටුවරයා පරිද්දෙන් බත් කනවා කියල ආරංචි වුණා. වෙනදාටත් වඩා සෙනඟ රැස් වුණා. බත්බැලයා පිරිවර මැද්දෙන් ආවා. පළිඟු ටැංකියේ බැස්සා. වතුර නෑවා. සිටුවරයාගේ අසුනේ වාඩිවුණා. රන් බඳුන අතට ගත්තා. දැන් සංගීත වාදන ඇහෙනවා. ගීතිකා ඇහෙනවා. නිළියො නටනවා. තුන් අවුරුද්දක් පුල පුලා බලා සිටි දේ ලැබෙන මොහොත ළං වෙනවා. දැන් මේ බත්බැලයාගේ පපුවත් ගැහෙනවා. එච්චරටම ආසාව… මේ මොහොතේ පසේබුදුරජාණන් වහන්සේ නමක් අහසින් වඩින විට මේ පුද්ගලයාව දැක්කා. මොහු තුන් වසරක් වෙහෙසගෙනයි මේ බත් පිඬ කන්නට බලාගෙන ඉන්නේ. මොහු ශ්‍රද්ධාවන්තයෙක් වුණොත් අද දානය මට දේවි. එහෙම වුණොත් මොහුට ආයෙ සසරේ කිසි දවසක අඩුවක් වෙන්නෙ නෑ. රන් තැටියට දැන් බත් බෙදනවා. නගරය පුරා සුවඳ විහිදෙනවා. බත්බැලයා දෑස් නොපියා රන් තැටිය දෙස බලා සිටිනවා. ඒ සමඟම කවුදෝ අහසින් ඇවිත් ඉන්නවා පේනවා. ‘අනේ… පසේබුදුරජාණන් වහන්සේ නමක්….’ බත්බැලයාට එකවරම නුවණ පහළ වුණා. ‘තුන් අවුරුද්දක් මුළුල්ලේ මං අප්‍රමාණ වෙහෙසක් ගත්තා මේ බත් කටක් උදෙසා. මට එහෙම වුණේ පින් මදි නිසයි. අද මේ දවසට කන කෑමෙන් මං හැමදාම ජීවත් වෙන්නෙ නෑ. අනිත් දවස්වලට මං සාමාන්‍ය විදිහටනේ කන්නේ. ඒ නිසා මං මේ දානය ආර්යයන් වහන්සේට පූජා කරනවා. එක බත් පිඬක්වත් මං කන්නෙ නෑ’ ඔහු රන් බඳුන හිස තබාගෙන “ස්වාමීනී, මෙහි වඩින සේක්වා” කියල ආරාධනා කළා. පාත්‍රයට දානය බෙදුවා. රන් තැටියේ බත් කොටසක් ඉතුරු වෙද්දී උන්වහන්සේ පාත්‍රයේ අත වැහුවා. “අනේ ස්වාමීනී, එහෙම කරන්න එපා! මං බොහොම දුක් විඳලයි මේ කෑම වේල ලබාගත්තේ. ඒ නිසා මට මේ සම්පූර්ණ දානයම පූජා කරගන්න ඉඩදෙන්න. මෙයින් මට යහපතක්ම වේවා!” පසේ බුදුරජාණන් වහන්සේ අනුමෝදනා ගාථා දෙකක් වදාළා.

ඉච්ඡිතං පත්ථිතං තුය්හං – සබ්බමේව සමිජ්ඣතු සබ්බේ පූරෙන්තු සංකප්පා – චන්දෝ පණ්ණරසෝ යථා ඔබ සිතනා යමක් ඇද්ද – ඔබ පතනා යමක් ඇද්ද ඒ සියල්ල ඒ අයුරින් ඉටුවේවා! – පතන පැතුම් ඉටුවේවා! පසළොස්වක සඳ විලසින් – ඒ සියල්ල ඉටුවේවා! ඉච්ඡිතං පත්ථිතං තුය්හං – සබ්බමේව සමිජ්ඣතු සබ්බේ පූරෙන්තු සංකප්පා – මණිජෝතිරසෝ යථා ඔබ සිතනා යමක් ඇද්ද – ඔබ පතනා යමක් ඇද්ද ඒ සියල්ල ඒ අයුරින් ඉටුවේවා! – පතන පැතුම් ඉටුවේවා! සිතුමිණි රුවනක් විලසින් – ඒ සියල්ල ඉටුවේවා!

