031. කුලාවක ජාතකය

0
4


ගුරුළු කැදැල්ල ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, අප භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් බුදුසසුන පිහිටුවා වදාළේ සියලු සත්වයන් කෙරෙහි ම පතළ මහා කරුණාවෙන් ම යි. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට පැන් වළඳින විට ඒ පැන් පෙරා ගැනීම පිණිස පෙරහන්කඩක් භාවිතා කරන්ට කියා නියමයකුත් පණවා වදාළා. අපි දැන් කියන්ට යන්නේ එයට අදාළ කුලාවක නම් ජාතක කතාව.

ඒ දවස්වල අප ගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩ සිටියේ. එක්තරා යහළු භික්ෂූන් දෙනමක් සැවැත් නුවරින් පිටත් වෙලා වෙනත් ජනපදයකට ගියා. එහි පහසු ස්ථානයක සුවසේ වාසය කළා. ‘අපි භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ට යමු’ කියලා ඒ දෙනම සැවැත් නුවර බලා පිටත් වුනා. එක නමකගේ අතේ පෙරහන්කඩක් තිබුනා. අනිත් නම ළඟ නෑ. ඒ නිසා දෙනම පැන් වළඳද්දි ඒ පෙරහන්කඩෙන් පැන් පෙරාගෙන වැළඳුවා. එක දවසක් අතරමගදී ඒ දෙනම අතර වාදයක් හටගත්තා. ඒ නිසා දෙනමගේ කතාබහ නැවතුනා. එතකොට පෙරහන්කඩය තියෙන නම තනියම පැන් පෙරාගෙන වැළඳුවා. අනිත් නමට පැන් පෙරාගන්ට පිළිවෙළක් පෙනුනේ ම නැ. පිපාසය ඉවසා ගන්ට බැරිකම නිසා ම පෙරහන්කඩයකින් නොපෙරාම පැන් වළඳින්ට ඒ නමට සිදු වුනා. ඉතින් මේ දෙනම පිළිවෙළින් ජේතවනයට ඇවිත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ සැපදුක් අසා වදාළා.

“මහණෙනි, කොහේ ඉඳන් ද ආවේ…?”

“ස්වාමීනී…. අපි කොසොල් ජනපදයේ එක්තරා ගමක වාසය කළා. එතැනින් නික්මිලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට ම යි අපි ආවේ”

“ඉතින්… දෙන්නා සමගි සම්පන්නවද ගමන ආවේ…?”

“අනේ ස්වාමීනී…. අතරමගදී මේ භික්ෂුව මාත් සමග වාදයකට පැටලුනා. ඊටපස්සේ මට පැන් වළඳින්ට පෙරහන්කඬේ දුන්නේ නෑ”

“ස්වාමීනී…. මේ භික්ෂුව ළඟ පෙරහන්කඩයක් නෑ. දැන දැනම කුඩා සතුන් ඉන්න පැන් වැළඳුවා”

“හැබෑ ද භික්ෂුව, දැන දැන කුඩා සතුන් ඉන්න පැන් වැළඳුවා ද?”

“එහෙමයි ස්වාමීනී, පෙරහන්කඩයක් නැති නිසා මට නොපෙරූ පැන් වළඳින්ට සිද්ධ වුනා”

“භික්ෂුව…. ඉස්සර හිටිය නුවණැත්තෝ දිව්‍ය නගරයේ රාජ්‍ය කරද්දී යුද්ධයෙන් පැරදිලා මුහුද මතින් පලායද්දි ඉසුරුබව නිසා සතුන්ට විනාශයක් වෙන්ට දෙන්ට බෑ කියලා මහත් යස ඉසුරු අත්හැරලා ගුරුළු පැටවුන්ට අභය දානය දීලා රථය ආපස්සට හැරෙව්වා නොවැ”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ අපූරු විස්තරය කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ කුලාවක ජාතකය වදාළා.

පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලේ මගධ රටේ රජගහ නුවර මගධ නමින් රජෙක් රාජ්‍ය කළා. මේ කාලෙ ශක්‍ර පදවිය හොබවන සක්දෙව් රජු පෙර ආත්මෙ මගධ රටේ මචල ගමේ නොවැ උපන්නේ. අන්න ඒ විදිහට ම බෝධිසත්වයෝ ඒ මචල ගමේ මහා වැදගත් පවුලක පුත්‍රයෙකුව උපන්නා. නම් තබන දවසේ ඔහුට ‘මඝ කුමාරයා’ යන ලැබුනා. ඔහු තරුණ වුනාට පස්සෙ ‘මඝ මානවක’ නමින් ප්‍රසිද්ධ වුනා. ඔහුගේ මව්පියෝ සමාන ජාතියක පවුලකින් දැරියක් ආවාහ කරවා දුන්නා. මේ මඝ මානවක දූ දරුවන් ද හදාගෙන දන්පැන් දීගෙන හොඳින් වාසය කළා. නිති පන්සිල් රැක්කා. ඒ ගමට තිබුනේ පවුල් තිහයි.

දවසක් ඒ පවුල් තිහේ ම මිනිස්සු ගම මැදට ඇවිත් ගමේ වැඩ කරමින් සිටියා. බෝධිසත්වයෝ තමන් සිටි තැන රමණීය ආකාරයෙන් පිළියෙළ කරලා එතැන සිටගෙන සිටියා. එතකොට වෙන කෙනෙක් ඇවිත් එතැන සිට ගත්තා. බෝධිසත්වයෝ එය ඔහුට ම දීලා වෙන තැනකට ගියා. ගිහින් එතැන හොඳින් පිරිසිදු කරලා සිටගත්තා. එතැනටත් තව කෙනෙක් ඇවිත් සිටගත්තා. බෝධිසත්වයෝ ඒක ඔහුට දුන්නා. ඔය විදිහට බෝධිසත්වයෝ ලස්සනට හදන හදන තැනට එක එක්කෙනා ආ නිසා ඒවා ඔක්කොම දුන්නා. බෝධිසත්වයෝ මෑත කාලයේ එතැන ලස්සන මණ්ඩපයක් කළා. පස්සේ මණ්ඩපය ඉවත් කරලා සාලාවක් කළා. එහි වාඩිවෙන්ට ලෑලි වලින් ආසන තැනුවා. පැන් තලියක් තිබ්බා. කල් යද්දී පවුල් තිහේම මිනිස්සු බෝධිසත්වයන් ගේ අදහසට ම එකතු වුනා. එතකොට බෝධිසත්වයෝ ඒ සියලු දෙනාම පන්සිල් වල හික්මෙන්ට සැලැස්සුවා. හැමෝ ම එකතු වෙලා පින් කරන්ට පටන් ගත්තා.

ඒ හැමෝ ම පාන්දරින් අවදි වුනා. බෝධිසත්වයන් සමග එකතු වෙලා වෑ, පොරෝ, කුළුගෙඩි ආදිය අරගෙන මහා මාර්ගයේ බාධා පිණිස තියෙන ගල් උදුරා ඉවත් කළා. කරත්ත වල රෝද වදින්න පුළුවන් ගස් ඉවත් කළා. වලගොඩැලි සම කළා. සමහර තැන්වලට පාලම් සැදුවා. පොකුණු හැදුවා. සාලා හැදුවා. දන් දුන්නා. සිල් රැක්කා. ඔය විදිහට ගමේ හැමෝ ම බෝධිසත්වයන් සමග එක්සත්ව එක්සිත්ව කටයුතු කළා.

ඒ ගමෙන් අය බදු ගන්නා ගම්මුලාදෑනියාට මෙය ප්‍රශ්නයක් වුනා. ඔහු මෙහෙම හිතුවා. “මේක හරි වැඩක් නොවැ…. ඉස්සර මේ ගමේ එවුන් සුරාපානයට ඇබ්බැහි වෙලා සිටියා. සතුන් දඩයමේ ගියා. ඔවුන්ට දුන් දඬුවම් හැටියට මට හැළිවලං ලැබුනා. කහවණු ලැබුනා. වෙනත් තෑගි ලැබුනා. මඝ කියලා එකෙක් ඇවිත් මෙවුන්ට සිල් රක්කවන්ට ඕනෑ කියලා දඩයමක් කරගන්ට දෙන්නෙත් නෑ. හොඳයි මං ඕකුන්ට පන්සිල් රක්කවන්නම්” කියලා හොඳටෝ ම කිපුනා. රජ්ජුරුවෝ බැහැදැක ඔවුන්ට විරුද්ධව නොයෙක් දේ කිව්වා. “දේවයන් වහන්ස…. මහා විනාශයක් වෙලා තියෙන්නේ. මචල ගමේ හොරු රංචුවක් බිහි වෙලා මොකෝවත් කරගන්ට විදිහක් නෑ. ගම් වනසනවා. පෞරාණික චාරිත්‍ර ධර්ම වනසනවා. මඝ කියලා එකෙක් මේ විපැත්තියට මුල් වෙලා තියෙන්නේ”

