1-9,10. දේවදත්තගේ කථා වස්තුව

0
10


පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසරකට පසු තම පියරජතුමා ප්‍රධාන රටවැසියන් හට උතුම් ධර්මය ලබාදීම පිණිස මහා කරුණාවෙන් කිඹුල්වත් නුවරට වැඩිය වග ඔයාලා දැනටමත් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසු මුළු කිඹුල්වත් පුරයම වෙනස් වුනා. ශාක්‍ය වංශිකයන් තිසරණයේ පිහිටි පිරිසක් බවට පත්වුනා. බුදුරජාණන් වහන්සේට ශාක්‍යසිංහ, ශාක්‍යමුනි, ආදිච්චබන්ධු (හිරුගොත් වංශයේ ඥාතියා) ආදී උදාර නම්වලින් ගෞරව කළා. උන්වහන්සේගේ ඥාතීන් වන නන්ද කුමාරයා, ආනන්ද කුමාරයා, භගු කුමාරයා, කිම්බිල කුමාරයා ආදී පිරිසත් උන්වහන්සේ ළඟ පැවිදි වුනා. ඒ වගේම දේවදත්ත කුමාරයාත් පැවිදි වුනා.

දේවදත්ත කියන්නේ රජ පවුලට අයත් කෙනෙක්. යසෝදරා දේවියගේ වැඩිමහල් සහෝදරයා වුනේ දේවදත්ත. ඉතින් දේවදත්ත ඉතාම ලස්සන රූපයක් ඇති කෙනෙක්. මහානුභාව සම්පන්න පෙනුමක් ඇති කෙනෙක්. දක්ෂ කෙනෙක්. මොහු පැවිදි වුන විට පැවිද්දන් අතරේ දේවදත්තගේ රුව ලස්සනට කැපී පෙනුනා. දේවදත්ත ඉතා හොඳින් සිල් පද ආරක්ෂා කළා. චිත්ත සමාධිය ඇති කරගත්තා. කොටින්ම නොයෙක් වෙස්ගන්න පුළුවන් ආකාරයේ ඉර්ධි බලත් ඇති කරගත්තා. දේවදත්තගේ දක්ෂකම ගැන හැමෝම සතුටු වුනා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් දේවදත්ත ගැන බොහෝම ප්‍රශංසාවෙන් කතා කළා. ටිකෙන් ටික දේවදත්ත ප්‍රසිද්ධ භික්ෂුවක් වුනා. සියලු දෙනාම බොහෝ සෙයින් ගෞරව කරන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලාගේ සිත දිනා ගන්නට දේවදත්ත සමත් වුනා. මේ විදිහට සමාජයේ නායකත්වයට පැමිණෙද්දී දේවදත්ත කල්පනා කළේ බුද්ධ ශාසනයේ සැබෑ නායකත්වය තිබිය යුත්තේ තමන්ට බවයි.

තමන් කැමති පරිද්දෙන් සඟ පිරිස පාලනය කිරීමේ පවිටු ආශාවක් දේවත්තට ඇති වුනා. දේවදත්ත මෙහෙම කල්පනා කළා. “දැන් ඉතින් භාග්‍යවතුන් වහන්සේ විවේක ගන්න එකයි හොඳ. මමත් දැන් ප්‍රසිද්ධ කෙනෙක් නෙව. අනික මම ළඟම ඤාතියා. මම තමයි ඊළඟට මේ සසුනේ නායකත්වයට එකම සුදුස්සා වෙන්නේ. දැන් සඟ පිරිස හසුරුවන එක මට හොඳට කරන්න පුළුවන්කම තියෙනවා. මට මේ පිරිස කෙරෙහි ලොකු කැක්කුමක් තියෙනවා.” දේවදත්ත හැම තිස්සේම පිරිසේ යහපත වෙනුවෙන් කැප වූ කෙනා හැටියට උජාරුවෙන් පෙනී සිටියා. ඒ ගැනම සතුටු වුනා.

දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිය දේවදත්ත උන්වහන්සේට වන්දනා කොට මෙහෙම ඉල්ලීමක් කළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂු පිරිස අතිවිශාලයි. විවිධාකාර ප්‍රදේශවලින් පිරිස පැමිණ පැවිදි වෙනවා. මේ සඟ පිරිස වෙනුවෙන් ඔබවහන්සේ සෑහෙන සේවාවක් කළා. දැන් ඔබවහන්සේට කිසිම විවේකයක් නැහැ. ඒ නිසා ස්වාමීනී, මාව විශ්වාස කරන්න. මට මේ පිරිස හොඳට හසුරුවන්න පුළුවන්. ඒ කවුරුවත් මා කියන දෙයට හොඳින් සවන් දෙනවා. එනිසා මේ සඟ පිරිස මට භාර දෙන්න.” තුනවතාවක්ම මේ ඉල්ලීම කළා.

බුදුරජාණන් වහන්සේ දේවදත්ත දෙස අනුකම්පාවෙන් බලා සිටියා. කෙලෙස් තවන වීරියෙන් යුතුව කෙලෙසුන්ගෙන් මිදීමට උත්සාහ නොකොට තාවකාලිකව ලැබෙන ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවලට දේවදත්ත හසුවුනා. පවිටු ආශාවන්ගෙන් සිත වෙළා ගත්තා. චතුරාර්ය සත්‍යය අවබෝධය සම්පූර්ණයෙන්ම අමතක වුනා. තථාගතයන් වහන්සේ කවුද යන වග අමතක වුනා. සමාජ නායකත්වයටම සිත යොමු වුනා.

බුදුරජාණන් වහන්සේ දේවදත්තට අවවාද කළා. “දේවදත්ත, සැරියුත් මුගලන් හට වත් මම සඟ පිරිසේ නායකත්වය භාරදීලා නෑ. මා විසින් ඉදිරිපත් කළ ධර්ම විනයේ නායකත්වය ශාස්තෘවරයෙක් යටතේ පවතින දෙයක්, එවැනි දෙයකට ඔබ සුදුසු නැහැ. මෙවැනි ඉල්ලීම මින් මතු නොකළ යුතුයි.” බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිගැනීමට තරම් ආඩම්බරකාරී දේවදත්ත නිහතමානී වුනේ නෑ. එදා බුදුරජාණන් වහන්සේ වෙතින් දේවදත්ත බැහැරට ගියේ උන්වහන්සේව විනාශ කොට හෝ බුදු සසුනේ නායකත්වය ලබාගැනීමේ උමතු ආශාවෙන්. දේවදත්ත කෙමෙන් කෙමෙන් තමාගේ අදහස ඉෂ්ට කරගැනීම පිණිසම මහන්සි වුනා. පවිටු දේවදත්ත හඳුනා නොගත් ගිහිපැවිදි බොහෝ දෙනෙක් ඔහුගේ මායාකාරී බස්වලට රැවටුනා.

ඒ කාලයේ රජගහ නුවර සැදැහැවත් පිරිස බොහෝ දන්පැන් පිළියෙළ කරල භික්ෂූන් වහන්සේලාට ආදරයෙන් ඇප උපස්ථාන කරනවා. චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා සිය දහස් ගණනින් පිඬු සිඟා වඩින අයුරු මහත් ශ‍්‍රද්ධාවෙන් දැක බලා සතුටු වෙනවා. එක් කාලයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රධාන භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩින අතරේ රජගහ නුවරට වැඩම කළා. බොහෝ සැදැහැවතුන් එක්ව ඒ සියලු ස්වාමීන් වහන්සේලාට මහා දානයක් පිළියෙළ කළා. එහිදී එක් ධනවත් පින්වතෙක් ඉතාමත් වටිනා වස්ත්‍රයක් සිවුරක් පිණිස සකසා එම දානයේදී පූජා කිරීමට සූදානම් කළා.

රජගහ නුවර මහත් කීර්තියක් දරා සිටි දේවදත්ත හට ඒ සිවුර සුදුසු යැයි බොහෝ දෙනෙක් කියා සිටියා. “මේ අහන්න…. ඔය සැරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා වැඩිකල් මෙහෙ රැඳෙන්නේ නෑ. චාරිකාවේ වඩිනවා. අපට නිතර මුණ ගැහෙන්නෙත් නෑ. නමුත් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම නොවේ. අපේ පවුලේ කෙනෙක් වගේ. නිතර අපේ සැප දුක් සොයා බලනවා. දරුවන්ගේ ලෙඩට දුකට සෙත් පතනවා. මංගල උත්සව වලදී ආශිර්වාද කරනවා. අපි කාගෙත් කරදරයේදී පිහිට වෙනවා. දුකේදී අප සමඟ දුක් වෙනවා. සතුටේදී අප සමඟ සතුටු වෙනවා. අපේම කෙනෙක් වගේ. ඒ නිසා වටිනා වස්ත්‍රය වඩා සුදුසු වන්නේ දේවදත්තයන් වහන්සේටමයි.

