1-17. දෙව්දත්ගේ අවසන් කාලය

0
7


පින්වතුනේ, පින්වත් දරුවනේ,

දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. නම් අවාසනාවන්ත පුද්ගලයාගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුකයි. බුදුරජාණන් වහන්සේව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින්ම ඉර්ධි ප්‍රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුන සියලු කුසල් අහිමි කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දේව්දත්ගේ ක්‍රෝධය හරිම අසාමාන්‍ය එකක්. හරිම විකෘති ආශාවක්. පළිගැනීමේ සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සේට විරුද්ධව කුමන්ත්‍රණය කරලා සෑහීමකට පත්වීමක් නැහැ. එයාගේ එකම සිහිනය වුනේ බුදුරජාණන් වහන්සේගේ විනාශය දැකීමමයි. කළුගල් පර්වතයක හිස ගසාගන්නා අන්ධයෙක් වගේ දෙව්දත් බුදුරජාණන් වහන්සේව විනාශ කරන්න මහන්සි ගත්තා.

එක්තරා අවස්ථාවක අජාසත් රජතුමාගේ හමුදා පිරිසෙන් තිස් දෙනෙක් පමණ ආයුධ සන්නද්ධ පිරිසක් බුදුරජාණන් වහන්සේව විනාශ කිරීම පිණිස පිටත් කෙරෙව්වා. ඒ හැමෝම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙම කුමන්ත්‍රණය හෙළිදරව් කරලා පැවිදි වුනා. අජාසත් රජතුමාගේ ඇත් සේනාවේ ඇති භයානක ඇතෙක් සිටියා. ඌ සුළු දෙයටත් කිපෙනවා. විශාල ඇතෙක්. නාලාගිරි කියලයි ඌට කිව්වේ. දේවදත්ත බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වඩින වීදිය ගැන තොරතුරු සොයා ගත්තා.

එක දවසක් මේ නාලාගිරි ඇතාට ලොකු රා කළ ගෙඩි දහසයක් පෙව්වා. ඌ හොඳටම වෙරි වුනා. ඊට පස්සෙ ඇත් ගොව්වන් ලවා හෙණ්ඩුවෙන් ඇනලා ඇනලා මේ ඇතාව හොඳටම කුලප්පු කෙරෙව්වා. උගේ ඇස් රතු වුනා. කන් දෙක පළල් කර ගත්තා. නැට්ට ඔසවා ගත්තා. පොළොවේ පස් හාරන්න පටන් ගත්තා. කෝපයෙන් ගුගුරන්න පටන් ගත්තා. හොඬවැල ඔසවා ගත්තා. එක පිම්මට මහ පාරට පැන්නා. ගස් කොළන් උදුරලා විසි කළා. කඩපිල් කුඩුපට්ටම් කළා. මෙය දුටු මිනිසුන් සී සී කඩ දිව්වා. මහපාර එකම යුධ පිටියක් වුනා. ඉදිරියට පැමිණි මිනිසුන්ව කීතු කීතු කරලා දැම්මා. පිස්සෙක් වගේ එක පිම්මේ ඉස්සරහට දුවගෙන එනවා.

බුදුරජාණන් වහන්සේ ඒ මාවතේ ඇතාට මුහුණලා වැඩම කරනවා. පිටුපසින් වැඩිය ආනන්ද ස්වාමීන් වහන්සේට හොඳටම භය හිතුනා. “අයියෝ… ඔන්න ඔන්න… භයානක ඇතෙක් පොළොව පෙරළගෙන එනවා. අනේ… මේ පැත්තටයි එන්නේ. හරි වැඩේ…. දැන් මොකද කරන්නේ? ඔව්… මේ ඇතා එන පිළිවෙළට නම්, මාගේ ශාස්තෘන් වහන්සේව මූට ගොදුරු වෙනවා. නැහැ…. නැහැ… එහෙම වෙන්න දෙන්න බැහැ. මට ඕන දෙයක් වුනාවේ. මං මේ ජීවිතය ඇතාට පූජා කරනවා” කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට පැන්නා.