රජ්ජුරුවෝ ගම්මුලාදෑණියා ගේ වචනය විශ්වාස කළා. ‘ඔවුන්ව කුදලාගෙන වරෙව්’ කියලා අණ කළා. එතකොට ගම්මුලාදෑණියා ම මුල් වෙලා සියලු දෙනාව ම මාංචු දාලා එක්කගෙන ආවා.
“දේවයන් වහන්ස…. මේන් ඉන්නවා…. රට වනසන හොරු ටික”

“හා… එහෙමද…. එහෙනම් මේකුන්ව ඇත් රජා ලවා පාගවා මරන්ට ඕනෑ” කියලා අණ කළා.

සියලු දෙනාව ම රජමිදුලට අරගෙන ගිහින් බිම වැතිරෙව්වා. බෝධිසත්වයෝ තම පිරිසට අවවාද කළා. “එක්කෙනෙක් වත් නපුරු සිතක් ඇතිකරගන්ට එපා. තමන් මෙතෙක් කල් ආරක්ෂා කළ සිල්පද ගැන හොඳින් සිතට ගන්ට ඕනෑ. ඒ වගේ ම අපට විරුද්ධව බොරු කේළාම් කියපු ගම්මුලාදෑණියා ගැනත්, රජ්ජුරුවෝ ගැනත්, අපිව පාගන්ට එන ඇතා ගැනත්, තමන්ගේ සරීරය ගැනත් එක සමාන මෛත්‍රියක් ඇතිකරගන්ට ඕනෑ” ඒ පිරිසත් අවවාදය අකුරට පිළිපැද්දා.

ඔවුන්ව පාගවන්ට ඇතාව ගෙන්නුවා විතරයි. ඌ ළඟටවත් ආවේ නෑ. මරලතෝනි හඬ දීගෙන පලා ගියා. තව තව ඇත්තු ගෙනාවත් ඔවුනුත් හඬතල දීගෙන පැනලා දිව්වා. රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“ඕකුන්ගේ අතේ බලගතු ඖෂධයක් ඇති. ගිහින් බලාපියව්” එතකොට සේවකයෝ සියල්ලන් ගේ ම අත් පරීක්ෂා කළා.

“නෑ… දේවයන් වහන්ස, මේකුන් ගේ අත්වල මොකවත් නෑ”

“එහෙනම් මෙවුන් බලගතු මන්තරයක් මතුරනවා ඇති. අහලා බලපල්ලා” එතකොට රාජපුරුෂයෝ ‘තොපි මන්තර මතුරනවා නේද?’ කියලා ඇහැව්වා. බෝධිසත්වයෝ ‘එසේය පින්වත, අපි ළඟ මන්තර තියෙනවා’ කියලා කිව්වා. එතකොට රජ්ජුරුවෝ ඒ හැමෝම කැඳවාගෙන එන්ට කියලා අණ කළා. ‘හරි… දැන් කියපල්ලා… තොපි මැතිරුවේ මොකක්ද?’

බෝධිසත්වයෝ පිළිතුරු දුන්නා. “දේවයන් වහන්ස, අපි ළඟ විශේෂ මන්තරයක් නෑ. අපි මේ තිස් දෙනාම සතුන් මරන්නේ නෑ. සොරකම් කරන්නෙත් නෑ. වැරදි කාමයේ හැසිරෙන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. සුරාපානය කරන්නෙත් නෑ. අපි කරන්නේ මෛත්‍රී භාවනා කිරීම, දාන දීම, මං මාවත් ලස්සනට පිළියෙල කිරීම, පැන් පොකුණු තැනීම, සාලාවන් තැනීම ආදියයි. අපට ඇති මන්තරයත්, අපේ ආරක්ෂාවත්, අපේ දියුණුවත් ඒක තමයි”

“ඕ හෝ…. එතකොට තමුසෙලාව හොරු හැටියට දක්වලා මරවන්ට හැදූ මේ මුලාදෑණියාව තියන්ට වටින්නේ නෑ නොවැ” කියලා මුලාදෑණියාගේ සියලු දේපල මචල ගමට ම පවරලා ඔහුව ඔවුන්ගේ දාසයෙකු කරවා දුන්නා. ඔවුන්ව මරවන්ට ගෙනා ඇතාත් ඒ මචල ගමත් බදු වලින් නිදහස් කරලා ඔවුන්ගේ භුක්තියට ම දුන්නා.