එතකොට තව පිරිසක් මෙහෙම කිව්වා. “එහෙම කියන්න එපා. අපි පුද්ගලික වාසි බලලා පින් කරන්න හොඳ නැහැ. අපි පින් කළ යුත්තේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කොට වදාළ රහතුන් වහන්සේලා වැඩඉන්නවා. සරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලා දෙස ඔබ නොබලන්නේ මක් නිසාද? පුන් සඳ පායා බැස යන පරිද්දෙන්, සැමදාම අහසේ දිලෙන අලුත් සඳක් පරිද්දෙන්, නොඇලුණු සිතින් උන්වහන්සේලා කල් ගෙවනවා. නෙළුම් කොළයෙහි නොරැඳෙන දිය බිඳුව රූටා පහළට හැලෙන පරිද්දෙන් උන්වහසේලා කිසිවෙකට නොඇලී වාසය කරනවා. තමාගේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන හයට පවා නොඇලූණු ඒ රහතන් වහන්සේලා ගිහියන්ගේ සැපදුක්වලට ඇලී සිටීවිද? එ් නිසා අප පැහැදිය යුත්තේ ඒ උතුම් රහතන් වහන්සේලාට නොවේද? ඔය වස්ත්‍රය සුදුසු වන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාටමයි.

එකකොට දේවදත්ත පාක්ෂික පිරිස හඬ නඟා කෑ ගැසුවා. “ඔයාල කියයි …. ප්‍රශ්නයක් වුනහම තමයි දේවදත්තයන් වහන්සේගේ වටිනාකම තේරෙන්නේ. දෙවදත්තයන් වහන්සේ මොනතරම් සිල්වත්ද! කවුරු කොහොම කිව්වත්, නිවන් මෙඟ් ඉදිරියෙන්ම සිටින්නේ දේවදත්තයන් වහන්සේ කියලයි අපි කියන්නේ. දේවදත්තයන් වහන්සේ තුන් සිවුරෙන්මයි ජීවත් වෙන්නේ. පාංශුකූල සිවුරෙන්මයි ජීවත් වෙන්නේ. පිණ්ඩපාතයෙන් මයි ජීවත් වෙන්නේ. අරණ්‍යයේමයි ජීවත් වෙන්නෙ. ඒ විතරක්ද? දේවදත්තයන් වහන්සේ කිසි දවසක පිළිහුඬු වර්ගයක් වළඳන්නේ නැහැ. නිර්මාංශ, එළවලු ආහාරයෙන් මයි උන්වහන්සේ සතුටු වෙන්නේ. ඒ එළවලු දානය වැළඳීම ගැනමයි ගුණ කියන්නේ. ධර්ම විනය උදෙසා උන්වහන්සේ ඕන දෙයක් කරාවි. ඒ නිසා දේවදත්තයන් වහන්සේටමයි ඔය වස්ත‍්‍රය සුදුසු.” අන්තිමේදී සැදැහැවත් පිරිස නිහඩ වුනා. දේවදත්තගේ පක්ෂය ගත් පිරිස ජය ගත්තා.

දානයෙන් පසුව දේවදත්තට එම වස්ත්‍රය පූජා කළා. ඒ අලංකාර වටිනා වස්ත්‍රය සිවුරක් බවට පත් කළ දේවදත්ත ඉතා මැනැවින් ඒ සිවුර පොරොවාගෙන මහා තේජාන්විත ලීලාවෙන් පිරිස් පිරිවරාගෙන එහේ මෙහේ ඇවිදින්න පටන්ගත්තා. අවබෝධයෙන්ම තිසරණයෙහි පිහිටි සැදැහැවත් ගිහි පින්වතුන්ට මෙය අප්‍රසන්න දර්ශනයක් වුනා. ඒ ගිහි පින්වතුන් තැනින් තැන දොස් කියන්න පටන් ගත්තා. “සැරියුත් මහරහතන් වහන්සේටමයි ඔය සිවුර සුදුසු වන්නේ. අනේ අපේ ඇත්තන්ට මොළේ පෑදෙන්නෙ නැති හැටි. පුද්ගලික වාසිය බලාගෙනමයි දානමාන පිරිකර දෙන්නෙත්.” මෙම කථාව හැම තැනම පැතිරුණා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ කථාව කියැවුනා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වදාළේ, “අතීත සසරේදීත් දේවදත්ත ඔහොම තමයි. තමාගේ වාසිය පිණිස සිවුරු පොරොවා ගෙන තියෙනවා” යැයි පවසා මේ ගාථා දෙක වදාළා.