ඊට පස්සේ පසේබුදුරජාණන් වහන්සේ ගන්ධමාන පර්වතයට වඩිනකම්ම මිනිසුන්ට පේන ලෙස අදිටන් කළා. පන්සියයක් පසේබුදුරජාණන් වහන්සේලාට අර දානය පිළිගැන්නුවා. මෙය දුටු මහජනයා සයුරු හඬ නැගෙන සේ මහා හඬින් සාදු නාද දුන්නා. මේ ඝෝෂාව ඇසූ ගන්ධ සිටුවරයා කල්පනා කළා, ‘බත්බැලයා මං දුන්න සම්පත් දරාගන්න බැරුව කරදරයක් කරගෙන වගෙයි. ඔය මිනිස්සුන්නේ ඝෝෂාව ඇහෙන්නේ… විහිලු කරනවා වෙන්නැති.’ සිටුතුමා විමසලා බැලුවා. ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වෙලා තියෙන්නේ. මෙතෙක් කාලෙකට තමන්ට මෙවැනි දෙයක් කරගන්න බැරිවුණා නේද කියලා හිතුණා. සිටුතුමා කහවණු දාහක් දීලා ඒ දානයේ පින් කොටසක් ඉල්ල ගත්තා. මේ දෙන්නා යාළුවෝ බවට පත්වුණා. සිටුතුමා තමන්ගේ ධනයෙන් කොටසක් මොහුට දුන්නා. දෙදෙනාම පින් දහම් කරමින් ජීවත් වුණා. මරණින් මත්තේ දෙවියන් අතර උපන්නා. අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උපස්ථාන කුලයක ඒ බත්බැලයා උපන්නා. ඒ මෑණියන්ට දොළ දුකක් උපන්නා. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රධාන සියගණන් රහතන් වහන්සේලාට ප්‍රණීත ආහාර පාන පූජා කරලා කසාවතක් හැඳගෙන භික්ෂූන් වහන්සේලාගේ කොණේ වාඩිවෙලා උන්වහන්සේලා වළඳා ඉතිරි වුණු දානය අනුභව කරන්නයි ඒ ආසාව. පින්වන්ත දරුවෙක් ලැබුණා. දිනක් සාරිපුත්තයන් වහන්සේ මේ දරුවාගේ නම ඇහුවා. අම්මා මේ විදිහට උත්තර දුන්නා. “අනේ ස්වාමීනී, අපේ පුතා උපන්න දවසේ ඉඳලා වතුර ගලන්නැහේ සැප සම්පත් උතුරනවා. දුක කියලා නාමයක් ඇතිවුණේ නෑ. ඒ නිසා අපි මෙයාට දැම්මේ ‘සුඛ කුමාරයා’ කියලයි.” මේ පුංචි කුමාරයා සත් හැවිරිදි වියෙහිදී දෙමව්පියන්ගෙන් අවසර අරගෙන පැවිදි වුණා. පණ්ඩිත සාමණේරයන් වගේම මේ පොඩි නමත් හරී පණ්ඩිතයි. ඒ විදිහටම ප්‍රශ්න ඇහුවා. ඒ විදිහටමයි අරහත්වයට පත්වුණෙත්. මෙකරුණ අරභයා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්ඡකා – අත්තානං දමයන්ති සුබ්බතා ඇල දොළ කපනා අය නිසි සේ – ගෙන යති දිය දහරද රිසි සේ දවනා විට ගින්නෙන් සොඳ සේ – කෙලින් කරති ඊ දඬු රිසි සේ ලීයෙහි ඇදකුද හැර නිසි සේ – තනති බඩුත් වඩුවෝ රිසි සේ සිල් ඇත්තෝ දහමේ නිසි සේ – හැසිර දිනති තම සිත රිසි සේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැක්කා නේද පිනේ හැටි. බත්බැලයා ජයගත්තේ අධිෂ්ඨානය නිසා. ඔහු තුන් අවුරුද්දක්ම තමන්ගේ අදහස සඵල කරගන්නා තුරු කරන ලද කැපවීම නම් පුදුමයි. වෙන කෙනෙක් නම් ‘මං මේ බත් කටක් වෙනුවෙන් කරන පිස්සු වැඬේ මොකක්ද?’ කියලා පැනලා යනවා. එහෙමත් නැත්නම් අනිත් අය විහිලු කරද්දී ඒ අදහස අත්හරිනවා. එහෙමත් නැත්නම් තමන්ම අදහස අත්හරිනවා. නමුත් මොහු දැඩි අධිෂ්ඨායකින් හිටියා. ඒ වගේම තවත් විශේෂ දෙයක් ඔහු තුළ තිබ්බා. තුන් අවුරුද්දක් බලා සිටිය දේ තමන් අතට පැමිණෙද්දී එය ලබාගන්න සුදුසු වූ උතුම් කෙනෙක් මුණගැහුණු වෙලාවෙ සැණෙකින් නුවණ පාවිච්චි කළා. ඒකත් පුදුම දෙයක්. ඇත්තෙන්ම මොහු දහම දකින්න සුදුසු වුණේ ඒ නිසාම නේද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 10-17. සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here