එදා පටන් ඔවුන්ට කැමති පරිද්දෙන් පින් කරන්ට ලැබුනා. බාස් උන්නැහේලා කැඳවලා සතරමං හංදියේ මහා සාලාවක් කරවන්ට පටන් ගත්තා. කාන්තාවන්ට මේ වැඩ ගැන එතරම් ඕනෑකමක් නැති නිසා කාන්තාවන්ට එහි කොටස් දුන්නේ නෑ.

ඒ කාලේ මඝ මානවකයාගේ ගෙදර සුධර්මා, චිත්‍රා, නන්දා, සුජාතා කියලා බිරින්දෑවරු සතර දෙනෙක් ඉන්නවා. ඔවුන් ගෙන් ‘සුධර්මා’ බාසුන්නැහේ එක්ක හොර රහසේ ම කථාබස් කළා. “අයියණ්ඩි, ඔය ශාලාවේ මට ප්‍රධානත්වයක් ලැබෙන්ට ඕනෑ. ඒ නිසා කැණිමඬල කාටවත් නොදී මට දෙන්ට” කියලා ඔහුට අල්ලස් දුන්නා. ඔහුත් හොඳයි කියලා මුලින් ම කැණිමඬලට ගන්න රුක කප්පවා, වේලවා, කැණිමඬල හදලා වස්ත්‍රයකින් ඔතා තැබුවා. නිශ්ශබ්දව සාලාව හදාගෙන ගියා. වහලය සදන්ට කැණිමඬලක අවශ්‍යතාව ආවා. බාසුන්නැහේ මෙහෙම කිව්වා.

“අහෝ…. පින්වත්නි…. එකක් අමතක වුනා නොවැ”

“ඒ මොකක්ද?”

“ඇයි දැන් කැණිමඬලක් ඕනෑ නොවෙද?”

“ඔව් ඉතින් අපි අරගෙන එමු”

“දැන් කපන ගස්වලින් කැණිමඬල හදන්ට බෑ. කලින් ගහ කපලා, වියලවලා, සැහැලා තබලයි කැණිමඬලට ගන්නේ”

“එහෙනම් අපි දැන් මොකද කරන්නේ?”

“කොහේ හරි ගෙදරක කැණිමඬලක් සදා තියෙන තැනකින් සොයා ගම්මු”

ඉතින් ඔවුන් කැණිමඬලක් සොයද්දි සුධර්මා ගේ ගෙදර එය තිබුනා. නමුත් ඈ එය මිලට දුන්නේ නෑ. ‘ඉදින් සාලාවට මාව කොටස්කාරියක් කරගන්නවා නම් විතරක් දෙන්නම්’ කිව්වා. ‘හප්පේ…. අපි කලින් ම තීරණේකට ආවා නොවැ මේ වැඬේට කාන්තාවන් හවුල් කරගන්නේ නෑ කියලා’

එතකොට බාසුන්නැහේ මෙහෙම කිව්වා. ‘අනේ පින්වත්නි, බ්‍රහ්ම ලෝකේ හැර කාන්තාවන් නැත්තේ වෙන කොහිද? ඔය කැණිමඬල ගම්මු. අපට ඕනෑ මේ පටන් ගත්තු වැඬේ ඉවර කරගන්ට නොවැ’

එතකොට ඔවුන් කැණිමඬල සවිකොට සාලාවේ කටයුතු අවසන් කළා. ආසන තැබුවා. පැන්තාලි තැබුවා. කැඳ බත් තැබුවා. සාලාව වටේට ප්‍රාකාරයක් තැනුවා. ඇතුලු වෙන්ට දොරක් සවි කළා. ඇතුළු මළුවේ වැලි ඇතිරුවා. පිට මළුවේ තල් ගස් පෙළක් සිටෙව්වා.

චිත්‍රාත් ඒ ස්ථානයේ අලංකාර උයනක් සැකසුවා. මල් ගෙඩි වලින් යුක්ත ඒ උයනේ අසවල් ගෙඩි නෑ කියලා කියන්ට බැරිතරම්.

