1-5. කාලි යකින්නියගේ කථා වස්තුව

0
8


පින්වතුනේ, පින්වත් දරුවනේ,
ඒදිනවල අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියේ. ඒ සැවැත් නුවරම බොහෝම සතුටින් තරුණ මව්පිය දෙපලක් ජීවත් වුනා. ඔවුන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුනා. දවසක් මේ තරුණ අම්මාට පුදුම සහගත දෙයක් දකින්ට ලැබුනා. ගෙයි තොටිල්ලේ නිදා සිටි දරුවා අසල කවුදෝ කෙනෙක් සිටගෙන සිටියා. කළුම කළුයි. ලොකු ඇස් දෙකක් තිබුනා. දළ දෙකක් එළියට ඇවිදින් තිබුනා. ඒ වේලාවේ අම්මා බය වුනා. දරුවාට අනතුරක් වෙයි කියලා කෑ ගහගෙන ගෙට දුවගෙන ආවා. එතකොටයි පැහැදිලිව දැක්කේ. ඒ යක්ෂණියක්. ඒ යකින්නි හයියෙන් හිනා වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලන විට දරුවා මැරිල හිටියා. ඒ යකින්නි දරුවාගේ ලේ බීලා!

ඒ අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ඒ මව්පියන්ට ආයෙමත් දරු සිඟිත්තෙක් ලැබුනා. අර යක්ෂණී කොහෙන් හරි මතුවෙලා එනවා. ඒ දරු සිඟිත්තාවත් මේ පව්කාර යක්ෂණී බිලිගත්තා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ආයෙමත් ඒ මව්පියන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුනා. අම්මයි, තාත්තයි හරිම බයෙන් ඉන්නේ මෙයාලට හිතාගන්න බැහැ මේ සිදුවෙන්නේ මොකක්ද කියලා. මැණිකක් වගේ ආදරයෙන් දරුවා ආරක්ෂා කරගෙන සිටියා.

දවසක් මේ අම්මා නාන තොටුපළට දරුවා රැගෙන ගියා. දරුවාව නාවල ඉවුරෙන් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඈතින් කළුපාට තිතක් වගේ දෙයක් එන හැටි එකවරම අම්මාට දකින්නට ලැබුනා. අම්මාට කාරණය වැටහුනා. “අනේ !… මගේ බුදුසමිඳුන්!.. අන්න යක්ෂණී මගේ දරුවා ඩැහැගන්න එනවා.” අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවා තුරුළු කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිසුන් පුදුමයෙන් වගේ බලා සිටිනවා. අම්මා කෑ ගසමින් පාර දිගේ දුවනවා. “අනේ… මගේ දරුවා බේරාගන්න” කියලා. ටිකෙන් ටික යක්ෂණිය අම්මා ළඟට එනවා. අම්මා කෙළින්ම දිව්වේ ජේතවනාරාමයටයි.

ඒ අම්මාගේ වාසනාව. දරුවන්ගෙන් වසනාව, බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි වැඩසිටියා. අම්මා විළාප තියාගෙන දුවගෙන ඇවිදින් බුදුජාණන් වහන්සේ ඉදිරියේ දරුවාව තිබ්බා. “අනේ… මගේ බුදුරජාණන් වහන්ස, මේ දරුවා ඔබවහන්සේට බාරයි. මේ දරුවාව ආරක්ෂා කරදෙන සේක්වා! අනේ මගේ බුදුරජාණන් වහන්ස, යක්ෂණියක් ඇවිදින් කලින් දරුවන් දෙදෙනාවම කාලා දැම්මා. මේ දරුවා බිල්ලට ගන්න ආයෙමත් ආවා.” යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුනේ නැහැ. දොරටුව ළඟ නැවතී සිටියා. බුදුරජාණන් වහන්සේ යක්ෂණියට කතා කළා. ළඟට එන්න කිව්වා. යක්ෂණිය බයෙන් බයෙන්, බොහෝ තැති අරගෙන, කරබාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් පැත්තකින් වාඩි වුනා.

“එම්බා යක්ෂණී, දැන් නුඹ මා මේ කියන ගාථාව හොඳින් අසාගෙන ඉන්න ඕන. අර්ථය සිහි කරන්න ඕන. ඔය පව්කාර ජීවිතෙන් නිදහස්වීමට එතකොට නුඹට පුළුවන් වේවි. මේ ළමයි මරාගෙන කන එක දැන්වත් නවත්වා දමාපන්. මේ වෛරය දිගින් දිගට ගෙනියන්න එපා. මේ ගාථාව හොඳින් තේරුම් ගනින්.”

