1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව

0
9


පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන කාලය බුද්ධ කාලයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කවුරුත් කථාබස් කරනවා නම්, ඒ ධර්මය අනුගමනය කිරීමට වෙහෙස මහන්සි වෙනවා නම්, ඒ බුද්ධ කාලය ධර්මයෙන් බබලනවා. අන්න එවැනි කාලයක නුවණැති අයට සියලු වාසනාව ලබා දෙනවා. හොඳට පින් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ දෙනෙක් පින් ගැන කථා කළත්, පින් කරන හැටි දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පින ගැන ඉගෙන ගන්න කෙනාට බොහෝ පින් රැස් කරන්න පුළුවනි. නරක තැන්වල උපත නොලබා, දෙව්ලොව උපත ලබා සැප සේ වාසය කරමින් සංසාරයෙනුත් එතෙර වෙන්න පුළුවනි. හැබැයි ඒ හැම සැපක්ම ලබන්නට පුළුවනි. හැබැයි ඒ හැම සැපක්ම ලබන්නට පුළුවන් වෙන්නේ පින් කරන කෙනාට විතරයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔයාල අහල ඇති සැවැත් නුවර කියන නගරය ගැන. ඒ කාලෙ කොසොල් ජනපදයේ අගනුවර සැවැත් නුවරයි. සැවැත් නුවර හත් කෝටියක ජනකායක් ජීවත් වෙලා තිබෙනවා. එයින් පන්කෝටියක්ම බුදුරජාණන් වහන්සේගේ මගඵල ලාභී ශ‍්‍රාවක පිරිසයි. කොයිතරම් යහපතක්ද! ඉතින් ඒ කෝටි ගණනක් සිටිය පින්වත් ශ‍්‍රාවක පිරිසෙන් කෙනෙක් ගැනයි දැන් ඔබට කියා දෙන්නේ.

මේ පින්වත් උපාසක මහතාගේ නම ධම්මික. එයාගෙ ජීවිතය ඒ නමටම ගැලපෙන එකක්. මෙයා ඉතාමත් ධාර්මිකයි. ඉතාමත්ම සීලවන්තයි. මේ පින්වත් උපාසක මහතාගේ බිරිඳත් ඉතාම සීලවන්ත වූ ගුණවන්ත වූ උපාසිකාවක්. මෙයාලට දරුවන් දාහතර දෙනෙක් හිටියා. සෑහෙන ලොකු පවුලක් වුනත් හැමෝම සීලවන්තයි. පුතුන් හත් දෙනෙකුත්, ගැහැණු දරුවන් හත් දෙනෙකුත් සිටියා.

මේ පවුලේ සියලු දෙනා නිතර නිතර සිල් රකිනවා. දැන් පුදනවා. භාවනා කරනවා. ධර්ම සාකච්ඡා කරනවා. බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන කරනවා. කාටත් උදව් කරනවා. මේ උපාසක මහත්මයා දිනපතා භාවනා කරන කෙනෙක්. හොඳට සිත දියුණු කරන කෙනෙක්. මේ විදිහට පින්දහම් කරමින් සතුටින් ජීවත් වෙනවා. අන්තිමේදී මෙයා වයසට ගිහින් මරණාසන්න වෙනවා. දැන් මෙයා ඇඳට වැටිලයි ඉන්නේ.

මේ පින්වත් උපාසක මහත්මයාට ස්වාමීන් වහන්සේලා දැකීමටත්, උතුම් බණ ඇසීමටත් මහත් ආශාවක් ඇති වුනා. “අනේ මගේ දරුවනේ… මට මේ හුස්ම ටික යන්න කලියෙන් උතුම් නිවන් මෙඟහි වඩින පින්වත් ස්වාමීන් වහන්සේලාව දැක බලාගන්න ඇත්නම් කොයි කරම් අගේද, උන්වහන්සේලාගෙන් බණ පදයක් අසන්ට ඇත්නම් කොයිතරම් අගේද” කියලා කිව්වා.

