10-1. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

0
4


“තමා උපමා කොට අනුන්ට කරදර නොකළ මැනැව.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පැවිදි වීමෙහි අර්ථය තේරුම් ගන්නට බැරි පැවිද්දන් හිටියා. ප්‍රධානත්වයට ආසාවෙන් අර්බුද උපදවා ගත්තා. මෛත්‍රිය පතුරුවනවා වෙනුවට කලකෝලාහල කරගත්තා.

ඇතැම් භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් බෙදුණා. ඡබ්බග්ගිය කියා කියන්නේ හය දෙනාගේ කල්ලියටයි. තව කණ්ඩායමක් හිටියා. එහි දහසය දෙනෙක් ඉන්නවා. ඔවුන් හඳුන්වන්නේ සෝළස වග්ගීය භික්ෂූන් කියලයි. දිනක් මේ දහසය දෙනාගේ කණ්ඩායම දෙව්රම් වෙහෙරට පැමිණියා. ඔවුන් විවේකයෙන් සිටීම පිණිස ශාලාවේ සේනාසන පිළියෙල කරමින් සිටියා. එතකොට ඡබ්බග්ගිය භික්ෂූන් එතනට කඩාගෙන පැන්නා.

“හා…! හා…! මොකද මේ ලාබාල අය සේනාසන පිළියෙල කරන්නේ….? වැඩිහිටි උදවිය පැමිණියාම සළකන්නෙ ඔහොමද? ඕවා අයිති වැඩිහිටියන්ට. හ්ම්… දැන් ඉතින් පිටත් වෙනවා වෙන තැනකට… කෝ… අපේ කට්ටිය එමු…”

“බෑ… බෑ… එහෙම දෙන්න බෑ… මේවා පිළියෙල කළේ අපේ පිරිසටයි. තමුන්නාන්සේලාගේ වැඩිහිටිකම අපට වැඩක් නෑ. අපි මහන්සියෙන් මේ ආසන හැදුවේ. තමුන්නාන්සේලාට ඕන්නම් අපි වාගෙම තැනක් හදා ගන්න.”

එතකොටම හයේ කල්ලියේ සඟ පිරිසෙන් කීප දෙනෙක් පැනපු ගමන් අර සේනාසන හදමින් සිටි සඟ පිරිසට පහර දුන්නා. ඒ භික්ෂූන් බියට පත්වුණා. මර හඬ තියලා කෑ ගැහුවා. බුදුරජාණන් වහන්සේටත් ඔවුන්ගේ ඝෝෂාව ඇසුණා.

“කවුද අර විලාප තියන්නෙ?”

භික්ෂූන් වහන්සේලා ඒ පැත්තට ඉක්මනින් ගියා. ප්‍රශ්නය තේරුණා. කණ්ඩායම් දෙකම කැඳෙව්වා. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට අවවාද කළා.

“සසර දුකින් මිදෙන්නට පැවිදි වූ ඔබ මොකද මේ රණ්ඩු සරුවල් කරන්නේ? ඇයි සමගියෙන් බෙදා හදා ගන්න බැරි? අනික, ගිහියන් වගේ ගහබැණ ගන්නෙ මොකද? මේක බරපතල වැරැද්දක්. මින් මත්තේ භික්ෂුවක් තව භික්ෂුවකට ගැහැව්වොත් ඔහුට ආපත්තියක් වෙනවා” කියලා විනය නීතියකුත් පැණෙව්වා.

එමෙන්ම මෙහෙමත් වදාළා.

“පින්වත් මහණෙනි, තමන්ට දඬුවම් කරනවාට තමන් කැමති නෑනේ. ඒ වගේ තමයි අනිත් අයත්. ඒ අයත් දඬුවම් ලබන්න බියයි. තමන්ව මරණවාට තමන් කැමති නෑනේ. අනිත් අයත් මරණයට භයයි. පොඞ්ඩක් හිතන්න. තමන්ව උපමාවට ගන්න. කවදාවත් ගහන මරණ ඒවා කරන්න යන්න එපා!”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.

සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ

දඬුවම් විඳිනට බිය වෙති සැම දෙන – මරණය අභියස බිය වෙති සැම දෙන
උපමා කරගත යුතුය තමා ගැන – හිරිහැරයක් නැසුමක් නොකෙරුව මැන

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉතින් කල්ලි ගැහුණු පිරිසට ප්‍රයෝජනයක් වුණේ නැතත්, මේ කරුණ බොහෝ භික්ෂූන් වහන්සේලාට බොහෝ ප්‍රයෝජනවත් වුණා. සමගි සම්පන්නව ධර්මයේ හැසිරෙන්නට මෙය උපකාර වුණා. එනිසා අපිත් තමාව උපමා කරගෙන කටයුතු කරන්නට ඕන. තමන් ගැන සළකා ඒ අයුරින් අන්‍යයන්ටත් සළකන්ට ඕන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 10-1. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here