න හි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ

වෛර කිරීමෙන් කිසිදා – නැත වෛරය නැති වන්නේ
වෛර නොකර සිටීමෙන්ම – වෛරය නැති වී යන්නේ
වෛර නොකර සිටිනා විට – වෛරය සංසිඳී යාම
සැමදා මේ ලොව පවතින – දහමක් ලෙස දත යුතුමය

යක්ෂණිය අඬන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. රැස්වුණ පිරිසට මේ ගැන මහා කුතුහලයක් ඇති වුනා. මේ ප්‍රශ්නය කුමක්ද කියා කාටවත් තේරුනේ නැහැ. ඈත අතීතයේ මිනිස් ලෝකයේ සිදු වූ දෙයක් භව ගණනක් තිස්සේ පළිගැනීම්වලට ගොදුරුව වන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ කියා දුන්නා.

මේක අද ඊයේ සිදුවූ දෙයක් නොවෙයි. එක්තරා කාලෙක මේ යක්ෂණියයි, මේ අම්මයි එකම පවුලේ බිරින්දෑවරුන් දෙදෙනෙක් වෙලා සිටියා. වෙන කොහේවත් නොවෙයි. මේ සැවැත් නුවරමයි. ඒක මෙහෙමයි වුනේ.

ධනවත් කෙනෙක් එක්තරා කාන්තාවක් සමඟ විවාහ වුනා. නමුත් ඒ කාන්තාවට දරුවන් ලැබුනේ නෑ. ඔහුගේ පවුලේ මව්පියන් ඒ ගැන කණගාටු වුනා. දරු සම්පත් නැති වුනොත් පරම්පරාව විනාශ වෙනවා කියලා රණ්ඩුදබර කළා. අන්තිමේදී තවත් කාන්තාවක් ගෙදරට කැන්දන් ආවා. ඒ කාන්තාවට බොහෝ සැළකිලි ලැබුනා. කලින් විවාහ වුන කාන්තාව මැයට ඊර්ෂ්‍යා කළා.

“නංගියේ… මට නම් දරු සම්පත් ලබන්න වාසනාවක් නැහැ තමයි. නමුත් ඔයාට දරු සම්පතක් ලැබෙන්න හිටියොත් මට කියන්න. මං ඔයාට උදව් කරන්නම්.”

ටික කලකින් දෙවැනි කාන්තාවට දරු සම්පතක් පිහිටියා. ඇයට හරි සතුටුයි. ඇය හැමෝටම කිව්වා. පළමු කාන්තාවටත් කිව්වා. එතකොට ඒ පළමු කාන්තාවගේ ඇස් රතු වුනා. මූණ පළල් වුනා. ඊර්ෂ්‍යාව ඇති වුනා. හොර රහසේම මව් කුසේම දරුවා මැරෙන බෙහෙත් දුන්නා. දරුවා මැරුනා. අම්මා යාන්තමින් බේරුනා. කාටවත් මේ කරුණ සොයාගන්න බැරි වුනා.

ඒ දෙවැනි කාන්තාවට ආයෙත් දරු සම්පතක් පිහිටියා. ඇය ආයෙමත් සතුටු වුනා. හැමෝටම කිව්වා. ඒ වතාවෙදිත් අර කලින් කාන්තාව මව්කුසේ සිටින දරු සම්පත වැනසෙන්න හොර රහසේම බෙහෙත් දුන්නා. ඒ දරුවත් මැරුවා. ඒ වතාවෙදි ගෙදර සියලූ දෙනාම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුනා. කලක් ගත වෙන කොට දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. මේ වතාවේ ඇය කාටවත් කිව්වේ නැහැ. ඉතා පරිස්සමින් දරු සම්පත රැකගන්න මහන්සි ගත්තා. මව්කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මාගේ කුස ඉදිරියට නෙරා ආවා. එතකොට අර නපුරු ස්ති‍්‍රය මේ රහස දැනගත්තා. ඇයට ආයෙමත් දරුවාව මරණකල් ඉවසුමක් නැහැ. ඇය හොර රහසේම දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මව්කුසේම දරුවා මැරුනා. නමුත් ඒ දරුවා මව්කුස තුළ වැඩුණු දරුවෙක් නිසා අම්මත් මරණාසන්න වුනා. ඒ අම්මාට ඇති වුන දුක, වේදනාව, කම්පනය නිම්හිම් නැහැ. ඇය ද්වේෂයෙන් දෑස් ලොකු කරගත්තා. හඬා වැළපෙන්න පටන් ගත්තා. කෑගසන්න පටන් ගත්තා. ඇය දත්මිටි සපමින් මෙහෙම කිව්වා

“එයි… සැතිරියේ… තී දැනගනින්. මගේ කලින් දරුවන් දෙදෙනාම මව් කුසේම මරල දැම්මේ තී තමයි. මේ වතාවෙදිත් දරුවයි, මාවයි දෙන්නම මරාගත්තා. ඒයි සැතිරියෙ… මං ජාති ජාතිත් තිගෙන් පළිගන්නවා. මං තිගේ දරුවන්වත් මරනවා, මරනවාමයි. තීවත් මරනවාමයි” කියා කියා ඇයත් මරණයට පත්වුනා.

