026. මහිලාමුඛ ජාතකය

0
7


මහිලාමුඛ ඇත්රජුගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, කොයිතරම් පහසුකම් තිබුනත් යම් තැනක අර්බුදකාරී වටපිටාවක් තියෙනවා නම් එතනැට යන්ට හොඳ නෑ. නැති කරදර වල පැටලෙනවා. සැකයට බඳුන් වෙනවා. මේ කථාවෙන් කියවෙන්නේ එබඳු දෙයක්.

ඒ දවස් වල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමයේ. ඒ කාලේ දේවදත්ත ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වලා අජාසත් කුමාරයාව පහදවාගෙන තිබුනා. අජාසත් කුමාරයා සෑහෙන්ට වියදම් කරවා දේවදත්ත වෙනුවෙන් ගයා ශීර්ෂයේ ලස්සන පන්සලක් කෙරෙව්වා. නොයෙක් ප්‍රණීත භෝජනයන් ගෙන් යුක්ත ආහාර බඳුන් පන්සියයක් දිනපතා එතන්ට පිටත් කළා. දේවදත්තට ලැබුණු මහත් ලාභ සත්කාර නිසා ඔහුගේ පිරිසත් වැඩිවුනා.

ඔය අතරේ රජගහ නුවර යහළුවෝ දෙදෙනෙක් පැවිදි වෙන්ට කැමැත්තෙන් සිටියා. ඔවුන්ගෙන් එක් අයෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. අනෙක් කෙනා සිටියේ ගයාවේ. ඔහු දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට විරුද්ධව ගිය බව දන්නේ නෑ. ඔහු ගිහින් දේවදත්ත ළඟ පැවිදි වුනා. මේ යහළු භික්ෂූන් දෙදෙනා වරින්වර මුණගැසෙනවා.

දවසක් දේවදත්ත ළඟ ඉන්න භික්ෂුව අනිත් භික්ෂුවට මෙහෙම කිව්වා. “හනේ…. ඇවැත්නි…. දිනපතා දහඩිය වගුරුවාගෙන පිණ්ඩපාතේ කරගන්ට ඔතරම් දුක් විඳින්නේ ඇයි? බලන්ට දේවදත්ත ගැන. ගයා ශීර්ෂයේ පන්සලේ ම නැවතිලා ඉන්නවා. නිතිපතා නානාග්‍ර රසයෙන් ප්‍රතිමණ්ඩිත ප්‍රණීත භෝජන වළඳනවා නොවැ. අපිත් හරිම පහසුවෙන් ඉන්නේ. කිසි කරදරයක් නෑ. අනේ ඇවැත්නි…. මොනවාට දුක් විඳිනවාද! නිකමට වඩින්න ඒ පැත්තේ…. පාන්දරින් ගයා ශීර්ෂයට වැඩියොත් හීලෙට කැඳ වළඳින්ට පුළුවනි. ඊටපස්සේ දහඅට වැදෑරුම් රසකැවිලි වළඳින්ටත් පුළුවනි. දහවල ප්‍රණීත භෝජන වළඳින්ට පුළුවනි.”

