040. දානය-ඛදිරංගාර ජාතකය

0
5


මාරයා මැවූ කිහිරි ගිණිඅඟුරු ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින් කරන්ට යන කෙනෙකුට වුනත්,දානය දෙන්න යන කෙනෙකුට වුණත්, පින්කමකට වුනත් බොහෝ බාධා, කරදර, හිරිහැර, නින්දා, අපහාස විඳින්ට වන අවස්ථා අපට දකින්ට ලැබෙනවා. මේ ස්වභාවය අද විතරක් නොවේ. ඉස්සරත් තිබුනා. ඛදිරංගාර ජාතකය එබඳු කතාවක්.

ඒ කාලේ අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනයේ. අනේපිඬු සිටුතුමා ජේතවන විහාරය සකස් කරන්ට රන් කහවණු පනස්හතර කෝටියක් වියදම් කළා. දවසට තුන්වරක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස ගියා. අසරණයන් ගේ යහපත වෙනුවෙන් බොහෝ වියපැහැදම් කළා. අනේපිඬු සිටුතුමාගේ මාළිගයේ දිනපතා භික්ෂූන් වහන්සේලා පන්සිය නමකට දානෙ පූජා කෙරෙනවා. ඔහුගේ මාළිගය මහල් සතකින් යුක්තයි. මේ මහා ප්‍රාසාදයේ සතරවන මහලේ එක්තරා දෙව්දුවකගේ විමානයක් තිබුනා. ඒ දේවතාවී මිථ්‍යාදෘෂ්ටිකයි. ඇයට නිතර නිතර සිත්තැවුල් ඇතිවෙන දෙයක් ඒ මාළිගයේ සිදුවුනා.

නිතරම පාහේ භාග්‍යවතුන් වහන්සේ ඒ මාළිගයට වඩිනවා. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවා. වෙනත් මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා වඩිනවා. ඒ හැම අවස්ථාවේදීම ඒ දෙව්දුවට ඒ විමානෙන් බිමට බහින්ට සිද්ධ වෙනවා. ඈ ඇගේ පිරිවරත් සමග නිතර නිතර විමානෙන් බිමට බහින නිසා භාග්‍යවතුන් වහන්සේ ගැනත් ශ්‍රාවක සංඝයා ගැනත් මහත් අමනාපයකින් වාසය කළා. ඈ මෙහෙම කල්පනා කළා.

“මේ නිවසට ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් තමන්ගේ ශ්‍රාවකයොත් පිවිසෙන තාක් මට සැපයක් නම් නෑ. මට හැමදාම මුන්දැලා එන එන වෙලාවට බිමට බහින්ට බෑ. මුන්දැලා මේ නිවසට වැද්ද නොදෙන්ට මොකක් හරි කරන්ට ඕනෑ.

ඉතින් ඈ දවසක් සිටුතුමාගේ ඉදිකිරීම් කටයුතු කරන ප්‍රධානියා නිදාගෙන සිටිද්දී මහත් ආලෝකයක් මවාගෙන පෙනී සිටියා. එතකොට ඔහු වහා අවදිවුනා. “කව්ද මේ දෙව්දූ?”

“මං මේ මාළිගාවේ සිව්වැනි මහලේ දිව්‍ය විමානයේ ඉන්න දෙව්දුව”

“ඔබතුමී ඇයි දැන් මේ පෙනී සිටියේ?”

“තොප ගේ සිටුවරයා ගේ කල්කිරියාව පෙනෙන්නේ නැද්ද? ශ්‍රමණ ගෞතමයන්ගේ පාමුල හැම සතේ ම පූජා කෙරෙනවා. අවසාන කාලේ තමන්ට යන කලදසාව ගැන ටිකක් සිතන්ට බැරිද? දැන් කිසි වෙළඳාමක් නෑ. ව්‍යාපාරයක් නෑ. කර්මාන්තයක් නෑ. තොපවත් සිටුතුමාට මේ ගැන කියන්ට. දැන් වත් ශ්‍රාවකයන් සහිත ශ්‍රමණ ගෞතමයන්ට මේ සිටුමැදුරට එන එක වළක්වන්ට කියලා”

“එම්බා මෝඩ දේවතාවී…. සිටුතුමා ධනය වියදම් කලේ නෛර්යාණික බුදු සසුනට යි. ඉදින් ඔහු පුළුවන් නම් මගේ පසුම්බියත් ශාසනේට වියදම් කරාවි…. වහාම යන්න මෙතැනින්…” කියලා දෙව්දුව එළවා ගත්තා. ඈ තව දවසක සිටුතුමාගේ ලොකු පුතා ඉදිරියේ පෙනී සිට ඔය විදිහට කියාගෙන ගියා. ඒ වතාවෙත් ඈව එළවා ගත්තා. ඊටපස්සේ ඈ සිටුතුමාට ම කෙලින් කථා කරන්ට අවස්ථාවක් එනකල් බලාපොරොත්තුව සිටියා.

