043. වේළුක ජාතකය(veluka jaatakaya)

0
3


වේළුක නැමැති විෂඝෝර සර්පයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, අකීකරුකම කියන්නේ කෙනෙකුගේ ජීවිතයක ඇති ඉතාම අවාසනාවන්ත දෙයක්. මොනතරම් යහපත් අවවාදයක් කළත් ඒ තැනැත්තා එයට ඇහුම්කම් දෙන්නේ නෑ. තමන් හිතන දේ විතරක්ම කරනවා. එබඳු අකීකරු කෙනෙකු ගැනයි මේ  වේළුක ජාතකය නම් කථාවෙන් කියවෙන්නේ.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. ජේතවනයේම එක්තරා භික්ෂුවක් හිටියා. ඉතාමත් අකීකරුයි. ඔහුට හිතෙන දේ ම යි කරන්නේ. කිසිම වැඩිහිටි භික්ෂුවකගේ යහපත් අවවාදයකට සවන් දෙන්නේ නෑ. භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගිහින් මොහුගේ අකීකරුකම ගැන සැළකළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ ගැන විමසා වදාළා.

“හැබෑද භික්ෂුව? ඔබ කිසිම අවවාදයක් ගණන් ගන්නේ නැද්ද?”

“එහෙමයි ස්වාමීනී”

“ඔබ භික්ෂුව, පෙර ආත්මයේත් ඔය දුර්වලකමෙන් යුක්තව සිටියා. ඒ නිසා නුවණැත්තන්ගේ වචනයට ඇහුම්කම් නොදීම හේතුවෙන් භයානක සර්පයෙකුගේ දෂ්ට කිරීමකින් මැරෙන්ට සිද්ධ වුනා.”

එතකොට භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුවගේ අතීත ජීවිතය ගැන කථාව කියාදෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. මහා බෝධිසත්වයෝ කසී රටේම මහා ධනවත් පවුලක උපන්නා. වියපත් වුනාට පස්සේ කාමයන්ගේ දොස් පෙනෙන්ට පටන් ගත්තා. මේ නිසා ගිහි ගෙදර අත්හැරියා. හිමාලයට ගිහින් ඍෂිවරයෙක් වුනා. ධ්‍යාන අභිඥා උපදවා ගත්තා. කලක් ගතවෙද්දි මේ බෝසත් ඍෂිවරයා ළඟ පන්සියයක් පමණ තවුස් පිරිසක් ඇතිවුනා.

දවසක් එක්තරා විෂඝෝර සර්පයෙක් බඩගාගෙන යද්දී එක් තාපසයෙකුගේ කුටියට ආවා. තාපසයා සිතුවේ මේ ආවේ තමන්ගේ සංසාරගත පුත්‍රයෙක් කියලයි. ඌව උණපුරුකක දමා ගත්තා. ඌව ඇතිදැඩි කළා. ඒ සර්පයාත් උණපුරුකේම නිදන්ට පුරුදු වුනා. ඒ නිසා අනිත් තවුසන් ඒ සර්පයාට ‘වේළුක’ කියා නමක් දැම්මා. පුත්‍ර ස්නේහයෙන් මේ සතාව ඇති කරන නිසා ‘වේළුක පියා’ කියලා තාපසයාට නම වැටුනා. එතකොට බෝසත් තාපසයාට එක් තවුසෙක් භයානක සර්පයෙකු උණ පුරුකක දමාගෙන ඇතිකරනවා කියා දැනගන්ට ලැබුනා. ඔහුව කැඳවා ඒ ගැන විමසුවා.

“හැබෑද තාපසය…? ඔබ භයානක සර්පයෙකු උණ පුරුකක දමාගෙන ඇති කරනවා කියන්නේ…?”

“එසේය ආචාර්යපාදයෙනි…”

“තාපසය… ඔය සර්පයන්ව කවදාවත් විශ්වාසෙට ගන්ට එපා! මහා විපතක් වෙන්ට පුළුවනි. එනිසා වහාම ඒ සතාට කැලේට යන්ට අරින්ට…”

“අනේ… ආචාර්යතුමනි… මට ඒක කොහෙත්ම කරන්ට අමාරුයි. ඒ මගේ පුත්‍රයෙක්… එයා නැතිව මං කොහොම ඉන්ටද…?”

“තාපසය… ඔය සර්පයා නිසා ඔබට නිකරුණේ මැරෙන්ට සිද්ධ වෙයි. නුවණින් කල්පනා කර කටයුතු කරන්ට…” කියලා අවවාද කළා. නමුත් ඒ තවුසා තම ගුරුදේව තවුසාගේ අවවාදය ගණන් ගත්තේ නෑ. සර්පයාව දිගටම පෝෂණය කළා.

කීප දිනකට පස්සේ සියළු තාපසවරු පලා ගෙඩි ආදිය නෙළන්ට ඈත ප්‍රදේශයට පිටත් වුනා. වේළුක පියාත් තම සර්පයාව උණපුරුකේ නිදි කරවා පැත්තකින් තැන්පත් කර අර තාපසයින් සමඟ පිටත් වුනා. ඒ ප්‍රදේශයේ බොහෝ පලා ඵල තිබූ නිසා එහි දවස් දෙක තුනක් නැවතුනා. වේළුක පියාත් වේළුකයාට කෑම ටිකක් දෙන්ට ඕනෑ කියලා “එන්ට මාගේ පුත්‍රය… දැන් දවස් දෙක තුනකින් කෑමක් දෙන්ට බැරි වුනා නොවැ… කෝ එන්ට….” කියලා උණ පුරුකට අත දැම්මා. නිරාහාරව කෝපයෙන් සිටිය සර්පයා ඒ තාපසයාට දෂ්ට කළා. උණ පුරුකෙන් බැහැලා කැලේට ගියා. තවුසා එතැනම මළා. බෝසත් තවුසා ඔහුගේ අවසන් කටයුතු කරවා තවුස් සමූහයා රැස් කොට මේ ගාථාව කිව්වා.

“යමෙක් යහපත පතා කෙනෙකුට
කරයි නම් අවවාද දයාවෙන්
නමුත් එය ඔහු නොම අසයි නම්
වේළුකයාගේ පියා ලෙසින්
ඔහු එයින් වැනසෙන්නේ”

කියලා අනිත් තවුසන්ට සිහිය ඉපැද්දෙව්වා. බෝසත් තවුසා මරණින් මතු බඹලොව උපන්නා.

භික්ෂුව, දැනුත් ඔබ ඒ පැරණි අකීකරුකම පවත්වනවා. පෙර ආත්මයේත් සර්පයෙකුගේ ප්‍රහාරයෙන් මියයන්ට වුනෙත් අකීකරුකම නිසයි. දැන්වත් ඒ දුර්වලකමෙන් නිදහස්වෙන්ට කියා අවවාද කළා. මහණෙනි, එතන සිටිය තාපස පිරිස බුදු පිරිසයි. වේළුක පියා වෙලා හිටියේ මේ අකීකරු භික්ෂුවයි. ආචාර්ය ඉසිවරයා මමයි” කියා වේළුක ජාතකය  වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

    තවත් මෙවැනි ලස්සන ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

The post 043. වේළුක ජාතකය(veluka jaatakaya) appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here