10-15,16. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව

0
9


“තමාගේ පිහිට තමා ම ය”

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින මතුකර ගැනිල්ල වුණත් ලේසි නෑ. නොයෙක් බාධාවල් එනවා. කැරකි කැරකී මේ සිත පරණ ලෝකෙටම අරගෙන යනවා. බුද්ධ කාලෙ වුණත් මහත් වීරියක් අරගෙනයි බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ කළේ. මෙයත් එවැනි කථාවක්.

සැවැත් නුවර හිඟන දරුවෙක් හිටියා. ඔහු දිරා ගිය වස්ත්‍ර කැබැල්ලක් ඇඳගෙන, අතට කබලක් ගෙන සිඟාකමින් ජීවත් වුණා. ආනන්ද තෙරුන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී මේ සිඟන තරුණයා ළඟට ඇවිදින් බොහොම අහිංසක විදිහට හිනහ වෙනවා. යටහත් පහත් කමක් දක්වනවා.

දිනක් ආනන්දයන් වහන්සේ මෙහෙම ඇහුවා.

“දරුව, මොකක්ද ඔය ගතකරන ජීවිතයේ තේරුම? ඔයිට වඩා වටින්නේ නැද්ද පැවිදි වුණොත්?”

“අනේ ස්වාමීනී, මං වගේ කෙනෙක්ව පැවිදි කරන්නේ කවුද?”

“ඇයි මං ඉන්නේ. මං පැවිදි කරන්නම්.”

ඉතින් මේ හිඟන දරුවා පැවිද්දට කැමතියි. අනඳ මහ තෙරුන් වහන්සේ සියතින්ම මොහුව නහවා ධර්මාවවාද ලබාදී පැවිදි කළා. පැවිදි වූ පසු මොහු ඉවතට දැමූ රෙදි කඩමාල්ලත්, තැටි කබලත් රැගෙන ගිහින් ගස් බෙනයක හැංගුවා. පැවිදි වෙලා ටික දවසක් ගත වුණා. දැන් ප්‍රණීත ආහාරපාන ලැබෙනවා. හොඳ සිවුරු පිරිකර ලැබෙනවා. සුවසේ වාසය කරනවා. එහෙත් දැනෙන්නේ පරණ නිදහස නෑ වගේ. ඒ නිසා වරින් වර පැවිද්ද එපා වෙනවා. ‘මිනිසුන් ශ්‍රද්ධාවෙන් දෙන දේවල් වළඳලා මේ ගතකරන ජීවිතයෙන් මට වැඩක් නෑ. මං ආයෙත් සිඟමනට බහිනවා’ කියලා මොහු කරන්නේ අර ගස් බෙනය ළඟට යන එකයි. ගිහින් අර රෙදි කඩමාල්ලත්, තැටි කබලත් අතට ගන්නවා. එතකොටම තමන්ගෙ හිත තමන්ට බනිනවා.

‘හැබෑට තොට ලැජ්ජ නැද්ද? හිරිකිත නැද්ද? මෙබඳු යහපත් සිව්පසය ලැබෙනවා. ධර්මයත් ලැබෙනවා. කලණ මිතුරන්ගේ ඇසුරත් ලැබෙනවා. තෝ හිඟන්නෙක් වෙලා ඔය රෙදි කඩමාල්ල ඇඳගෙන, තැටි කබලත් අරගෙන ගිහින් හොයන්නෙ මොනවද?’

ඔහොම අවවාද කරගන්නවා. එතකොට ආයෙමත් හිත හරියනවා. විහාරයට එනවා. භාවනා කරන්න පටන් ගන්නවා.

ටික දවසක් යද්දි ආයෙමත් කළකිරෙනවා. එතකොට හිතෙන්නේම හිඟන්නෙක් වෙන්න. ආයෙමත් අතෙන්ට යනවා. කලින් විදිහටම තමන්ට හොඳට බනිනවා. ආපහු හැරිලා එනවා. භික්ෂූන් වහන්සේලා මෙහෙම ඇහුවා.

“හැබෑට ඇවැත්නි, කොහෙද ඔය කැලේ පැත්තෙ යන්නෙ?”

