039. නන්ද ජාතකය

0
5


නන්ද දාසයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරුන්ගේ ගතිගුණ හරි පුදුමයි. වැඩිහිටියන් අතරේ, ගුරුන් අතරේ, පිරිසක් අතරේ ඉන්නා විට බොහෝම හොඳට තැන්පත්ව ඉන්නවා. පොඩි වගකීමක් සමග තනිවෙන්ට ලැබුනොත් වෙනස් වෙනවා. ගමනකට පිටත් කළොත් වෙනස් වෙනවා. නන්ද ජාතක කතාවෙන් කියවෙන්නේ එබඳු දෙයක්.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටියේ. ඒ කාලෙම එක්තරා තරුණයෙක් අපගේ සාරිපුත්තයන් වහන්සේ ළඟ පැවිදි වුනා. මේ භික්ෂුව ඉතාමත් ම කීකරුයි. කියන දේ අහනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට බොහෝ වෙහෙස මහන්සියෙන් උපස්ථාන කරනවා. උන්වහන්සේ ගේ කටයුතු වලට උදව් වෙනවා. ඉතින් සාරිපුත්තයන් වහන්සේත් මේ ශිෂ්‍ය භික්ෂුව ගැන පැහැදීමෙන් සිටියා.

එක් අවස්ථාවක අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගෙන් අවසර ගෙන දක්ඛිණාගිරි ජනපදයේ චාරිකාවේ වැඩියා. ඒ ගමනට අර භික්ෂුවත් එකතු වුනා. ඒ ගමන ගිය දවසේ පටන් ඒ භික්ෂුව වෙනස් වුනා. මහා උඩඟුකමින් සිතට අරගෙන සිටියා. සාරිපුත්තයන් වහන්සේගේ එක වචනයකටවත් අවනත නෑ. ‘ඇවැත්නි… මේක කරන්ට’ කීවොත් කරන්නේ ඊට විරුද්ධ දෙයක්. මේ මොන ස්වභාවයක් ද කියලා සාරිපුත්තයන් වහන්සේට ඒ භික්ෂුව ගේ චිත්ත ස්වභාවය වැටහුනේ නෑ. කෙසේ නමුත් චාරිකාව අවසන් වෙලා ජේතවනයට වැඩියා.

ඒ භික්ෂුව ජේතවනයට ආ ගමන් ආයෙමත් හරීම කීකරුයි. නිහතමානියි. තැන්පත්. සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මාගේ එක් ශිෂ්‍ය නමක් ඉන්නවා. ජේතවනයේ සිටිද්දී කුලියට ගත් දාසයෙක් වගේ ඉතාමත් ම කීකරුයි. නමුත් තවත් තැනකට ගිය විට මහා උඩඟුකමින්, දැඩි මාන්නයකින් යුක්තයි. කියන දේට විරුද්ධ දේමයි කරන්නේ”

“සාරිපුත්ත, ඔය භික්ෂුව දැන් පමණක් නොවෙයි. පෙර ආත්මෙත් ඔහොම තමයි. එක තැනක ඉන්නකොට මිළට ගත් දාසයෙක් වගෙයි. තවත් තැනකට ගිය විට ඊට හාත්පසින් ම වෙනස්. විරුද්ධකාරයෙක් වගෙයි” කියලා මේ ජාතකය වදාළා.

“සාරිපුත්ත, ඉස්සර කාලෙ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ එක්තරා පවුලක උපන්නා. බෝධිසත්වයන්ට එක්තරා යහළුවෙක් සිටියා. ඔහු මහළුයි. නමුත් ඔහුගේ බිරිඳ තරුණයි. මේ දෙන්නාට එකම පුත්‍රයෙක් සිටියා. දවසක් ඒ යහළුවා මෙහෙම සිතුවා.

මගේ බිරිඳ තවම තරුණයි. මං මැරිල ගිය කාලෙක වෙනත් විවාහයක් වුනත් කරගන්ට බැරි නෑ. එහෙම වුනොත් මගේ ධනය විනාශ වේවි. මගේ පුත්‍රයාට ලැබෙන එකක් නෑ. ඒ නිසා මං මේ ධනය නිධන්ගත කරන්ට ඕනෑ” කියලා තමන්ගේ නන්ද කියන දාසයාට කතා කළා. ඔහුත් සමග වනාන්තරේට ගියා. තමන්ගේ ධනය කිසියම් රහස් තැනක නිධන්ගත කළා. නන්ද දාසයා ගේ හිස අතගා ආදරයෙන් කතා කළා.

“දරුව නන්ද… මං මේ ධනය නිධන් කළේ මගේ පුත්‍රයා වෙනුවෙන්. මං නැතිවෙච්ච කාලෙක මාගේ පුත්‍රයාට මේ තැන ගැන කියන්ට ඕනෑ. මේ යුතුකම නම් අත්හරින්ට එපා” කියලා සපථ කරවා ගත්තා.