සිටුතුමා තමන්ගේ ව්‍යාපාර කටයුතු ගැන වැඩි අවධානයක් නොකළ නිසා ටිකෙන් ටික ආදායම් අඩුවෙලා ගියා. දහඅට කෝටියක් ණය ගත්තු ණයකාරයෝ ණය නොදී හැරියා. අචිරවතී ගංතෙර නිධන්ගත කළ දහඅට කෝටියක වස්තුව ගංවතුරට ගසාගෙන ගියා. නමුත් සිටුතුමා දානෙ දීම නැවැත්තුවේ නෑ. අන්තිමේදී ඇඹුල් කැඳයි බතුයි තමයි දානෙට දෙන්ට සිදුවුනේ. නමුත් සිටුතුමා කිසි කම්පාවක් නැතිව සතුටින් යුක්තව පින්දහම් කරගෙන ගියා.

දැන් දෙව්දුව මෙහෙම සිතුවා. “සිටුතුමා ඉසුරුමත් කාලේ මගේ වචනය අසන එකක් නෑ. දැන් දිළිඳුයි නොවැ. දැන් මගේ වචනය පිළිගනීවි” කියලා මධ්‍යම රාත්‍රියේ සිටුතුමාගේ යහන් ගැබ ඒකාලෝක කරගෙන පෙනී හිටියා. සිටුතුමා අවදි වුනා. “කවුද මේ දේවතාවී?”

“මහා සිටුවරය…. මං තොපගේ මාළිගයේ සිව්වැනි මහලේ ඇති දෙව් විමනේ ඉන්නා දෙවඟනයි”

“ඇයි මෙතුමිය දැන් පෙනී සිටියේ?”

“තොපට අවවාදයක් කරන්ට කැමතියි”

“හොඳයි…. කියන්ට”

“මහා සිටුවරය… ඔබට මෙහෙම වේවි කියලා සිතුවේ නෑ නේද? මා නම් බොහෝම කල් දැනගෙන සිටියා. අවසාන කාලයේ ඔබ තවත් අසරණ වෙනවා. ඔබ සියලු කටයුතු අත්හැර ශ්‍රමණ ගෞතමයන් පස්සේම ගියා. මොකක්ද ඔබට වුනේ? ඔබ දිළින්දෙක් වුනා. එච්චරයි! දැන්වත් ශ්‍රාවකයන් සහිත ශ්‍රමණ ගෞතමයන්ව මේ නිවසට පැමිණීම වළක්වන්ට”

“එතකොට මෙතුමිය මට දෙන අවවාදය ඕක ද?” “එසේය සිටුවරය” “එම්බල දුස්සීල කෙල්ල, තී පමණක් නොවේ. තී වැනි ලක්ෂයක් ඇවිත් කීවත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ ඇති ප්‍රසාදය නැති කරන්ට පුළුවන් කියලද හිතන්නේ? අරේ… දාසී…. අද පටන් තොපට මාගේ නිවසේ විමානයක් නැත. වහාම මෙතැනින් නික්ම යනු”

සෝවාන් ඵලයට පත් ආර්ය ශ්‍රාවකයෙකු වූ අනේපිඬු සිටුතුමාගේ වචනය අසා ඇය කිසිවක් කර කියා ගත නොහැකිව තම පිරිවරත් සමග මාළිගයෙන් නික්මුනා. ඇයට සැවැත් නුවර කොහේවත් විමානයක් ලැබුනේ නෑ. ඈ නැවත සිටුතුමාගෙන් සමාව ගන්ට ඕනෑ කියලා නගරාරක්ෂක දිව්‍යපුත්‍රයා මුණගැසී කියා හිටියා. නගරාරක්ෂක දෙවියන්ට එය කළ නොහැකි බවත් සතරවරම් දෙව්මහරජවරු මුණ ගැසෙන ලෙසත් කියා සිටියා. ඉතින් ඈ සතරවරම් දෙව්මහරජවරුන් මුණ ගැසුනා. එතැනින් ඵලක් වුනෙත් නෑ. සක්දෙවිඳු මුණ ගැසෙන ලෙස කියා සිටියා. ඈ ඉතාමත් වෙහෙස ගෙන සක් දෙවිඳුන් මුණ ගැසුනා. සක්දෙවිඳු ඈට බොහෝ අවවාද කළා. එයට දඬුවම් පිණිස සිටුතුමාගේ සියලු ණය ආපසු ලබාදෙන්ට කටයුතු කරන ලෙසත් ගංවතුරෙන් මුහුදට ගසාගෙන ගිය වස්තුව රැගෙන එන ලෙසත් අවවාද කළා. ඈ ඒ සියලු දේ ම කොට අනේපිඬු සිටුතුමාගෙන් සමාව ගත්තා.