දරු පිරිස දෙව්රම් වෙහෙරට ගිහින් ස්වාමීන් වහන්සේලාට මේ කරුණ දන්වා සිටියා. ස්වාමීන් වහන්සේලා ධම්මික උපාසක මහතා දකින්නට බොහෝ සතුටු වුනා. “පින්වත් දරුවනේ, බොහෝම හොඳයි. බොහෝමම හොඳයි …. ඔය ධම්මික උපාසක මහත්මයා අපි දන්නා කාලයේ ඉඳලාම සීලවන්තයි. නිතර දන්පැන් දෙනවා. හොඳට භාවනාත් කරනවා. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට මේ උපාසක මහත්මයාගේ සිතේ තිබුනේ පුදුමාකාර කැමැත්තක්. බුදුරජාණන් වහන්සේ ගැනත්, ශී‍්‍ර සද්ධර්මය ගැනත්, ආර්යයන් වහන්සේලා ගැනත්, ඒ උපාසක මහත්තයාගේ සිතේ මහා ශ‍්‍රද්ධාවක් තිබුනා. ඒ නිසා එබඳු කෙනෙක් බලන්න යන එකට අපි හරි කැමතියි” කියලා ස්වාමීන් වහන්සේලා දහසය නමක් කැමැත්තෙන්ම පිටත් වුනා.

නිවසට වැඩම කරලා ධම්මික උපාසක මහත්තයා සමඟ සතුටින් කථාබස් කළා. “පින්වත් උපාසක මහත්මයා, මොන වගේ ධර්මයක්ද අහන්න කැමති.” “අනේ පින්වත් ස්වාමීන් වහන්ස, මට මේ ධර්මය මී පැණිවලටත් වඩා රසයි. මගේ ජීවිතයේ දැන් මේ අතපය වලංගු නැති වුනාට බොහෝම ප්‍රයෝජන ගත්තා. පින්මයි රැස් කළේ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න හිතා ගෙනම මං හොඳට සතර සතිපට්ඨානය පුරුදු කළා. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්ස, එ් සතිපට්ඨාන සූත්‍ර දේශනාව අහන්න මං හරි කැමතියි. එය වදාරණ සේක්වා!” “හොඳයි පින්වත් උපාසක මහත්මයා, බොහෝම හොඳයි. අන්තිම මොහොතේ ධර්මය පමණක් සිහිවන එක මොනතරම් ලාභයක්ද! එහෙනම් හොඳයි අහගෙන ඉන්න” කියලා ඒ ස්වාමීන් වහන්සේලා සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනා කරන්න පටන් ගත්තා. ඇඳේ හාන්සිවෙලා හිටිය ධම්මික උපාසක මහත්තයා දෑස් වසාගෙන, වන්දනා කරගෙන හරිම පී‍්‍රතියෙන් අහගෙන සිටියා. හොඳට සිත යොමු කරගෙන සිටියා.

ටික වේලාවක් යන විට මේ උපාසක මහතා ඉදිරියේ දිව්‍යලෝකවලින් දෙවිවරුන් ඇවිදින් හිටගත්තා. එක එක දිව්‍යලෝකයට එන්න කියලා ආරාධනා කරන්න පටන් ගත්තා. උපාසක මහතාට විතරයි මෙය පෙනෙන්නේ. සතිපට්ඨාන සූත්‍ර දේශනාව අසා සිටීමට මෙය හරිම බාධාවක් වුනා. එතකොට උපාසක මහත්තයා ඒ දෙවිවරුන්ට ටිකක් ඉන්න කියලා අත ඔසවලා දැනුම් දුන්නා. අර ස්වාමීන් වහන්සේලාට මෙය පෙනුනේ දැන් ඇති කියනවා වගේ. ඒ ස්වාමීන් වහන්සේලා හිතුවා “හා… දැන් මේ ධම්මික උපාසක මහත්මයාට සිත තැන්පත් කරන්න මෙය ප්‍රමාණවත් ඇති. ඒ නිසා තමයි ඔය නවත්වන්න කියලා කියන්නේ” කියලා හිතලා ආපසු විහාරයට වැඩියා. ධම්මික උපාසක මහතා එ් සැණින් මරණයට පත්වෙලා තුසිත දෙව්ලොව දිව්‍ය කුමාරයෙක්ව උපත ලැබුවා.