නන්දාත් එතැනට අලංකාර පොකුණක් සකස් කළා. ඒ පොකුණේ පාට පසකින් යුක්ත පියුම් සැදුවා. එය ඉතාම ලස්සන රමණීය පොකුණක් වුනා.

සුජාතා මොකවත් ම කළේ නෑ. බෝධිසත්වයෝ මව්පියන්ට උපස්ථාන කිරිම, පවුලේ වැඩිහිටි ගුරුවරාදීන්ට උවටැන් කිරීම, සත්‍ය වචන කීම, මියුරු වචන කීම, සමගිය ඇති කරන වචන කීම, මසුරුකම දුරුකොට සිටීම, ක්‍රෝධ නොකිරීම යන මේ ව්‍රත පද සතම සම්පූර්ණ කරගත්තා.

ඔය විදිහට නුවණැත්තන්ගේ ප්‍රශංසාවට බඳුන් වන ජීවිතයක් ගෙවලා මරණින් මතු තව්තිසා භවනේ ශක්‍ර දේවේන්ද්‍ර පදවියේ උපන්නා. මඝ මාණවකගේ යහළුවන් සියලු දෙනාත් එහිම උපන්නා. ඒ කාලයේ තව්තිසා භවනේ අසුරයොත් වාසය කළා. සක්දෙවිඳු මොවුන් හා එකතු වී කරන රාජ්‍ය මොකක්ද කියලා අසුරයන්ට දිව්‍යපානයන් බොන්ට සැලැස්සුවා. ඔවුන් හොඳ හැටියට මත්වුනාට පස්සේ පා වලින් අල්ලාගෙන සිනේරු පර්වත ප්‍රපාතයට අතහැරියා. එතකොට ඔවුන් අසුර භවනට ම පැමිණියා. අසුර ලෝකය තියෙන්නේ සිනේරු පර්වතේ යට තලයේ. ප්‍රමාණයෙන් තව්තිසා දෙව්ලොව තරම්. තව්තිසාවේ පරසතු රුක තියෙනවා වගේ අසුර ලෝකයේත් චිත්තපාටලී නමින් කල්පයක් පුරා පවතින රුකක් තියෙනවා. අසුරයන්ට සිහිය එද්දි චිත්තපාටලී රුකේ මල් පිපී තියෙනවා දැක්කා. ‘හෑ… මේ අපි හිටපු දිව්‍ය ලෝකය නොවෙයිද? අපි හිටපු දෙව්ලොව තිබුනේ පරසතුමල් නොවැ… ඕ හෝ…. එහෙනම් මේ පර ශක්‍රයා තමයි අපට ඇති පදමට බොන්ට දීලා මත් කරවා මුහුද පිටට හෙලා අපේ දිව්‍ය නගරය ගත්තේ”

අසුරයන් මෙහෙම කතාවුනා. “අපි ශක්‍රයා සමග සටනට යමු. අපේ දේව නගරය ආපසු ගම්මු” කියලා කුහුඹි රැලක් කණුවකට නගිනවා වගේ සිනේරු පර්වතේ වටේ ඇවිදිමින් සිටගත්තා. එතකොට සක්දෙවිඳු අසුරයන් නැගිටලා නොවැ කියලා මුහුද මතින් ම යුද්ධයට ගිහින් ඒ යුද්ධයේ දී පැරදුනා. යොදුන් එකසිය පණසක පමණ දිගින් යුතු වෛජයන්ත රථයෙන් දකුණු මුහුද මතු මතුයෙන් පලායන්ට පටන් ගත්තා. මුහුද මතින් රථය වේගයෙන් යද්දි හිඹුල් වනයට ඇතුල් වෙලා යද්දි හිඹුල් වනයේ ගස් තල් වනයක් වගේ කැඩි කැඩි මුහුදට වැටෙන්ට පටන් ගත්තා. මුහුදට වැටෙන ගුරුළු පැටව් මහ හඬින් කෑගැසුවා. එතකොට සක් දෙවිඳු මාතලී ඇමතුවා.