දවසක් අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදැක මේ සියලු ප්‍රවෘත්තිය කියා සිටියා. “ස්වාමීනී…. ඒ දෙව්දුව සිතා සිටියේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා තුළ ඇති ප්‍රසාදය නැති කරන්ට පුළුවන් කියලා. අන්තිමේදී ඈ මයි අමාරුවේ වැටුනේ”

“ගෘහපතිය, ඔබ සෝවාන් වූ අචල ශ්‍රද්ධාවට පැමිණි ශ්‍රාවකයෙක්. ඒ නිසා ඔබේ ශ්‍රද්ධාවට හානි නොවීම ආශ්චර්යයක් නොවෙයි. නමුත් ඉස්සර කාලේ නුවණැති අය පවා නොමේරූ ඤාණයකින් යුක්තව දානයකට සූදානම් වූ අවස්ථාවේ මාරයා අහසේ පෙනී සිටියා. “තෝ දානෙ දුන්නොත් බලාගෙනයි. මේ අසූ රියනක් ගැඹුරු මහා දරුණු ගිනි අඟුරු නිරයේ දමනවා” කියලා ඔහුට තර්ජනය කළා. නමුත් ඔහු ඒ සියලු අභියෝග මැද පියුම් කෙමියක් මැද සිට දානෙ දුන්නා. ඒක නොවැ ආශ්චර්යය”

එතකොට අනේපිඬු සිටුතුමා ඒ යටගිය අතීතයට අයත් ඒ අසිරිමත් සිදුවීම කියාදෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“ගෘහපතිය, ගොඩාක් ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ මහ බෝධිසත්වයෝ බරණැස සිටුපවුලේ පුත්‍රයෙක් වෙලා උපන්නා. ඉතාම සුවසේ වැඩුනා. සිය පියාගේ ඇවෑමෙන් සිටු තනතුරු ලැබුනා. බෝසත් සිටුවරයා නගරයෝ දොරටු සතරේ දන්සැල් සතරක් කෙරෙව්වා. නගර මධ්‍යයෙහි එක දන්සැලක් කෙරෙව්වා. තමන්ගේ සිටුමැදුර ඉදිරියේ තව දන්සැලක් කෙරෙව්වා. මේ විදිහට දන්සැල් හයක් කරවා මහා දන් දෙන්ට පටන් ගත්තා. සිල් ආරක්ෂා කළා.

දවසක් උදෑසන ආහාර වේලාවේ බෝධිසත්වයන්ට නා නා රසයෙන් යුක්ත මධුර රසැති බොජුනක් රැගෙන ආවා. ඒ අවස්ථාවේ සත් දවසක් නිරෝධ සමාපත්තියෙන් සිටි එක්තරා පසේ බුදුවරයන් වහන්සේ නමක් බරණැස් සිටුතුමාගේ සිටු මාළිගය ඉදිරියට වැඩම කළා. බෝධිසත්වයෝ උන්වහන්සේව දැකලා ආසනයෙන් නැගිට ආදර ගෞරව දක්වා දාසයා දෙස බැලුවා. ‘ස්වාමී… මොකක්ද කරන්ට ඕනෑ?’ “අපේ ආර්යයන් වහන්සේගේ පාත්‍රය අරගෙන එන්ට” එකෙණෙහි ම පවිටු මාරයා මෙහෙම කල්පනා කළා. “අයියෝ…. මේ පසේබුදුවරයාට සත් දවසකට පස්සේ ආහාරයක් ලැබෙන්ටයි යන්නේ. නොලැබුනොත් මොහු නැසී යනවා. ඒ නිසා මොහු විනාස කරන්ට ම යි ඕනෑ. මේ සිටුවරයා දානෙ දීම වළක්වන්ට ඕනෑ” කියලා පසේබුදුනුත් සිටුමැදුරත් අතර අසූ රියනක් ගැඹුරැති මහා බිහිසුණු අඟුරු වලක් මැව්වා. අවීචි මහා නිරය වගේ උඩට ගිනි දැල් විහිදෙමින් තද රතු පාට කිහිර අඟුරු පෙනෙන්ට වුනා. පාත්‍රය පූජා කරන්ට ගිය පුරුෂයා එය දැක මහත් භයකට පත්වුනා. හැරිලා දුවගෙන ආවා.