අනික්කසාවෝ කාසාවං යෝ වත්ථං පරිදහෙස්සති
අපේතෝ දමසච්චේන න සෝ කාසාවමරහති

කෙලෙස් කසට බැහැර නොකොට – යමෙක් දරයි නම් කහවත
ඉඳුරන් දමනය නොකරන – ඇත්ත කථාබහ නොකරන
ඔහුට සුදුසු නැහැ කිසිවිට – දරා සිටින ඒ කහවත

යෝ ච වන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන ස වේ කාසාවමරහති

කෙලෙස් කහට බැහැර කෙරුව – සිල් ගුණදම් වලින් යුතුව
ඉඳුරන් දමනයෙන් යුතුව – සමාධිගත සිතින් යුතුව
ඇත්ත කතා කරන කෙනා – දරා සිටියි නම් කහවත
ඉතා සුදුසුමයි ඔහු හට – දරා සිටින්නට කහවත

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරුන් දේවදත්තට කියන්නෙ දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලයි. සමහරු දේවදත්ත තෙරුන් කියලත් කියනවා. එ්ක වැරදියි. ධර්මයෙහි දේවදත්ත ගැන සඳහන් වන තැන ඔහුට කිසි විශේෂණ පදයක් යොදල නැහැ. නමින් විතරයි හඳුන්වල තියෙන්නෙ. ඒ නිසා දේවදත්ත කියලා හැඳින්වූවාම හොඳටම ඇති. මේ දේවදත්ත කියලා කියන්නේ අමුතුම පුද්ගලයෙක්. ඉතාමත්ම මෝඩයි. ඉතාමත්ම උඩඟුයි. ඉතාමත්ම දරුණුයි. පිරිහුණු මනසක් ඇති කෙනෙක්. හැබැයි එයා හිටියේ නම් සියලු දෙයම අවබෝධ වුන කෙනෙක් වගේ. හරියට හිතට අරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පවා බලහත්කාරයෙන් ලබාගන්නට පුළුවන් දෙයක් කියලයි මේ මෝඩ දේවදත්ත හිතුවේ. රජ පවුලේ කෙනෙක් නිසා ඉතාම ලස්සන රන්වන් සිරුරක් තිබුනා. රහතන් වහන්සේ නමක් වගේ බිමට යොමු කළ ඇස් ඇතිව ගමන් කළා. සියලූ සතුන් කෙරෙහි කරුණාව දක්වන කෙනෙක් වගේ ඇඟවීම පිණිස නිර්මාංශ ආහාරයෙන් යැපුනා. තමන්ට යැපීම පිණිස අන් සතුන්ගේ ශරීර කොටස් කුස තුළ තියාගෙන මෙත් සිත වඩන්නේ කොහොමද කියා දේවදත්ත ප්‍රශ්න කළා. මෛති‍්‍රය වෙනුවෙන් දේවදත්ත සටන් කළා. ඔහුගේ අසත්පුරුෂකමත් කෙරෙහි ගුණ නොදන්නාකමත් බාහිරින් දැනගන්නට බොහෝ දෙනෙකුට බැරි වුනා. ඉතා සූක්ෂම විදිහට අජාසත් කුමාරයාව පවා රවට්ටා ගත්තා. තමන් කියන ඕනෑම දෙයක් අනුගමනය කරන මට්ටමට ඒ කුමාරයාව හිතවත් කරගත්තා. අන්තිමේදී රජකම ගැන බොරු සකයක් ඇති කරවලා, අජාසත් කුමාරයාට බිම්බිසාර පිය රජුගෙන් බලෙන්ම රජකම ලබාගන්න සැලැස්සුවා. එතැනින් නතර වුනේ නැහැ. බිම්බිසාර පියා රජතුමාව තම පුතා වන අජාසත් කුමාරු ලවාම ඝාතනය කරවන්නට තරම් මේ පාපමිත්‍ර සේවනය බලවත් වුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දේවදත්ත සිවුරක් පොරවාගෙන හිටියත්, රහතන් වහන්සේලා මැද ඔහු වාඩි වී සිටියත්, සංවර ලීලාවෙන් පෙනී සිටියත්, චාටු බස් කතා කරමින් මිනිසුන්ව රවට්ටා ගත්තත්, ඔහුගේ ජීවිතයෙන් පැතිර ගියේ දුගඳක්මයි. දැන් බලන්න දේවදත්තට උතුම් පැවිදි බව ලැබුනා. බුදුරජාණන් වහන්සේගේ ළඟම ඥාතියා වෙන්න ලැබුනා. රහතන් වහන්සේලා ඇසුරු කරන්න ලැබුනා. උතුම් ශී‍්‍ර සද්ධර්මය කරන්න ලැබුනේ බුදුරජාණන් වහන්සේ ගෙන්මයි. ඒ ධර්මය මතකයේ රඳවාගෙනත් සිටියා. ස්වාමීන් වහන්සේලා අතරේ කල්‍යාණ මිත්‍රයෙකුගේ වේශයෙන් පෙනී සිටියා. අසත්පුරුෂකම නිසාම ඒ උතුම් ධර්මයේ අර්ථ වැටහුනේ නැහැ. ඒ අසත්පුරුෂකම අවසනාවන්ත දේවදත්ත තුළ සසර පුරවටම පිහිටපු එකක්.