බුදුරජාණන් වහන්සේ වහ වහා අානන්ද ස්වාමීන් වහන්සේව තමන් වහන්සේගේ පිටුපසට ගත්තා. මෛතී‍්‍ර සිතින් යුතු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇතාට කතා කළා. දහම් දෙසුවා. ඇත්තෙන්ම මෛති‍්‍රයෙන් කැටි වූ ඒ සෑම වචනයක්ම ඇතාට තේරුනා. උගේ වෙරි හිඳුනා. දරුණු ගති නැති වුනා. අහිංසක වුනා. ඇතා දමනය වුනා. ඉතාම හීලෑ ඇතෙක් බවට පත් වුනා. අන්තිමේදී මේ අසත්පුරුෂ දේවදත්තයා මේ විදිහට කල්පනා කළා. “ඒ වැඩෙත් හරි ගියේ නැහැ නෙව. මං ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේව විනාශ කිරීමට හදන හදන උපක්‍රමය අසාර්ථක වෙනවා. අනුන්ට කියලා අනුන් ලවා මේක කරන්න බැහැ. හොඳම වැඬේ මගේ අතින්ම මෙයාව විනාශ කරන එකයි” කියලා.

දවසක් දේවදත්ත හොර රහසේම ගිජ්ඣකූට කන්ද මුදුනට නැග්ගා. ඒ කන්ද ලොකු කන්දක් නොවෙයි. පොඩි ගල්කන්දක්. කඳු මුදුනේ කුටි දෙකයි තියෙන්නෙ. ඉතින් එතැන පහළ ඇති සෙවණ තියෙන තැනක බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් සිටියා. එදා දේවදත්ත ඒ කඳු මුදුනට නැග ගත්තා. එතැන විශාල ගලක් තිබුනා. දේවදත්ත හිමිහිට ඒ ගල සොලවලා පහලට පෙරළුවා. පහළ සක්මන් කරමින් සිටි බුදුරජාණන් වහන්සේගේ හිසට ඉලක්ක කොට පෙරළුවා. ගල වේගයෙන් පහළට වැටෙද්දී හරි පුදුමයි! ඒ කන්දෙන් තව ගලක් මතු වුනා. පහලට වැටෙන ගල ඒකෙ වැදුනා. වැදිලා වෙන පැත්තකට විසි වුනා. එහෙම විසිවෙද්දී ගැලවී ගිය ගල්පතුරක් බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපාදයේ මහපට ඇඟිල්ලේ වැදී ලේ ගලන්න පටන් ගත්තා. දේවදත්ත ඉක්මණින්ම හැංගුනා. බුදුරජුන්ගේ ලේ සෙළවීමේ ආනන්තරීය පාපකර්මය රැස් කරගත්තා. මේ අසත්පුරුෂ පුද්ගලයාට තවමත් පින් පව් තේරෙන්නේ නැහැ. තමන් අතින් සිදුවෙන මේ භයානක පාපකර්ම නිසා දුකට වැටෙන්නේ තමන්ය කියලා තවමත් තේරෙන්නේ නැහැ. තමන් අතින් කරන්නට ගිය ඒ ඝාතන සැලැස්මත් අසාර්ථක වුනා.

ඊළගට මේ අසත්පුරුෂයා කල්පනා කළේ සඟ පිරිස බිඳවන්නයි. සංඝභේද පාපකර්මය කරන්නයි. අන්තිමේදී කරුණු පහක් මුල් කරගෙන අලුත පැවිදි වූ පන්සියයක සඟ පිරිසක් රවටා ගන්නට දේවදත්ත සමත් වුනා. අලුත පැවිදි වූ පන්සියයක් ස්වාමීන් වහන්සේලා හිතුවේ දේවදත්ත කල්‍යාණ මිත්‍රයෙක් කියලයි. ඔවුන් දේවදත්තට රැවටුනා. තමන් ළඟ හිටියොත් ඉක්මණින් නිවන් දකින මාර්ගය පෙන්වා දෙන්නම් කියලා ඒ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම තමන්ට අවනත කරගන්නට දේවදත්තගේ මායාකාරී කතා බහට පුළුවන් වුනා. ඒ භික්ෂූන්ව අවනත කරගෙන ගයා ශීර්ෂයට පිටත් වුනා. එහි ගොස් ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට බණ කියන්න පටන් ගත්තා. ඒ භික්ෂූන්ද මග ඵල ලැබීමේ අදහසින් දෙව්දතුන්ගෙන් බණ අහනවා. නමුත් දේවදත්තගේ එකම අදහස ඔවුනට මඟ ඵල ලබාදීම නොවෙයි. බුදුරජුන්ට විරුද්ධව ඔවුන්ව මෙහෙය වීමයි.

 

මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අමතා වදාළා “සාරිපුත්ත, මොග්ගල්ලාන, ඔබ වහාම යන්න. ඒ අලුත පැවිදි වූ භික්ෂූන් කල්‍යාණ මිත්‍රයන් හඳුනාගැනීමට අසමර්ථ වුනා. දේවදත්තගේ පවිටු අදහස්වලට ඒ භික්ෂූන් ගොදුරු වෙන්න කලින් ඉක්මනින් බේරාගන්න.” සැරියුත් මුගලන් රහතන් වහන්සේලාද වහ වහා ගයා ශීර්ෂය බලා වැඩම කළා.