“සගය මාතලී, මොකක්ද ඒ ශබ්දය? මහත් ඝෝෂාවකින් හඬ නගනවා වගෙයි”

“දේවයන් වහන්ස, නුඹවහන්සේ ගේ රථයේ වේගයෙන් හිඹුල් වනය ඇදවැටෙද්දි මුහුදට වැටෙන ගුරුළු පැටව් මරණ භයින් විලාප දෙන හඬයි ඒ ඇසෙන්නේ”

එතකොට බෝසත් සක්දෙවිඳු මාතලීට මෙහෙම කිව්වා. “සගය මාතලී, අපි නිසා මේ සත්තු විපතට පත්වෙන්ට එපා. අපි ඉසුරු සම්පත් රැකගන්ට සතුන් මරන්නේ නෑ. මේ සත්තුන්ව බේරා ගැනීම වෙනුවෙන් අපි අසුරයන්ට ජීවිතය දෙමු. ඔය රථය දැන් නවත්වන්ට” කියලා මේ ගාථාව පැවසුවා.

හිඹුල්වනේ මාතලී ගුරුළු පැටව් ඉන්නවා
රථයේ මුව වැදී ඔවුන් නැසීයාම වළක්වන්ට
රථය මගින් බැහැර කරව
අසුරයන්ට අපේ දිවි පුද දෙන්නෙමු
ගුරුළු පැටවුනට විපතක් නොවේවා…!”

සක් දෙවිඳුගේ වචනය ඇසූ මාතලී රථය නැවැත්තුවා. වෙනත් මගකින් යන්ට රථය දෙව්ලොව පැත්තට හැරෙව්වා. රථය නවතාලූ විට අසුරයෝ මෙහෙම හිතුවා. ‘ඒකාන්තයෙන් ම අනිත් සක්වල වලින් ශක්‍රයෝ එනවා වගෙයි. බලය ලබාගෙන අපට බැටදෙන්ට යි රථය හැරෙව්වේ’ කියලා බියට පත්වුනා. අසුර භවනට ම පලා ගියා. සක්දෙවිඳුන් දේවනගරයට පිවිසුනා. චාතුම්මහාරාජික, තාවතිංස යන දිව්‍ය ලෝකවල දෙව් පිරිස පිරිවරාගෙන නගරය මැද සිටගත්තා. එසැණින් ම පොළව බිඳී යොදුන් දහසක් උසැති වෛජයන්ත ප්‍රාසාදය උඩට මතුවුනා. සක්දෙවිඳුට ජය ලැබීමෙන් උඩට නැගුන ප්‍රාසාදය නිසා එයට ‘වෛජයන්ත ප්‍රාසාදය’ කියන නම ඇති වුනා. එතකොට බෝසත් සක් දෙවිඳු අසුරයන්ට තව්තිසාවට එන්ට බැරිවෙන්ට පස් තැනක රැකවල් තැබුවා.

දේව නගරයත් අසුර නගරයත් අතර යුද්ධයක් ඇතිවීම වළක්වන්ට කරුණු සම්පාදනය කළ නිසා ඒ නගර දෙකට ‘යුද්ධ නොකරනා පුරයෝ’ යන අර්ථයෙන් ‘අයුද්ධපුරයෝ’ යන නම ලැබුනා. යම් කලක අසුරයෝ බලවත් වෙනවාද, එතකොට දෙවිවරු පලා ගිහින් දේව නගරයට පිවිසිලා දොරටුව වසාගත් විට අසුරයන් ලක්ෂයක් ආවත් මොකෝවත් කරන්ට බැහැ. යම් කලෙක දෙවිවරු බලවත් වෙනවාද, එතකොට අසුරයෝ අසුර නගරයට දුවගෙන ඇවිත් දොරටු වසාගත්තාට පස්සේ ශක්‍රයන් ලක්ෂයක් ආවත් මොකවත් කරන්ට බැහැ. ඒ නිසයි මේ නගර වලට ‘අයුද්ධපුරයෝ’ කියන නම ලැබුවේ. මේ නගර දෙක අතරේ බෝසත් සක් දෙවිඳු විසින් නාගාදීන්ගෙන් පස් තැනක රැකවල් තැබුවා.