“ඇයි දරුව මොකෝ නැවතුනේ?” “අනේ ස්වාමී… මේ බලන්ට… මහා භයානක ගිනි අඟුරු වලක් මැවිලා. එතැනට එන එන හැමෝම භය වෙලා පලා ගියා. එතකොට බෝධිසත්වයෝ මෙහෙම හිතුවා. “එකත්එකට ම මේක නම් මාරයාගේ වැඩක් වෙන්ට ඕනෑ. මාගේ දානය වළක්වන්ටයි මේක කරන්ට ඇත්තේ. මාරයන් සියයක් ආවත් දහසක් ආවත් මාව කම්පා කරවන්ට බැරිබව දන්නෙ නැතිව ඇති. මාරයාගේ ආනුභාවය ද මගේ ආනුභාවය ද මහත් කියලා අද බලාගම්මු” දානෙ පුරවාගත් පාත්‍රය තමන්ම අතට ගත්තා. ගෙයින් එළියට ඇවිත් ගිනි අඟුරු ඉවුරට ආවා. අහස බැලුවා. අහසේ කවුදෝ ඉන්නවා දැක්කා. ‘කව්ද ඔබ?’ ‘හහ් හා…. මමයි මාරයා. තොපගේ දානය වළක්වන්ටයි, පසේබුදුන් ගේ ජීවිතය නසන්ටයි මං ආවේ’

“මාරය… තොපට මගේ දානය වළක්වන්ට දෙන්නේ නෑ. පසේ බුදුන් ගේ ජීවිතයට අනතුරක් කරන්ට දෙන්නෙත් නෑ” කියලා ගිනි අඟුරු ඉවුරේ සිට මෙහෙම කිව්වා. “ස්වාමීනී, උතුම් පසේබුදුවරයන් වහන්ස, මං මේ ගිනි අඟුරු වලට උඩුකුරුව වැටුනත් කමක් නෑ. මං මේ පූජා කරන දානය පිළිගන්නා සේක්වා!” කියලා මේ ගාථාව පැවසුවා.

“ඒකාන්තයෙන් මේ ගිනි අඟුරු නිරයට
වැටුනත් මා උඩුකුරු අතට
දානය නොලැබෙන්ට ඉඩ නොතියමි
පිළිගනු මැන මගේ දානය”

කියලා බෝධිසත්වයෝ දැඩි අධිෂ්ඨානයකින් යුක්තව දානෙ පාත්‍රය අතට ගෙන ගිනි අඟුරු වල මතට පැන්නා. එසැණින් අසූරියන් ගැඹුරු ඒ නිරා වලෙන් මහා පියුමක් උඩට මතුවෙලා බෝධිසත්වයන්ගේ දෙපා පිළිගත්තා. ඒ මහා පියුමින් මල් රේණු මතුවෙලා බෝසතුන්ගේ සිරුරු ප්‍රමාණයට උඩට ඇවිත් මුදුන් රැකවල් දුන්නා. ඒ පියුම් කෙමිය මත සිට පසේබුදුන් අතට පාත්‍රය පූජා කළා. පසේබුදුවරයන් වහන්සේ පාත්‍රය අහසට දමා මහජනයා බලා සිටියදීම වළාගැබ මැදින් හිමව් පියසට වැඩියා. මාරයා දොම්නසට පත්ව නොපෙනී ගියා.

ගෘහපතිය, එදා මාර බලය මැඩගෙන පියුම් කෙමිය මත සිට ගෙන පසේ බුදුවරයන් වහන්සේට පිණ්ඩපාත දානය දුන් බරණැස් සිටුවරයා වෙලා සිටියේ මම යි” කියා මේ ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

තවත් මෙවැනි ලස්සන ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

The post 040. දානය-ඛදිරංගාර ජාතකය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here