අධික මාන්නයකින් පෙළෙන, ප්‍රධානත්වය ලබාගැනීමෙහි විකෘති ආශාවකින් පෙළෙන දේවදත්ත ඈතින් වඩින සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දැක, පී‍්‍රතියෙන් කෑ ගැසුවා. “පින්වත් මහණෙනි, අන්න බලව්. කවුද හරි? දැන් පැහැදිලියි. මමයි හරි. දැක්කා නේද මා කරා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා එන ආකාරය? බුදු සසුන තියෙන්නේ කවුරු අතේද කියා දැන් මහණෙනි, නුඹලාට පේනවාද? සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ළං වන විට දේවදත්ත උන්වහන්සේලා අමතා මෙහෙම පැවසුවා. “එම්බා සාරිපුත්ත, මෙහි එන්න. මගේ දකුණු පසෙන් වාඩිවෙන්න. එම්බා මොග්ගල්ලාන, මගේ වම්පසින් වාඩි වෙන්න. දැන් මේ සසුනේ නායකයා මමයි. සාරිපුත්ත මොග්ගල්ලාන මා දැන් මෙතෙක් වේලා දහම් දෙසුවා. මගේ පිට ස්වල්පයක් රිදෙනවා. මා ටික වේලාවක් හාන්සි වී සිටින්නම්. මේ භික්ෂූන්ට ඔබ දහම් දෙසන්න.” දේවදත්ත හාන්සි වුනා. පවිටු සිත් ඇති සිහිනුවණින් තොර ඒ අසත්පුරුෂයාට එසැණින්ම හොඳටම නින්ද ගියා. ගොරව ගොරවා නිදාගත්තා.

සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී, දේවදත්තට රැවටී සිටි අර අලුත පැවිදි වූ ස්වාමීන් වහන්සේලාට ඇත්ත අවබෝධ වුනා. සැබෑ කල්‍යාණ මිත්‍රයා කවුරුන්ද යන වග අවබෝධ වුනා. චතුරාර්ය සත්‍යයත් අවබෝධ වුනා. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වමින් දහම් කරුණු පෙන්වා දුන්නා. ඒ පන්සීයක් භික්ෂූන් වහන්සේලාම සෝවාන් ඵලයට පත් වුනා. අන්තිමේදී ඒ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ආපසු වඩින විට උන්වහන්සේලා පසුපසින් අර පන්සියයක් භික්ෂූන් වහන්සේලාම බුදුරජාණන් වහන්සේ ළඟට පිටත් වුනා.

දේවදත්ත වගේම ඔහුගේ යහළුවා වන කෝකාලිකත් පවිටු කෙනෙක්. ඔහු ඉදිරියට ඇවිත් බලද්දී කවුරුත් නෑ. හැමෝම සැරියුත් මුගලන් රහතන් වහන්සේලා සමඟ පිටත් වෙලා. කෝකාලිකට කේන්ති ගියා. “මහලොකුවට කෑ ගහනවා. හැමෝම බේරාගන්න ඕන කියලා. ඔන්න අපිත් එක්ක ආපු පන්සිය දෙනත් අර සැරියුත් මුගලන් දෙන්නා ආපහු අරගෙන ගිහිල්ලා. මුන්දැ තවමත් ගොරව ගොරවා බුදි” කියලා කෝකාලික දේවදත්තගේ පපුවට වැලමිටෙන් ඇන්නා. දේවදත්ත ඇහැරුනා. කලබලයට නැගිට්ටා. ඇස් ලොකු කරගෙන වටපිට බැලුවා. කවුරුවත් නැහැ. මේකත් වැරදුනා කියලා හිතද්දී කටින් උණු ලේ පිටවුනා. දේවදත්ත අසනීප වුනා. මාස නවයක්ම දුක් වින්ඳා. එන්න එන්නම අමාරුයි. තමන්ගේ අතින් සිදු වෙච්ච වැරදි එකින් එක චිත්‍රපටියක් වගේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දීත් උන්වහන්සේ ඒ කිසිවකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුනා.