එකමත් එක කාලෙක දේවදත්ත වැදි කුලයක උපන්නා. වැදි නායකයෙක් වුනා. සතුන් දඩයම් කරමින් ජීවත් වුනා. ඒ වනාන්තරයෙහි ඡද්දත්ත නම් හස්තිරාජයෙක් වාසය කළා. ඒ හස්තිරාජයා ඉතාමත් සුන්දරයි. මහානුභාව සම්පන්නයි. ඔප දැමූ හක්ගෙඩියක පෙනුම ඇති ඉතා අලංකාර දළ හයක් මේ ඇතාට පිහිටා තිබුනා. දෙපැත්තේ දළ තුන බැගිනුයි පිහිටා තිබුනේ. අනික් සියලු ඇතුන් මේ ඇතා පිරිවරාගෙන වනයේ ඇවිද්දා. දවසක් දඩයමේ ගිය වැදි නායකයා මේ ඇතා දැක පුදුමයට පත් වුනා. වන පඳුරකට මුවා වී ඇස්පිය නොහෙලා බලාගෙන හිටියා. ඒ ලස්සන ඇත්දළ දෙස බලාගෙන තළුමරමින් කෙළ ගිල්ලා. “ෂා ….! පුදුමාකාර ඇතෙක් නෙව. විශ්මිත ඇතෙක් නෙව. කොයි ලෝකෙන් ආපු සතෙක්ද මන්දා? මාගෙ ජීවිතේ මෙවැනි ආනුභාව සම්පන්න හස්ති රාජයෙක්ව දැකලා නෑ. මේ ඇත්දළ කපා ගත්තෝතින් මට ආයෙ දඩයම්වලින් වැඩක් නෑ.” වැදි නායකයා සතුටින් තොල කට ලෙවකෑවා. ඊට පස්සේ ඔහු ඡද්දන්ත හස්ති රාජයා පස්සේ කුරුමානම් ඇල්ලූවා. එහෙත් ඒ ඇතා ළඟට කිට්ටු වෙන එක ලෙහෙසි නැහැ. දවසක් මේ වැදි නායකයා තව පුදුම දෙයක් දැක්කා. පඳුරකට මුවා වී බලා සිටියා. එදා ඒ ඡද්දන්ත හස්ති රාජයා දණගසාගෙන කාටදෝ වන්දනා කරනවා. විපරම් කරල බැලූවා. හරිම පුදුමයි.