ඉතින් ඒ භික්ෂුව තමන්ට වඩින්ට කියලා නැවත නැවතත් කියන නිසා එය ඇසූ භික්ෂුවටත් ගයා ශීර්ෂයට වඩින්ට කැමැත්ත ඇතිවුනා. දවසක් මොහු පාන්දරින් වේළුවනයෙන් පිටත් වුනා. දෙව්දත්ගේ පන්සලට ගියා. කථාව ඇත්ත. කෑම බීම පිරිලා. එදා හොඳට දන් වළඳා සවස් වෙද්දී වේළුවනයට වැඩියා. මේ භික්ෂුව ටිකෙන් ටික ගයා ශීර්ෂයට යන්ට පුරුදු වුනා. නමුත් වැඩිකල් නොයා මේ භික්ෂුව ගයා ශීර්ෂයට යන රහස් ගමන ගැන බොහෝ භික්ෂූන්ට ආරංචි වුනා. තම යහළු භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගෙන් මේ ගැන විමසුවා. “හැබෑද ඇවත…. දේවදත්තගේ පන්සලේ පිහිටවපු දන්වැටින් ගිහින් වළඳිනවා කියන්නේ?” “හප්පේ…. කවුදෑ කිව්වේ?” “අසවල් අසවල් භික්ෂූන් දැකලා තියෙනවා නොවැ. පාන්දරින් ම මෙහෙන් යනවාලු. හවස් වෙද්දි ආපහු වඩිනවාලු” “ඇත්ත ඇවැත්නි…. මං ගයා ශීර්ෂයේ පන්සලට ගිහින් වැළඳුවා. එහේ මගේ යාළුවෙක් ඉන්නවා. ඒ නිසයි ගියේ. දේවදත්තත් සමග මගේ සම්බන්ධයක් නෑ. අනික එහේදි දේවදත්ත මට දන් බෙදුවේ නෑ. මට දන් බෙදුවේ මිනිස්සු.”

“ඈ ඇවත…. ඔබ දන්නෙ නැද්ද, දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට විරුද්ධයි. දුස්සීලයි. අජාසත් කුමාරයාව පහදවා ගත්තේ ධර්මයෙන් නොවෙයි. අධාර්මිකව උපදවා ගත්තු ලාභ සත්කාරයක් ඔහුට තියෙන්නේ…. ඔබ මේ වගේ උතුම් බුදු සසුනක පැවිදි වෙලා ආහාර වේලක් වෙනුවෙන් අසත්පුරුෂයෙකු ළඟට යන එක හරිද? යමු යමු අපි භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට යමු” කියලා අර භික්ෂුව අදිමදි කරද්දි භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා.

භාග්‍යවතුන් වහන්සේ එය දැක භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මේ භික්ෂුව අකමැත්තෙන් වගේ මෙහෙම කැඳවාගෙන එන්නේ ඇයි?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉතා ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කෙනෙක්. මේ ළඟකදී පටන් දේවදත්තගේ පන්සලට හොරෙන්ම ගොහින් ඔහු අධාර්මිකව උපදවා ගත් බොජුන් වළඳිනවා” “ඇත්තද භික්ෂුව…? දේවදත්ත අධාර්මිකව උපදවා ගත් බොජුන් ඔබ වළඳිනවාද?” “අනේ නෑ ස්වාමීනී…. දේවදත්ත මට දානෙ දුන්නේ නෑ. මට දන් බෙදුවේ මිනිස්සු. අනික මං දේවදත්තගේ මතය පිළිගත් කෙනෙකුත් නෙමෙයි.”

“ඒ වුනාට එහෙම කරන්ට එපා භික්ෂුව. ඔබ ආහාර පිණිස වුනත් එතනට ගිය එක වැරදියි. දේවදත්ත ජනයා අතර විශාල වශයෙන් අර්බුද හදනවා. එතකොට අන් අය ඔබවත් සැක කරන එක වළක්වන්ට බැහැ. ඔබ පෙර ආත්මෙත් ඔහොම තමයි. අවබෝධයකින් තොරව දැකපු දැකපු අයව ඇසුරු කරන්ට ගොහින් අමාරුවේ වැටුනා” කියා වදාළා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ යටගියාවෙහි සිදුවීම කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ඈත අතීතයේ බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ පණ්ඩිත ඇමතියෙක් වෙලා ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කළා. ඔය බරණැස් රජ්ජුරුවන්ට මහිලාමුඛ කියලා ඉතා යහපත් මංගල හස්තියෙක් හිටියා. ඒ ඇතා ඉතා කීකරුයි. ආචාර සම්පන්නයි. කාටවත්ම කරදරයක් කළේ නෑ.