දේවදත්තට බුදුරජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා. “අනේ… මාව කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට මියයන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. “දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබාගෙන සැවැත් නුවර බලා පිටත් වුනා. සැවැත් නුවර ජේතවනය බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුනා. බලවත්ව පිපාසයක් ඇති වුනා. ඒ වගේම අඟපත පුරා මහා දැවිල්ලක් හටගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුනා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩිවෙලා හිටගත්තා විතරයි පොළොවෙන් ගිනිදැල් ඇවිත් දේවදත්ත වෙළාගත්තා. ඒ අවසන් මොහොතේ ජේතවනාරාමය දෙස බලා ‘මම බුදුන් සරණ යමි’යි කියමින් පොළොවේ කිඳා බැස්සා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැළවීමෙන් පසු මෙම ගාථාව වදාළා.

ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති – භීය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ

පව් රැස් කරනා මිනිසා – මෙලොව පසුතැවෙයි එනිසා
පරලොවදිත් පසුතැවෙමින් – දුකටම පත්වෙයි එනිසා
අයියෝ මම පව් කෙරුවා – කියමින් තැවෙනා මිනිසා
ආපා දුකට වැටී පසුව – දැවෙයි තැවෙයි දුකින් යුතුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කෙලෙස්වල ස්වභාවය ඉතාමත්ම භයානකයි. දැන් බලන්න දේවදත්ත කියන්නේ කවුද? යශෝදරාවගේ සහෝදරයා. රාහුල කුමාරයාගේ මාමා. සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා. කොයිතරම් ළඟ ඥාතියෙක්ද? යශෝදරා දේවිය රහත් භික්ෂුණියක් බවට පත්වුනා. රාහුල කුමාරයා රහතන් වහන්සේ නමක් බවට පත් වුනා. මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වය ලබා ගන්නට සිද්ධාර්ථ කුමාරයාට පුළුවන් වුනා. නමුත් දේවදත්ත විකෘති ආශාව නිසාම, මාන්නය නිසාම, බද්ධ වෛරය නිසාම, ක්‍රෝධ කිරීම නිසාම, පිළිගැනීම නිසාම, ප්‍රධානත්වයට ඇති ආශාව නිසාම අවීචි මහා නරකාදියෙහි ඉපදෙන විදිහට කර්ම රැස්කරගත්තා. දැන් දේවදත්ත කල්පයක් පුරාවට ඒ නරකාදියේ මොහොතකවත් සුවයකින් තොරව දුක් විඳිනවා. අනන්තරීය පාප කර්ම කරගත්තා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ආනන්තරීය පාපකර්ම පහක් තියෙනවා. මේවාට අනන්තරීය පාපකර්ම කියල කියන්නේ, මරණයෙන් පසු වෙන කොහේවත් අතරක උපත නොලබා කෙළින්ම අවීචි මහා නරකාදියෙහි උපදින නිසයි. ඒ ආනන්තරීය පාප කර්ම පහ මොනවාද?

1. තමන්ගේ මව් ඝාතනයට පත් කිරීම.
2. තමන්ගේ පියා ඝාතනයට පත් කිරීම.
3. රහතන් වහන්සේ නමක් ඝාතනයට පත් කිරීම.
4. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි රුධිරය ගලන අයුරින් ද්වේෂ සහගත ලෙස තුවාල කිරීම.
5. සමඟිව සිටින සංඝයා භේද කොට තම පක්ෂයට ගැනීම.

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ කෙනෙක් මේ පව්වලින් සදහටම නිදහස් වෙනවා. මේ පව්වලට මූලික හේතුව වන්නේ අසත්පුරුෂකමත්, කෙළෙහි ගුණ නොදන්නාකමත් බලපවත්වන පෘථග්ජන ජීවිතයයි. ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වීම පිණිසවත් මාර්ගය ප්‍රගුණ කරන්නේ නැතිනම් මේ අනතුරට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ ජීවිතයේ මෙවැනි පව් නොකළත් වෙන ජීවිතයක වුනත් තමා අතින් මෙවැනි දෙයක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා අපට තිබෙන එකම රැකවරණය නම් මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමමයි. සමහරුන් කියාවි ඕවා කෙහොම කරන්නද? පාරමී පුරන්න ඕන නෙවෙද? ඔය කියන පමණින් මගඵල ලබන්නෙ කවුද? කියලා. නමුත් සෝවාන් ආදී මාර්ගඵල ලැබීම පිණිස පාරමී පිරිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කාටවත් දේශනා කරලා නැහැ. උන්වහන්සේ වදාළේ සත්පුරුෂ ආශ‍්‍රයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබෙනවා නම්, යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයෙහි හැසිරෙනවා නම් ඔහුට මගඵල ලබන්නට පුළුවන් බවයි. එනිසා අහංකාර හිස් මිනිසුන්ගේ ප්‍රලාප නොවෙයි අපට වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 1-17. දෙව්දත්ගේ අවසන් කාලය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here