“ආයුෂ්මතුන් වහන්ස, මගේ ගුරුදේවයන් වහන්සේ බැහැදකින්න යනවා.”

මේ විදිහට මේ තරුණ භික්ෂුව කළකිරීම නිසා වරින් වර එතනට ගිහින් හිතට අවවාද කරගෙන හැරිලා එනවා. වීරිය අත්හැරියේ නෑ. ක්‍රමක්‍රමයෙන් හිත දියුණු වුණා. අරහත්වයට පත්වුණා. භික්ෂූන් වහන්සේලා මෙහෙම ඇහුවා.

“දැන් ටික දවසකින් ඔබවහන්සේ ගුරුදේවයන් වහන්සේ බැහැදකින්න ගියේ නෑ නේද? උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මාර්ගය පෙන්නලා දුන්නද?”

“ඇවැත්නි, ආචාර්යයන් වහන්සේ ගැන මගේ හිතේ බැඳීමක් තිබ්බා. දැන් ඒ බැඳීම නෑ. ඒ නිසයි මං යන්නෙ නැත්තේ…”

පිලෝතික තෙරුන් අරහත්වය පවසනවා කියලා පැමිණිල්ලක් ආවා. බුදුරජාණන් වහන්සේ ළඟටත් මේ කාරණය ගියා.

“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. මගේ ළයෙහි උපන් දරුවා ආචාර්යයන් වහන්සේට ඇති බැඳීම නිසා තමයි එතනට ගියේ. දැන් ඒ බැඳීම නෑ. තමන්ම තමන්ගේ අකුසල් ගැන ලැජ්ජාව ඇතිකරගෙන තමන්ම තමන්ට අවවාද කරගෙන යහපත් අශ්වයෙක් කස පහර කන්ට අකමැති නිසා දමනය වෙනවා වගේ දමනය වුණා. අරහත්වයට පත්වුණා.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ලෙස මේ ගාථාරත්නයන් වදාළා.

හිරීනිසේධෝ පුරිසෝ – කෝචි ලෝකස්මිං විජ්ජති
යෝ නින්දං අපබෝධති – අස්සෝ භද්‍රෝ කසාමිව

පවට ලැජ්ජාවෙන් යමෙක් – දුරු කරයි නම් අකුසල්
නින්දා ලබනු අකමැති – කෙනා සිහි උපදවා ගන්නේ
කස පහරකට අකමැති – යහපත් අශ්වයෙකු සේ

අස්සෝ යථා භද්‍රෝ කසානිවිට්ඨෝ
ආතාපිනෝ සංවේගිනෝ භවාථ
සද්ධාය සීලේන ච වීරියේන ච
සමාධිනා ධම්මවිනිච්ඡයේන ච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා
පහස්සථ දුක්ඛමිදං අනප්පකං

ආජානීය අශ්වයා – පමාවට පත්වීමෙන්
කස පහරකට ලක් වී – වීරියම මතුවීමෙන්
නැගී සිටිනා අයුරින් – කෙලෙසුන් තවන වීරියෙන්
කළකිරී මේ සසරට – මැනැවින් වඩව් සදහම් මග
සැදැහැයෙන් හා සීලයෙන් – වීරියෙන් හා සමාධියෙන්
දහම් විමසුම් නුවණින් – මැනැවින් සිහිය පිහිටුවා
අවබෝධයෙන් ලත් නුවණින් – දහමේ ද හැසිරීමෙන්
මේ මහා දුක් කඳ – සදහටම අවසන් කරව්

පින්වතුනේ, පින්වත් දරුවනේ, නූපන් වීරිය උපදවා ගන්නටත්, උපන් වීරිය වැඩිදියුණු කරගන්නටත් බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ආධාරය අතිවිශිෂ්ටයි. ඒ තුළින්මයි තම දුර්වලකම් මැඬලමින් කෙනෙක් නැගී සිටින්නේ. ලෝ සතුන්ගේ හිතසුව කැමති ශාස්තෘන් වහන්සේගේ ඇසුර කොතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 10-15,16. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here