වෙහෙරට වැඩිය ස්වාමීන් වහන්සේලා ධම්මික උපාසකතුමා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අතරමග නැවැත්තුව නිසා තමන් ආපසු විහාරයට වැඩිය බව බුදුරජාණන් වහන්සේට සැළකර සිටියා. “පින්වත් මහණෙනි, එතැන සිදුවුනේ ඒක නොවෙයි. ධම්මික උපාසකතුමාට දිව්‍ය ලෝකවලින් දෙවිවරු ඇවිදින් ඒ දිව්‍ය ලෝකයෙහි ඉපදීම පිණිස සිත පිහිටුවන්න කියලා ඇරයුම් කරන එක කරදරයක් වුනා. ඒ දෙවිවරුන්ට කලබල නොවී පොඩ්ඩක් ඉන්න කියලයි අත උස්සලා කිව්වේ. ඔබ පැමිණ ටික වේලාවකින් ධම්මික උපාසකතුමා මිය ගියා. දැන් එයා දිව්‍ය කුමාරයෙක්. දිව්‍ය සැප විඳිනවා. පින්කරපු කෙනාට මෙහෙම තමයි” කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා:

ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්ම විසුද්ධමත්තනෝ

පින් රැස් කරනා මිනිසා – මෙලොව සතුටු වෙයි එනිසා
පරලොවදිත් සතුටු වෙමින් – දෙලොව සතුටු වෙයි එනිසා
තමා විසින් රැස් කරගත් – පින් ගැන සිහිපත් වෙන විට
සතුටු වෙවී ප‍්‍රමුදිත වෙයි – නිතර පී‍්‍රති සිතින් යුතුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින් රැස් කිරීම ඕනම නුවණැති කෙනෙකුට කරන්න පුළුවනි. ඔබට ඔබ සමාදන් වෙන සිල් පද පහ රැකගන්න පුළුවන් නම්, ඒකත් පිනක්. පොඩි පිනක් නොවෙයි. ඒක ලොකු පිනක්. ඒ වගේම පොහොය දවසට උපෝසථ සිල් ආරක්ෂා කරනවා නම්, ඒ රැස් කරන පිනත් මෙපමණයි කියලා කියන්න බැරි තරම්ම විශාලයි. දිනක් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට වැඩම කළ වෙලාවේ උන්වහන්සේගේ ඥාතීන් වන ශාක්‍ය වංශිකයන් පිරිසක් උන්වහන්සේව බැහැ දකින්න ආවා.

“පින්වත් ශාක්‍යවරුනි, ඔබ උපෝසථ දවසට, ඒ කියන්නේ පොහොය දවසට සිල් ආරක්ෂා කරනවාද?”

“අනේ ස්වාමීනී, අපට ඒකට වෙලානක් නැහැ නේ. මේ වැඩපළවල අවසානයක් වෙන්නේ නැහැ නේ. පොහොය දවසට වුනත් මොකක් හරි වැඩක් යෙදෙනවා. එතකොට සිල් සමාදන් වෙන්න ලැබෙන්නේ නැහැ.”

“පින්වත් ශාක්‍යවරුනි….. ඒක ඔබ සියලු දෙනාටම විශාල අලාභයක්මයි. විශාල පාඩුවක්මයි. මහත්ම පාඩුවක්මයි. පින්වත් ශාක්‍යවරුනි, මෙහෙම හිතන්න. ඔන්න කෙනෙක් රස්සාවකට යනවා. දවසම මහන්සිවෙලා වැඩ කළ විට පඩිය හැටියට රන්කහවණුවක් ලැබෙනවා. එතකොට ඒක ලොකු ගණනක් නේද?”

