028. නන්දිවිසාල ජාතකය

0
15


නන්දිවිසාල මහා වෘෂභ රාජයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, කවුරුත් පාහේ කලබල වූ අවස්ථා වලත් වැඩිදුර නොසිතාත් නොසරුප් වදන් කථා කරන අවස්ථා දකින්ට ලැබෙනවා. නමුත් බොහෝ විට එයින් යහපතක් සිදුවන්නේ නෑ. ඕනෑතරම් පාඩු නම් සිදුවෙනවා. අනුන් හෙළා තලා කථා කිරීම නොකළ යුතු දෙයක් ම යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන කාලේ ඡබ්බග්ගිය නමින් සය දෙනෙකුගේ භික්ෂු කල්ලියක් වාසය කළා. ඔවුන් අනිත් භික්ෂූන් වහන්සේලා සමග ඉතා සුළු දෙයට පවා රණ්ඩුවට පැටලෙනවා. බැණ වදිනවා. හෙළ දැක කථා කරනවා. ඇණුම්පද කියනවා. නොයෙක් කරුණු කිය කියා ආක්‍රෝශ පරිභව කරනවා. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා. භාග්‍යවතුන් වහන්සේ ඡබ්බග්ගිය භික්ෂූන් කැඳවා ඔවුන්ගෙන් ඒ ගැන විමසුවා. එම චෝදනාව සත්‍යයක් බව ඔවුන් පිළිගත්තා. ඔවුන්ගේ ඒ දෝෂය ගැන අප්‍රසාදය පළ කළ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“මහණෙනි…. ඵරුෂ වචන වලට තිරිසන්ගත සතුන්වත් කැමති නෑ. ඉස්සර කාලේ එක් තිරිසන්ගත සත්වයෙක් තමන්ව හෙළා දැක කථා කිරීම නිසා ඒ කෙනාව කහවණු දහසකින් පරාජයට පත් කෙරෙව්වා” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපි ඒ කථාව දැනගන්ට කැමතියි. එය අපට වදාරන සේක්වා” කියලා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඉතාම ඈත කාලෙක ගන්ධාර රටේ තක්ෂසිලාවෙහි ගන්ධාර නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කළා. ඒ කාලයේ බෝධිසත්වයෝ ගව යෝනියේ ඉපිද සිටියා. ඔහු වසු පැටියා කාලේ එක්තරා බ්‍රාහ්මණයෙකුට ගව දක්ෂිණාවක් හැටියට දායකයෙකු ගෙන් ඔහුව තෑගි ලැබුනා. මේ බ්‍රාහ්මණයාත් තමන් ලද වසුපැටියාව දරුවෙකුට වගේ ආදරයෙන් රැකබලා ගත්තා. මහත් දරු පෙමින් කවා පොවා නහවා ඇතිදැඩි කළා. බෝසත් ගවයාත් ක්‍රමයෙන් හැදී වැඩී මහා වෘෂභ රාජයෙක් වුනා. බ්‍රාහ්මණයා මොහුට නන්දිවිසාල කියා නම තැබුවා. දවසක් මේ ගවයා මෙහෙම කල්පනා කළා. ‘මේ බ්‍රාහ්මණයා ඉතා දුකසේ මාව ඇතිදැඩි කළා. මා සමග බර උසුලන්ට සමර්ථ වූ වෙන කිසි ගවයෙක් මේ දඹදිව නම් නෑ. ඒ නිසා මං මගේ බලපරාක්‍රම දක්වලා අපේ බ්‍රාහ්මණයාට මාව ඇතිදැඩි කළ දෙයට කිසියම් ගෙවීමක් කරන්ට ඕනෑ’ කියලා නන්දිවිසාල බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා.

“බ්‍රාහ්මණය, ඔබ ගව සම්පත් ඇති සිටුවරයෙකු ළඟට යන්ට. ගිහින් එකට බැඳපු කරත්ත සියයක් අදින්ට පුළුවන් සවි ශක්තිය ඇති ගවයෙක් තමන්ට ඉන්න බව කියලා කහවණු දහසකින් ඔට්ටු අල්ලන්ට” ඉතින් බ්‍රාහ්මණයා නන්දිවිසාලගේ කීම අහලා සිටුවරයා ළඟට ගිහින් කථාව පටන් ගත්තා. “සිටුවරය…. මේ නගරයේ කාගේ ගවයාද මහත් ශක්ති සම්පන්න?” “බ්‍රාහ්මණය, අසවල් අසවල් අය ළඟත් මහා බලසම්පන්න ගවයන් ඉන්නවාලු. ඒ වුනත් මා ළඟ ඉන්න ගවයන් තරම් ශක්ති සම්පන්නයි කියලා මං නම් හිතන්නේ නෑ” “නෑ…. එහෙම කියන්ට එපා සිටුතුමනි, මා ළඟත් අපූරු ගවයෙක් ඉන්නවා. මගේ ගවයාට එකට බැඳපු ගැල් සියයක් අදින එක සුළු දෙයක්” “හෑ…. අනේ බ්‍රාහ්මණය, එහෙම ගවයෝ ඉන්නේ කොහේද?” “ඇයි…. මගේ ගෙදර ඉන්නවා”

“එහෙනම් ඔට්ටු අල්ලමුද?” “හරි…. මං කහවණු දහසකින් ඔට්ටු අල්ලනවා”