ටික කලකින් ඔහු මිය ගියා. ඔහු ගේ පුත්‍රයාත් ක්‍රමයෙන් තරුණයෙක් වුනා. දවසක් ඔහු ගේ මව පුත්‍රයාට මෙහෙම කිව්වා. “පුතේ… ඔයාගේ තාත්තා අපේ නන්ද දාසයා කැඳවාගෙන ගොහින් වනාන්තරේ ධනයක් නිධන් කළා. දැන් ඒක අරන් ඇවිත් දියුණුවට කටයුතු කරන්ට කාලෙ හරි”

එතකොට ඔහු දවසක් නන්ද දාසයාට මෙහෙම කිව්වා. “මාමේ… අපේ තාත්තා මා වෙනුවෙන් තැන්පත් කරපු ධනයක් තියෙනවා නේද?”

“එහෙමයි ස්වාමී…” “කොහේද ඒ ධනය නිධන් කරලා තියෙන්නේ?”

“වනාන්තරේ ස්වාමී” “එහෙමනම් අපි උදලු පැසි අරගෙන එතැනට යමු” කියලා වනාන්තරේ මැදින් එක්තරා තැනකට ගියා. “මාමේ… කොහිද ඒ වස්තුව තියෙන්නේ?” එතකොට නන්ද දාසයා ඒ ධනය තැන්පත් කළ තැන සිටගත්තා. මෙහෙම කියන්ට පටන් ගත්තා.

“ඈ…. නිදකින් දාස කොල්ලෝ…. තොගේ වස්තුවක් කොහේද මෙතැන තියෙන්නේ….? අඩා…. තෝ දැන ගන්…. තෝ නිකම්ම නිකමෙක්…” කියලා අර කුමාරයාට අපහාස කරන්ට පටන් ගත්තා. එතකොට කුමාරයා කලබල වුනේ නෑ. ඇසුනේ නෑ වගේ “එහෙනම් අපි යමු” කියලා ගෙදර ගියා. ගෙදර ගිය විට දාසයා ආයෙමත් හරිම කීකරුයි. දවස් දෙක තුනක් ම එතැනට ගියා. ගිය හැම වතාවෙම නන්ද දාසයා වෙනස් වෙනවා. හොඳටම අපහාස කරන්ට පටන් ගන්නවා. කුමාරයාට මේ මොකක්ද වෙන්නේ කියලා සිතාගන්ට බෑ. අන්තිමේදී කුමාරයා මෙහෙම සිතුවා. “අපේ තාත්තාගේ මිත්‍රයෙක් ඉන්නවා. ඔහුටවත් ගිහින් මේක කියන්ට ඕනෑ” කියලා බෝධිසත්වයන් මුණ ගැහෙන්ට ගියා. ගිහින් සිදු වූ හැම දෙයක් ම කියා හිටියා. “අනේ පියාණෙනි…. ඇයි මෙහෙම වුනේ?”

“පුත්‍රය… ඔය නන්ද දාසයා යම් තැනක සිටගෙන ඔබට අපහාස කරනවාද, නිච්චියට ම එතැන තමයි වස්තුව තියෙන්නේ” කියලා මේ ගාථාව පැවසුවා.

“මුතු මැණික් ද රන්මාලා බොහො වස්තුව එතැන ඇතේ
ඒ මත සිටගත් නන්දට තමා කවුද මතක නැතේ
එනිසායි ඔහු එතැනදි තම ගර්ජනාව පතුරන්නේ”

ඉතින් කුමාරයා බෝධිසත්වයන්ට වන්දනා කරලා ගෙදර ගියා. ආයෙමත් නන්ද දාසයාත් එක්ක වනාන්තරේට ගියා. වෙනදා වගේ එතැන සිටගෙන අපහාස කරන්ට පටන් ගත්තා. එදා කුමාරයා නිශ්ශබ්දව සිටියේ නෑ. “ඈ…. එම්බල දාසය… තෝ කව්ද මට අපහාස කරන්ට. තෝ තොගේ හැටි දැනගං” කියලා අහකට ඇදලා දැම්මා. උදැල්ලෙන් හාරලා ඒ වස්තුව ගොඩට ගත්තා. එදාම නන්ද දාසයාව රස්සාවෙන් අයින් කළා. බෝධිසත්වයන්ගේ අවවාද මත කුමාරයා බොහෝ දියුණුවට පත්වුනා. දානාදී පින්කම් කළා.

“සාරිපුත්ත…. ඔය මේ සසරේ හැටි. එදත් මේ භික්ෂුව ඔය ස්වභාවයෙන් ම යුක්තයි. එදා නන්ද දාසයා තමයි අද ඔබගේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි වෙලා ඉන්නේ. එදා කුමාරයාට උපදෙස් දුන් නුවණැති ගෘහපතියා මම යි” කියා මේ ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

ඔබත් මෙවැනි ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

The post 039. නන්ද ජාතකය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here