“එහෙමයි ස්වාමීනී”

“ඉතින් තව කෙනෙක් වෙන රස්සාවක් කරනවා. එයාට දවසට කහවණු සියයක පඩියක් ලැබෙනවා. තව කෙනෙකුට තව රස්සාවක් ලැබෙනවා. එයාට කහවණු දහසක පඩියක් ලැබෙනවා. තව කෙනෙකුට ඉතාම හොඳ රස්සාවක ලැබෙනවා. එයා පඩිය දිනකට කහවණු ලක්ෂයයි. පින්වත් ශාක්‍යවරුනි, දැන් මොකද හිතන්නේ? එහෙම කෙනෙක් අවුරුදු සියයක් මුළුල්ලේ දිනපතා කහවණු ලක්ෂයක් ලැබෙන රස්සාවක් කළොත් මොන විදිහේ ධනවතෙක් වේවිද?”

අර ශාක්‍යවරු පුදුම වුනා. ඇස් ලොකු වුනා. උගුර පෑදුවා. හිනහ වෙවී පිළිතුරු දුන්නා. “හප්පා…. ස්වාමීනී, අනිත් කහවණු ලක්ෂයක් දිනකට පඩිය හැටියට ලැබෙන රස්සාවක් කරගන්න පුළුවන් නම් ආයෙ වෙන මොකවත් ඕන නැහැ. අවුරුදු සියයක් රස්සාව කළෝතින් එයා ඉතින් සිවුවරයෙක්මයි. නිකං සිටුවරයෙක් නොවෙයි, මහා සිටුවරයෙක්.”

“පින්වත් ශාක්‍යවරුනි, නෑ. ඇත්තෙන්ම එයාට ලොකු මුදලක් නෑ කියන්න පුළුවනි. යම් කෙනෙක් පොහොය දවසට හිරු නැගෙන වේලේ ඉඳලා, පසුවදා හිරු නැගෙන තුරාවට දවසක් පුරාවට අට සිල් ආරක්ෂා කළොත් එයා ලබන ධනය ඔයිට වඩා ගොඩක් වැඩියි. එ් නිසා පින්වත් ශාක්‍යවරුනි, සිල් රැකීම කියන්නේ සැප ලැබෙන දෙයක්මයි.”

“ස්වාමීනී, එහෙනම් අපි හැකි හැම දවසෙම සිල් රකින එක අත්හරින්නේ නැහැ.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ ජීවිතයේ වැඩි වශයෙන්ම කෙරෙන්නේ කාලය නාස්ති වීමමයි. තේරුමක් නැති දේවල් වෙනුවෙන් අපි පුදුම විදිහට කාලය වනසනවා. සිල් රකින්න කාලය ගන්නේ ඉතාමත්ම අඩුවෙනුයි. තාවකාලික සතුට වෙනුවෙන් නම් ඕනෑතරම් කල්මරාවි. ඒ නිසා අපට මේ ලැබෙන කාලයෙන් ප්‍රයෝජන ගනීමට නම් සීලය නැමැති පින රැස් කරන්න ඕන. ඒ වගේම දන් දීම නැමැති පින රැස් කරන්න ඕන. ඒ වගේම භාවනාව නැමැති පින රැස් කරන්නත් ඕන. අපට නිරතුරුවම මෛතී‍්‍ර භාවනාව කළ හැකි නම්, ඒ හැම මොහොතකම රැස්වෙන පින මෙතෙකැයි කියා ප්‍රමාණ කරන්න බැහැ. ඒ නිසා පින් රැස්කරන මිනිස් ජීවිතය අපට ලැබිල තියෙනවා. බුද්ධ ශාසනය පවතින කාලයකුත් ලැබිල තියෙනවා. උතුම් ධර්මයත් ලැබිල තියෙනවා. අපි සැප ලබාදෙන පින් හැකිතාක් රැස් කරගනිමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here