නාගයන් ගේ බලය තියෙන්නේ ජලයේ. ඒ නිසා සිනේරු පර්වතේ පළමු ආලින්දයේ නාගයන් ගෙන් රැකවල් දාලා තියෙන්නේ. සිනේරු පර්වතේ දෙවන ආලින්දයේ රැකවල් දම්මලා තියෙන්නේ ගුරුළන් ගෙන්. කුම්භාණ්ඩ නමින් භයානක රකුසෝ ජාතියක් ඉන්නවා. සිනේරු පර්වතේ තුන්වෙනි ආලින්දයේ රැකවල් දම්මලා තියෙන්නේ කුම්භාණ්ඩයන්ගෙන්. ඊළඟට ඉන්නේ යක්ෂයෝ. ඔවුන් යුද්ධ කරන්ට ලෑස්ති පිට ඉන්නේ. සතරවන ආලින්දයට රැකවල් දම්මලා තියෙන්නේ යක්ෂයින් ගෙන්. සිනේරු පර්වතේ පස්වෙනි මහල රැකවල් දම්මලා තියෙන්නේ සතරවරම් මහරජවරුන් ගෙන්. ඒ නිසා යම්හෙයකින් අසුරයන් කිපිලා කැළඹුණු සිතින් යුක්ත වෙලා දේව නගරයට යන්ට පිටත් වුනත් පංචවිධ රැකවල් වලින් වටවෙලා තියෙන එතැනට යන්ට ලේසි නෑ. පළමු අවස්ථාවේ ම නාගයෝ ඔවුන්ව බැහැර කරනවා.

ඉතින් මේ විදිහට පස් තැනක රැකවල් දම්මලා ශක්‍ර දේවේන්ද්‍රයෝ දිව්‍ය සම්පත් අනුභව කරද්දි සුධර්මා මිනිස් ලොවින් චුතවෙලා සක්දෙවිඳුගේ බිරිඳ වෙලා උපන්නා. කැණිමඬල දුන්නු පිනෙන් පන්සිය යොදුනක් දිගැති සුධර්මා නමැති දෙව්මිණි සභාව පහළ වුනා. ඒ ශාලාවේ දිව්‍ය සේසත යට යොදුනක ප්‍රමාණයේ රන් අසුනේ වාඩි වී සිටින සක්දෙවිඳු දෙව්මිනිසුන්ගේ සියලු කටයුතු සොයා බලනවා. චිත්‍රාත් මනුලොවින් චුතවෙලා සක්දෙවිඳු ගේ ම බිරිඳ වෙලා තව්තිසාවේ උපන්නා. ඈ උද්‍යානය කළ පිනෙන් ‘චිත්‍රලතා’ නමැති ඉතාම සිත්කලු උද්‍යානය පහළ වුනා.

නන්දාත් මනුලොවින් චුත වෙලා සක්දෙවිඳුගේ බිරිඳක් වෙලා තව්තිසාවේ උපන්නා. පොකුණක් කරවූ පිනෙන් නන්දා නමැති පස්පියුම් සැදි රමණීය පොකුණ පහළ වුනා.

සුජාතා කිසිම පිනක් කරගත්තේ නෑ. ඈ මිය ගිහින් වනාන්තරේ දිය ඇල්ලක් ළඟ කෙකිණියක් වෙලා උපන්නා. සක්දෙවිඳු මෙහෙම විමසා බැලුවා. “සුජාතා දෙව්ලොව පෙනෙන්ට නෑ. ඈ උපන්නේ කොහේද?’ කියලා බලද්දී ඈ සිටිය තැන පෙනුනා. එතකොට සක්දෙවිඳු කෙකිණිය දෙව්ලොව රැගෙන ආවා. රමණීය දේව නගරය, සුධර්මා දිව්‍ය සභාව, චිත්‍රලතා වනය, නන්දා පොකුණ පෙන්නුවා. ‘බලන්ට. මේ අය පින් කරගත්තු නිසා මගේ බිරින්දලා වෙලා මෙහේ උපන්නා. නමුත් ඔබ කුසල් නොකොට තිරිසන් යෝනියේ උපන්නා. මෙතැන් පටන් සිල් රකින්ට ඕනෑ’ කියලා අවවාද කළා. ආයෙමත් එතනට ම ගිහින් දැම්මා. දැන් ඈ සිල් රකිනවා. කීප දිනකින් ඈ සිල් රකිනවාද කියා සොයා බලන්ට සක්දෙවිඳු කල්පනා කළා. මාළුවෙකුගේ වේශයෙන් වතුරේ උඩ පාවෙවී කෙකිණිය ඉදිරියට ආවා. ඈ සිතුවේ මැරුණු මාළුවෙක් කියලා. ඉතින් ඈ ඒ මාළුවාගේ හිසින් අල්ලා ගත්තා. එතකොට මාළුවා වලිගය සෙලෙව්වා. එතකොට සතාට පණ තියෙනවා කියලා සිතා ඌව අත්හැරියා. එතකොට සක්දෙවිඳු ‘බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔබට සිල් රකින්ට පුළුවනි’ කියලා එතැනින් ගියා.

