044. මකස ජාතකය

0
14


මැස්සන් හා යුද්ධ කළ මෝඩයින්ගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, අධික මෝඩකම ජීවිතයකට කොහෙත්ම තිබිය යුතු නෑ. ඒ බලවත් මෝඩකම නිසා තමාත් නොයෙක් කරදරවලට ලක්වෙනවා. තමන් ඇසුරු කරන අයත් අමරුවේ වැටෙනවා. මකස ජාතකය  එබඳු කථාවක්.

ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයේ චාරිකාවේ වඩිමින් සිටියේ. සැවැත් නුවර සිට මගධයට වඩින අතරේ එක්තරා පිටිසර ගමකට පැමිණුනා. ඒ ගමේ වැඩිපුර ඉන්නේ මහා මෝඩ මිනිස්සු. දවසක් මේ අන්ධබාල මිනිස්සු රැස්වෙලා මෙහෙම කතා වුනා.

“හප්පේ… අපට මේ මැස්සන්ගෙන් හරී…ම කරදර. අපට කැලේකට ගොහින් කිසිම වැඩක් කරගන්ට නෑ. මැස්සන් ඇවිත් විදිනවා. උන්ට අපේ ලේ බොන්ටමයි ඕනෑ… මේ කරදරකාරී මැස්සෝ නිසා අපේ වැදගත් කටයුතු අඩාල වෙනවා.”

“ඒක හරි… අපට දැන් හැමදාම මැස්සන්ට යටත් වෙලා ඉන්ටයි වෙලා තියෙන්නේ. අපි කඩු, දුනු, ඊතල ආදිය අරගෙන ගොහින් එක්වරම මැස්සන් සමඟ යුද්දෙකට බහිමු… දුටු දුටු තැන මැස්සන්ට විදිමු. පහර දෙමු. එතකොට වැඬේ දවසින් කම්මුතුයි….”

ඉතින් මේ මෝඩ මිනිස්සු දුනු, ඊතල අරගෙන වනාන්තරයට ගියා. මැස්සන් දුටු දුටු තැන විද්දා. පහර දුන්නා. ඒ හේතුවෙන් ඔවුන්ගේ අතපය තුවාල වුනා. ඔවුන්ටම ඊතල වැදුනා. කඩුපහර වැදුනා. මහත් වේදනාවෙන් ඇවිත් ඇතුළුගමේත්, ගම මැදත්, ගම් දොරකඩත් වැටුනා.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඒ ගමට පිණ්ඩපාතේ වැඩියා. ඒ ගමේ සිටිය නුවණැති මිනිස්සු භාග්‍යවතුන් වහන්සේව දැකලා මණ්ඩපයක් තැනෙව්වා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව හුන්නා. තුවාල වෙලා තැන් තැන්වල වැටී ඉන්න මිනිසුන් දැකලා භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.

“උපාසකවරුනි…. මේ මිනිස්සු ගිලන්වෙලා මොකද? මක්කරන්ට ගිහින්ද මෙහෙම වුනේ…?”

“අනේ ස්වාමීනි… මේ මිනිස්සු මැස්සොත් එක්ක යුද්දෙකට වනාන්තරයට ගියා නොවැ. ගිහින් මැස්සන් කෙසේ වෙතත් තම තමන්ට විදගෙන, තම තමන්ට කපා කොටාගෙන තමයි ඔය මැසි යුද්දෙන් බැටකාලා ඇවිත් වැටිලා ඉන්නේ.”

“උපාසකවරුනි…. දැන් විතරක් නොවෙයි. ඉස්සරත් මිනිස්සු මැස්සන් සමඟ යුද්ධ කරන්ට ගොහින් තමන්ටම පහර දී ගත්තා. මැස්සන්ට ගහනවා කිය කියා අනුන්ට ගහපු මිනිස්සු ඉස්සරත් හිටියා.

එතකොට ඒ මිනිස්සු මැස්සන්ට දඬුවම් කරන්ට ගිය මිනිසුන්ගේ කථාව කියා දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“උපාසකවරුනි… බොහෝම ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලයේ බෝධිසත්වයෝත් බරණැස ඉපදිලා වෙළඳාමෙන් ජීවත් වුනේ. ඒ දවස්වල කසී රටේ ඈත පිටිසර ගමක බොහෝ ලී වඩුවෝ සිටියා. ඔවුන් අතර සිටි එක් වයසක වඩුවෙක් ගසක් සහිනවා. එතකොට එක මැස්සෙක් ඇවිත් ඒ වඩුවාගේ කෙස් නැති තඹ තහඩුවක් බඳුව පෙනෙන හිස් මුදුනට සැතකින් පහර දෙනවා වගේ මුව තුඩින් විද්දා. වඩුවා ළඟ උන්නු තමන්ගේ පුත්‍රයාට කතා කළා.

“අනේ පුතේ… මෙහෙ වරෙන්… බලාපන් මගේ හිසේ මැස්සෙක් වහලා…. සැතකින් පහර දෙනවා වගේ විදින්නේ… ඒකාව වළක්වාපන් පුතේ…”

“හරි තාත්තේ…. පොඞ්ඩක් ඉවසන්න. මං එකපාරින් ඒකාව මරන්නම්…” කිව්වා. ඒ වෙලාවේ බෝධිසත්වයෝ තමන්ට ලී වගයක් සොයන්ට ඒ ගමට ගිහින් ඒ ශාලාවේ වාඩිවෙලා සිටියේ.
“කෝ පුතේ… මැස්සාව තාම අයින් කළේ නෑනේ…”

“හරි තාත්තේ…. මං දැන් එනවා….” කියලා තියුණු පොරොවක් උස්සාගෙන ආවා. මැස්සාට වැරෙන් ගහන්ට ඕනෑ කියලා තමන් පියාගේ හිස මතට පොරොවෙන් ගැහැව්වා. හිස දෙපලු වෙලා ගියා. මේ මහා මෝඩ වැඬේ දුටු බෝධිසත්වයෝ මේ ගාථාව පැවසුවා.

“සතුරා වුනත් නැණවතා උතුම්
මෝඩ මිතුරා නම් වැඩක් නැතේ
මැස්සෙකු මරනා මෝඩ පුතෙක්
සිය පියාගේ හිස දෙපලු කළේ”

උපාසකවරුනි, ඉස්සරත් මෝඩ මිනිස්සු මැස්සන් සමඟ දබරෙට ගිහින් තමන්ටයි හානි කරගත්තේ. ඒ කාලේ නුවණැති වෙළෙන්දාව සිටියේ මමයි” කියලා භාග්‍යවතුන් වහන්සේ මකස ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

        මුල් පිටුවට

The post 044. මකස ජාතකය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here