දවසක් මහිලාමුඛ ඇත්රජා බැඳ සිටිය ශාලාව අයිනට සොරු රංචුවක් ආවා. ඔවුන් ඇතාට නොදුරින් වාඩිවෙලා සොරකම් කරන හැටි කථාබස් කළා. නායක සොරා අලුත් සොරුන්ට අවවාද කළා. “මේ…. ශීලාචාර ගතිගුණත් එක්ක සොරකම් කරන්ට බෑ. ඔහොම සුරතලේට බෑ. දරුණු වෙන්ට ඕනෑ. නපුරු වෙන්ට ඕනෑ. අනක් ගුණක් නැතිවෙන්ට ඕනෑ. හොරකමක් කරද්දි කිසි භයක් නැතුව ළඟට ආපු ඕනෑම එකෙක්ව මරාදාන්ට ඕනෑ. සිත සිතා හොරකම කරන්ට බෑ. ඕන්න මතක තියාගනිං. දැන් ඔය කරුණා දයා අතෑරපං. හොඳ හැටි නපුරු වෙයං” කියලා කිව්වා. එතන සිටිය මහිලාමුඛ ඇත්රජා හොඳට කන් යොමාගෙන අසාගෙන උන්නා. ඇතා සිතුවේ තමන්ට උපදෙස් දෙනවා කියලයි. පසුවදාත් හොරු රංචුව එතනට ම රැස්වුනා. කලින් වගේම ඔවුන් සොරකම් ගැන කථා කළා. හොරෙක් දරුණු වෙන්ට ඕනෑ කොහොමද කියලා කියාදුන්නා. ඇතා හිතුවේම තමන්ට උපදෙස් දෙනවා කියලයි. ඉතින් ඇතාත් ඒ සෑම උපදේශයක් ම සිතට ගත්තා. මීට පස්සේ නම් ඒ උපදෙස් වලට අනුවම ඉන්ට ඕනෑ කියලා හිතුවා.

පසුවදා උදේ ඇත්ගොව්වා ආවා. මෙතෙක් කලක් කාටවත් කරදරයක් නොකළ හොඳ ඇතෙක් නිසා ඇත් ගොව්වා කිසි භයක් නැතුව වෙනදා වගේම ඇතා ළඟට ගියා. ඇතා සැණෙකින් හොඬෙන් අල්ලා උස්සා ඇත් ගොව්වා පොළවේ ගසා මැරුවා. එතනට එන එන ඇත් ගොව්වාව මරාදැම්මා. දැන් ඇතාව කාටවත්ම මේච්චල් කරගන්ට බෑ. මහා දරුණු ඇතෙක් වුනා. සේවකයන් වහා ගිහින් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා.

“දේවයන් වහන්ස, අර අප ළඟ සිටිය ශාන්ත ගතිගුණ තිබුනු මහිලාමුඛ ඇත්රජා හදිසියේම පිස්සු වැටිලා. මහා භයානක තත්වයකට පත්වෙලා කාටවත් ළං වෙන්ට බෑ. ළඟට එන එන කෙනාව මරනවා.”

එතකොට රජ්ජුරුවෝ මේ ගැන වහාම සොයා බලන්ට කියලා බෝසත් ඇමතිතුමාව මහිලාමුඛ ඇත්රජා ළඟට පිටත් කළා. බෝධිසත්වයෝ එතනට ගොහින් ඉතා හොඳින් පරීක්ෂා කළා. ඇතාට රෝගයක් වැළඳුනු බවට කිසිම ලකුණක් නෑ. ‘ම්…. දැනගන්ට නම් ඇතාට කිසිම රෝගයක් නෑ. කාගෙන් හරි වැරදි උපදේශයක් ලැබී තියෙන පාටයි…. ඇතා නරක් වුනේ ඒ නිසාම වෙන්ට ඕනෑ” කියා කල්පනා කොට වටේ සිටිය ඇත්ගොව්වන් ගෙන් ඇහුවා. “මේ ඇතා බැඳලා හිටිය කිට්ටුවෙන් කවුරුහරි ඇවිත් මොනවහරි කතාබස් කළාද?” “එහෙමයි ස්වාමීනී…. කොලු රෑනක් ඇවිත් දවස් කීපයක් රෑට රෑට ඔතන වාඩි වෙලා කථා කර කර හිටියා. ඊටපස්සේ තමයි ඇතා නරක් වුනේ” “එහෙනම් නිච්චියට ම ඒ කථා කරලා තියෙන්නේ හොරු වෙන්ට ඕනෑ. ඔවුන්ගේ කථාව අහලා තමයි ඇතාට මේ ඇබැද්දිය වුනේ” කියලා බෝසත් ඇමති රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. “දේවයන් වහන්ස, ඇතාට අසනීපයක් නෑ. හොරුන්නේ නපුරු බස් අසාගෙන ඉඳලා. තමන්ට ඒවා උගන්වනවා කියලා ඇතා රැවටිලා ඒ නිසයි නපුරු වෙලා තියෙන්නේ. දැන් කරන්ට තියෙන්නේ. සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇතාට ඇසෙන මායිමේ වාඩි කරවා යහපත් දේ අස්සවන එකයි. එතකොට හරියාවි.”