ඈ ඒ තිරිසන් ලෝකයෙන් චුත වුනා. බරණැස වළං හදන්නෙකුගේ ගෙදර උපන්නා. සක්දෙවිඳු බැලුවා ඈ කොහේද උපන්නේ කියලා. ඈ එහි උපන් බව දැනගත්තා. මහල්ලෙකුගේ වෙස් අරගෙන වාහනයේ රන් කැකිරි පුරවා ගත්තා. ‘කැකිරි ගන්නවා ද…. කැකිරි ගන්නවා ද…. ’කියලා කෑගසාගෙන ගියා. එතකොට මිනිස්සු ඇවිත් ‘පියාණෙනි, අපටත් කැකිරි දෙන්ට’ කියලා ඉල්ලුවා.

“මං සිල් රකින අයටයි දෙන්නේ. ඔබලා සිල් රකින අයද?”

“අනේ අපි සිල් ගැන නම් දන්නේ නෑ. සල්ලි වලට දෙන්න” කිව්වා.

“නෑ…. මේවා මං මුදලට දෙන්නේ නෑ. සිල් රකින කෙනෙකුට විතරයි දෙන්නේ” කියලා මහල්ලා කියා සිටියා.

එතකොට මිනිස්සු ‘මේ මොන මෝඩයෙක් ද!’ කියලා යන්ට ගියා.

සුජාතාටත් මේ කැකිරි සීයා ගැන දැනගන්ට ලැබුනා. මට ගෙනාපුවා වෙන්ට ඇති කියලා ඈට සිතුනා. ‘සීයේ, මට එහෙනම් කැකිරි දෙන්ට’ ‘දුවේ ඔයා සිල් රකිනවාද?’ ‘එහෙමයි, මං සිල් රකින කෙනෙක්’ ‘ඔයාට තමයි අපි මේවා ගෙනාවේ’ කියලා කැකිරි කරත්තේ ගේ දොරකඩ තියලා සීයා යන්ට ගියා. ඈ ඒ මිනිස් ලොවින් පින් කොට වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ දියණිය වෙලා උපන්නා. සිල් රැකපු නිසා ඈ ගොඩාක් ලස්සන වුනා. ඈ තරුණ වියට පා තැබුවාට පස්සේ ඇගේ සිත් ගන්නා සැමියෙකු ගන්ට කියලා අසුරයන්ගේ රැස්වීමක් කැඳෙව්වා. එතකොට සක් දෙවිඳු ඈ උපන්නේ කොහිද කියලා බැලුවා. එතකොට ඈ වෙනුවෙන් ස්වයංවර මංගල්‍යයක් අසුර නගරයේ සූදානම් කර තිබෙන බව දැක්කා. සක්දෙවිඳු අසුර වර්ණයක් මවාගෙන ඒ උත්සවයට සහභාගී වුනා. ඈ මල් මාලය අතට අරන් තමන්ට ගැලපෙන ස්වාමියා සොය සොයා ගියා. එක්වරම අසුරවෙස් ගත් සක්දෙවිඳු දකින්ට ලැබුනා. පෙර ආත්මයේ බැඳුනු සෙනෙහෙ නිසා මේ මගේ සැමියා කියා තෝරා ගත්තා. එතකොට සක්දෙවිඳු ඈව දේව නගරයට රැගෙන ආවා. තුන්දහස් පන්සියයක් වූ නාටක ස්ත්‍රීන් අතර ඈට ජ්‍යෙෂ්ඨ තනතුර ලැබුනා. ඔවුන් දිව්‍ය ලෝකයේ සුවසේ වාසය කොට කර්මානුරූපව එතැනින් චුත වුනා.

මෙසේ වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුවට තරයේ අවවාද කළා. සක්දෙවිඳු වැනි කෙනෙක් පවා තමන් ගේ ජීවිතය ගැන පවා නොතකා සතුන් මැරීමෙන් වැළකුන බව පෙන්නා දුන්නා. එදා මාතලී වෙලා සිටියේ ආනන්දයන් වහන්සේ බවත්, සක්දෙවිඳු වෙලා සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බවත් වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 031. කුලාවක ජාතකය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here