මහවනාන්තරය මැද්දේ කුඩා ගල්ලෙනක ස්වාමීන් වහන්සේ නමක් වැඩසිටිනවා. උන්වහන්සේ මුළු සිරුරම සිවුරෙන් වසාගෙන සිටියා. සීතලට වෙන්න ඇති. වැදි නායකයා තව තවත් කිට්ටු වුනා. “ඔව් … භික්ෂුවක් තමයි! ඔව් ඇතා මිනිහෙකුට වඩා හීලෑ වෙලා නෙව ඉන්නේ. අර අර… මහා භක්තියකින් ඒ භික්ෂුවට වඳිනවා. ඒ භික්ෂුව අර ඇතාගේ හොඬවැලට අත තිබ්බා. අර… ලස්සන ඇත් දළවලටත් අත තියලා සෙත් පැතුවා. ෂා…! මට ළං වෙන්න විදිහක් නැහැ නෙව.”

ඊට පස්සේ වැදි නායකයා උපායක් කල්පනා කළා. මේ ඇතා දළ හයකින් යුත්තයි. විශේෂ ඇතෙක්. මිනිහෙකුට වඩා භක්තිවන්තයි. මට කරන්න තිබෙන්නේ එක දෙයයි. මමත් සිවුරක් පොරෝගන්නවා. අර භික්ෂුවගේ වේශය මමත් ගන්නවා. එතකොට මට බොහෝම පහසුවෙන් මගේ වැඩේ කරගන්න පුළුවනි.

වැදි නායකයා ඒ භික්ෂුව කවුද කියා හඳුනන්නේ නෑ. ඒ සාමාන්‍ය භික්ෂුවක් නොවෙයි. අබුද්ධෝත්පාද කලවලදී එනම් බුදු සසුන අතුරුදහන් වූ කාලවලදී පමණක් ලෝකයෙහි පහළ වන අසමාන්‍ය වූ අද්විතීය වූ මහා පුණ්‍යවන්තයෙක්. පසේබුදුරජාණන් වහන්සේ නමක්. වැදි නායකයා ඒ පසේබුදුරජාණන් වහන්සේගේ සිවුරක් සොරකම් කරගත්තා. වනයෙ ඈතට ගියා. ඇත් රජා ගැවසෙන සීමාවේ අඳුරු ගුහාවකට වැදුනා. සිවුර පේන්න සැළැස්සුවා. සිවුර දුටු ගමන් ඇත් රජාට හරි සතුටුයි. ඇත්රජා හොඬය ඔසවා කුඤ්චනාද කළා. ටිකෙන් ටික සිවුර ළඟට ළං වුනා. වැද්දා ඇතා කිට්ටු වෙනකල් හිටියා. ඇත් රජාට කිසි බයක් නැහැ. පරම අවිහිංසාවෙන් යුතු පසේ බුදුරජාණන් වහන්සේගේ සිවුරේ පහස පාවා ඇත් රජාට සැපයක්. ඇත් රජා ආදර භක්තියෙන් යුතුව තවත් සිවුරට ළං වුනා. වන්දනා කළා.