රජ්ජුරුවෝ සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ව ඇත්හලේ පැත්තකින් වාඩි කෙරෙව්වා. එතකොට ඇතාට ඇහෙන්ට ඔවුන් කථාබස් කළා. “හා…. හා…. කේන්ති ගන්ට නාකයි. කලබොල වෙන්ටත් එපා. ඉවසන්ට ඕනෑ. කරුණාවන්ත වෙන්ට ඕනෑ. තමන් ළඟට එන කෙනාට ආදරයෙන් සළකන්ට ඕනෑ. කාටවත්ම හිරිහැර කරන්ට එපා. ආයෙ වරදක් වෙන්ට තියන්නේ නෑ කියලා හොඳ හැටියට සිතට ගන්ට ඕනෑ” කියා සාකච්ඡා කළා. මහිලාමුඛ ඇතා ඉතා හොඳට සවන් දීගෙන හිටියා. මෙයාලා ඇවිත් තමන්ට උගන්වනවා කියලා හිතුවා. තමන් ශාන්ත කෙනෙකු වෙන්ට ඕනෑ කියලා දැඩිව සිතට ගත්තා. එදා පටන් ඇතා යහපත් වුනා.

රජ්ජුරුවෝ බෝසත් ඇමතියාගෙන් ඇහුවා.

“දරුව…. දැන් කොහොමද ඇතාට? කලින් වගේ ශාන්ත වුනාද?”

“එහෙමයි දේවයන් වහන්ස, මෙබඳු දුෂ්ට ඇතාත් නුවණැත්තන් නිසා තමන් ළඟ තිබුනු පැරණි ගුණදහම්වල නැවත පිහිටන්ට ලැබුනා” කියා මේ ගාථාව පැවසුවා.

“සොරුන්ගේ වදන් අසා නපුරුව
තම ඇත්ගොව්වන් ද නසා
මුළාව ගිය ඇත්රජා
සිල්වතුනගෙ බස් අසා
හැම ගුණයේ පිහිටියේ උතුම් ඇතා”

“දැක්කා නේද පින්වත් භික්ෂුව…? පෙර ආත්මෙත් ඔබ දැකපු දැකපු අයව ඇසුරු කරන්ට ගියා. සිතා බැලුවේ නෑ. සොරුන්ගේ වචන අසා සොරුන් ඇසුරට වැටුනා. සිල්වතුන්ගේ වචන අසා සිල්වතුන් ඇසුරට වැටුනා. දැන්වත් සිහිමුළා නොකරගෙන සිහි නුවණින් කටයුතු කරන්ට. එදා මහිලාමුඛ ඇතා වෙලා සිටියේ දේවදත්ත ගේ පිරිසේ ඇසුරට වැටුනු මේ භික්ෂුවයි. රජ්ජුරුවෝ වෙලා සිටියේ අපගේ ආනන්දයන්. නුවණැති ඇමතියා වෙලා සිටියේ මමයි” කියා භාග්‍යවතුන් වහන්සේ මෙම මහිලාමුඛ ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

ඔබත් මෙවැනි ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

The post 026. මහිලාමුඛ ජාතකය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here