ඔවුන් ඔට්ටුව සඳහා දිනයක් තීන්දු කරගත්තා. වැලිගල් පුරවපු කරත්ත සියයක් එකට තිබ්බා. එකට එකක් හේත්තු කොට දෙපැත්තට ලී පතුරු බැඳ ගැටගැසුවා. යොතින් බැන්දා. බ්‍රාහ්මණයා නන්දිවිසාලව ස්නානය කෙරෙව්වා. සුවඳ කුඩු වලින් ඇඟිලි පහම හිටින්ට ඉරි ඇන්දා. මල් මාලයක් පැළැන්දුවා. මුල්ම කරත්තෙට ගැට ගැහුවා. “හා….. දැන් ඇදපිය…. කුළු හරකෝ දැන් ඇදපිය කුළු හරකෝ….” කියලා කෑගැහුවා. නන්දිවිසාලට ඒ හඬ අමුතුයි. මෙතෙක් කල් එබඳු වචනයක් බ්‍රාහ්මණයා ගෙන් අහලා නෑ. නන්දිවිසාල සිතට ගත් වීරිය එතැනම නැතිවුනා. සිත කඩාවැටුනා. සතර පාදයන්ම ගල් කණු වගේ නොසොල්වාගෙන හිටියා. සිටුවරයා එසැණින්ම කහවණු දහසක් බ්‍රාහ්මණයාගෙන් ලබාගත්තා. පරාජිත බ්‍රාහ්මණයා නිශ්ශබ්දවම ගවයාත් ලිහාගෙන ශෝකයෙන් ගෙදර ආවා. ඇඳේ වැතිරිලා සුසුම් හෙළුවා. නන්දිවිසාල ගොඩාක් වෙලා බ්‍රාහ්මණයා දෙස ඇස්පිය නොහෙළා බලා සිටියා. බ්‍රාහ්මණයා ළඟට ගිහින් මෙහෙම ඇහුවා.

“බ්‍රාහ්මණය, ඇයි මේ නිදාගෙන?”

“මොන නින්දක්ද? මං කහවණු දහසක් පරාදයි!”

“හැබෑට බ්‍රාහ්මණය, ඔබ කියපු හැටියට මං කුළු හරකෙක්ද? ඔබේ ගෙදර මෙතෙක් කල් මං ඉන්නවා. මෙතෙක් කාලෙකට මං එක මැටි වළඳක් බිඳලා තියෙනවද? කාටවත් හිංසා මාත්‍රයක් කර තියෙනවාද? නුසුදුසු තැනක මළමුත්‍රා කරලා තියෙනවාද?”

“අනේ නෑ…. මයෙ පුතේ…. නුඹ මට කවරදාකවත් අකීකරුකමක් කරලා නෑ.”

“ඒක නේන්නම්….. එහෙනම් ඇයි මට කුළු හරකාය කියලා කිව්වේ? ඔබේමයි වැරැද්ද. මගේ වැරැද්දක් නෑ. බ්‍රාහ්මණය, අයෙමත් යන්ට. ගිහින් මේ වතාවේ කහවණු දෙදහසකින් ඔට්ටු අල්ලන්ට. හැබැයි ඕං…. මට කුළු හරකාය කියලා විතරක් කියන්ට එපා.”

එතකොට බ්‍රාහ්මණයා සිටුවරයා ළඟට ගිහින් කහවණු දෙදහසකින් ඔට්ටු ඇල්ලුවා. සිටුවරයාත් කැමති වුනා. කලින් වගේ ගැල් සියයක ගල්වැලි පුරවා පෙළට තියා එකිනෙක බැන්දා. කලින් වගේම නන්දිවිසාලව සරසාගෙන ආවා. මුල් කරත්තයේ බැන්දා. බ්‍රාහ්මණයා කරත්තේ ඉදිරිපස වාඩිවුනා. නන්දිවිසාලගේ පිට පිරිමැද්දා. “මගේ සුන්දර රජෝ…. අදින්ට මේ ගැල, මගේ සුන්දර රජෝ…. අදින්ට මේ ගැල” කිව්වා විතරයි. බෝධිසත්වයෝ එකට බැඳපු ගැල් සියයම එක හුස්මට ඇදගෙන ගිහින් මුලින් ගැල තිබුණු තැනට සියවෙනි ගැල ඇදගෙන ආවා. සියලු දෙනා මහා හඬින් ඔල්වරසන් දුන්නා. නන්දිවිසාල ගවයාට මල් ඉස්සා. පරාජිත සිටුවරයා බ්‍රාහ්මණයාට කහවණු දෙදහසක් දුන්නා. නන්දිවිසාලටත් තෑගිභෝග ලැබුනා. බෝධිසත්වයෝ නිසා බ්‍රාහ්මණයාට සෑහෙන්න වස්තුව ලැබුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ‘ඕමසවාදේ පාචිත්තියං’ යනුවෙන් භික්ෂූන් ඔවුනොවුන්ට හෙළා දැක කථා කිරීම වරදක් බවට ශික්ෂාපදයකුත් පණවා වදාළා. ඊටපස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.

“මියුරු වදන් ම ය පැවසිය යුත්තේ
නොමනා දේ කිය යුතු නැත කිසිදා
මියුරු වදන් අසනා ගවයා පවා
මහත් බරක් උසුලා යන්නේ
ධනය ඔහුට ලැබදුන්නේ මියුරු වදන් නිසා ම යි”

එදා බ්‍රාහ්මණයා වෙලා සිටියේ අපගේ ආනන්දයන් වහන්සේ. නන්දිවිසාල වෙලා සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේ.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

  ඔබත් මෙවැනි ලස්සන ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

 

The post 028. නන්දිවිසාල ජාතකය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here