මුළුමණින්ම සිවුරින් ඇඟ වසා සිටි වැදි නායකයාව ඇත් රජාට පෙනෙන්නෙ නෑ. ටික වේලාවකින් සිවුර ඇතුළෙන් තියුණු ලෙස මුවහත් කළ කියතක් එළියට ආවා. දැන් ඇත් රජා හොඬවැල දිගු කරගෙන දණ ගසාගෙන ඉන්නවා. වැද්දා අර කියතින් ඇතාගේ දළ කපන්න පටන් ගත්තා. ඇතා හිතුවේ මේ සිවුර ඇතුළේ ඉන්නේ තමන් සැමදා භක්තියෙන් වන්දනා කළ ශාන්ත සිත් ඇති උත්තමයන් වහන්සේ කියායි. ඇත් රජාට කිසිවක් සිතාගත නොහැකි වුනා. ඇත් රාජා කලබල වුනේ නැහැ. ඉවසාගෙන සිටියා. ආදර භක්තියෙන් සිටියා. සියලු වේදනා උසුලාගෙන සිටියා. කෙමෙන් කෙමෙන් ඇත් දළ එක එක කපද්දී සිවුරු පොරවා සිටි වැද්දා ඇත් රාජාගේ සොඬවැල පාගා ගත්තා. ලේ වැගිරෙමින් මස් සිදුරු කරමින් ඇත් දළ කපන්නට පටන් ගත්තා. ඇත් රජා මහත් වේදනාවෙන් දෑස විවර කොට බලා සිිටිද්දී පෙනුණේ තමා ආදරයෙන් වන්දනා කරන සිවුරු විතරයි. අන්තිමේදී ඇත් රජා පහන් සිතින් මිය ගියා. සිවුර පොරවා සිටි කෲර වැද්දා ඇත් දළ සයම කපා ගෙන ගියා. එකල ඒ උතුම් ඇත් රාජා වෙලා ඉපදිලා හිටියේ අපේ මහා බෝසතාණන් වහන්සේ. දේවදත්ත තමයි වැදි නායකයා. දඩයක්කාරයා. ඔහුගේ ගොදුර වුනේ අහිංසක ඇත් රජා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අවස්ථාවලදී පවිටු සිත් ඇති පුද්ගලයන් උදාර තනතුරුවලට පත් වෙනවා. එතැන ඉඳලා ඒ පාපී පුද්ගලයා ඒ තනතුරෙන් මත් වෙනවා. ළාමක ආශාවට වසඟ වෙනවා. අන්තිමේදී ඒ තනතුරු තුළින් පව්මයි රැස් කරන්නේ. එවැනි පුද්ගලයන් රජ වෙලා, ආයතනවල ප්‍රධානීන් වෙලා බොහෝ කෙනෙකුව විපතට ඇදල දානවා. ඉතිහාසයේ ඕන තරම් එවැනි පවිටු පුද්ගලයන් සමාජයේ නායකත්වයට පත් වෙලා අන් අයවත් වනසාගෙන තමනුත් වැනසී යන සිදු වීම් ගැන දැනගන්න ලැබෙනවා. ඒ තුළින් බොහෝ දෙනෙක් පව් රැස් කර ගන්නවා. එවැනි පවිටු පුද්ගලයින් උදාර තැනක ප්‍රධානියෙක් වීම අවාසනාවක්මයි.

ඇත්තෙන්ම උදාර තනතුරක් ලැබිය යුත්තේ උදාර පුද්ගලයකුටමයි. උදාර පුද්ගලයා නිසා තනතුර බබලනවා මිසක්, ඒ තනතුරුට මුවා වෙලා ඔහු බබලන්නේ නැහැ. උදාර පුද්ගලයා සියලු දෙනාගේ යහපතට කැමැතියි. ඉවසන කෙනෙක්. කරුණාවන්ත කෙනෙක්. ආරවුල් සංසිඳවන කෙනෙක් ධාර්මික කෙනෙක්. අයහපත අත්හරින කෙනෙක්. යහපත සමඟ එක් වන කෙනෙක්. හොඳ නරක හඳුනාගන්නා කෙනෙක්. සත්පුරුෂ කෙනෙක්. කෙලෙහිගුණ දන්නා කෙනෙක්. උදාර පුද්ගලයා නිසා බොහෝ දෙනෙක් පින් කරගන්නවා. යහපත උදාකර ගන්නවා. සැපතට පත් වෙනවා. උදාර පුද්ගලයා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් මත් වෙන්නේ නැහැ. ගිජු වෙන්නේ නැහැ. මහ පොළොවේ අධිපති බවට පොරකන්නේ නැහැ. නොඇලුණු සිතින් ඉන්නා කෙනෙක්.

අයහපත් පුද්ගලයා විවිධාකාර වෙස්ගන්නා හෙයින් හඳුනාගන්නට අසීරුයි. බොහෝ දෙනෙක් රැවටෙනවා. ඔහු තම කාර්යය උදෙසා විවිධ චාටුබස් කියනවා. විවිධ වෙස් ගන්නවා. බොරුවෙන් ඇත්ත වහනවා. පිරිස බිඳවනවා. කුමන්ත්‍රණ කරනවා. අවස්ථාව ලද විගස පළිගන්නවා. ඔහු ගුණමකුයි. කෙලෙහි ගුණ දන්නෙ නැහැ. සමාජ අධිපත්‍යයට ආශා කරනවා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවලට වසඟ වෙනවා. ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. ඕනම පවිටු දෙයක් කිරීමට පෙළඹෙනවා. එනිසා අසත්පුරුෂ බාලයන් හා ඇසුරු නොකළ යුතුමයි. සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් පමණක් ඇසුරු කිරීමෙන් සලසාගත හැකි යහපත වචනයෙන් කිව නොහැකි තරම් අතිවිශාල දෙයකි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 1-9,10. දේවදත්තගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here