ඉන්පසු ඔවුන් සත්තු වෙලා ඉපදුනා. එකිකෙකාගේ දරුවන් මරාගෙන කෑවා. මේ වතාවේදීත් අර අම්මා වුන කෙනා ඉපදුනේ යක්ෂණියක් වෙලයි. දරුවන් වැනසෙන්න බෙහෙත් දීපු කෙනා ඉපදුනේ මිනිස් දුවක් වෙලයි. මේ වතාවේදිත් අර යක්ෂණිය දරුවන් දෙදෙනෙක්ම මරා දැම්මා. තුන් වෙනි දරුසිඟිත්තා මරන්න සූදානම් වෙද්දී තමයි මේ අම්මා ජේතවනාරාමයට දුවගෙන ආවේ.

බුදුරජාණන් වහන්සේ අතීත ජීවිත කථාව විස්තර කරද්දී යක්ෂණිය හඬා වැළපුනා. අර අම්මත් හඬා වැළපුනා. සිතක හටගන්නා වෛරය මොනතරම් දුරක් යනවද! භවයක් භවයක් ගානේ පස්සෙන් එන්නේ සසර පුරුද්දක් හැටියට වගෙයි. වෛරය මේ තරම්ම භයානකද? මිනිස් ලොව තිරිසන් ලොව, පේ‍්‍රත ලොව ආදී කොයි ලෝකෙදි වුනත්, වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා. පළිගන්නවා. වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. එහෙම නම් පින්වතුනේ, පින්වත් දරුවනේ, වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. එ් වගේම වෛර නොකිරීමමයි උතුම්. එනිසාමයි සංසිඳීම ඇති වන්නේ.

වෛරයක් ඇති වුනොත් කරන්න තිබෙන හොඳම දෙය තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛතී‍්‍ර සිත නිසාත් වෛරය දුරුවෙලා යනවා.

ඇතැම් වෙලාවට මෙත් සිත පතුරුවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇති කරගැනීමයි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසාම වෛරය නැති වෙනවා.

කරුණාව ඇති කරගන්නට මහන්සි ගනිද්දිත් නැවත නැවතත් වෛර ඇතිවෙන කරුණම මතු වෙවී එන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනැත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම සිත සිතා ඉඳලා වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්‍යස්ථ කරගන්න ඕන. එතකොටත් වෛරය නැති වෙනවා.

ඇතැම් අවස්ථාවලදී එහෙම කරලත් වෛරය දුරු වෙන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇතිවන කරුණ මෙනෙහි නොකර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නොසිතා වෙන දෙයක්ම දිගින් දිගටම සිහි කිරීමෙන් වෛරය නැතිවෙලා යනවා.

ඇතැම් විට එත් මේ වෛරය නොසංසිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙහෙමයි සිතන්න ඕන. ‘කවුරුත්, තමන්ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතාමතා කරන දේවල් නෙව. ඒකෙන් මෙයත් නිදහස් වෙලා නැහැනෙ. මේ පුද්ගලයාට තියෙන්නෙත් කර්මයම උරුම කරගත්තු ජීවිතයක්. කර්මයමයි උප්පත්ති ස්ථානය කරගෙන තියෙන්නෙ. කර්මයමයි දායාදය කරගෙන තියෙන්නෙ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරකක් කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාදය වෙන්නෙත් එච්චරමයි’ කියලා ඒ උපන් වෛරය දුරින්ම දුරුකර දමන්න ඕන. වෛරය නිසා දුකින් දුකට පත්වෙන ආකාරය නුවණින් මෙනෙහි කරන්න ඕන. වෛරයෙහි ඇති භයානක විපාක ගැන බිය උපදවාගන්න ඕන. වෛරය අත්හැර දමා සැනසීම ලබන ආකාරය ගැන සිතා සතුට ඇති කරගන්න ඕන. එතකොට ආහාර නොලැබෙන භයානක සතෙක් මිය යනවා වගේ වෛරය සිතෙන් ඉවත් වෙලා යාවි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 1-5. කාලි යකින්නියගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here