025. තිත්ථ ජාතකය – Sri News

0
14

පින්වතුනේ, පින්වත් දරුවනේ, එක් එක් ජීවිත වල අප පුරුදු කරන දේවල් අපගේ සසර පුරුදු හැටියට බොහෝ කල් දිගින් දිගට පවතින්ට පුළුවනි. ධර්මය අවබෝධ කරගැනීමේදී පවා කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ ඒ සසර පුරුද්ද අනුව විය හැකියි. මේ තිත්ථ ජාතක කථාවෙන් කියවෙන්නේත් සසර පුරුද්දක් ධර්මාවබෝධයට බලපෑ ආකාරයයි.

සැවැත් නුවර රන් කැටයම්කරුවෙකුගේ පුත්‍රයෙක් සිටියා. ඔහුටත් ධර්මය අසා පැවිදි වීමේ ආසාව ඇතිවුනා. මව්පියන්ගෙන් අවසර ගත් මොහුට අපගේ සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් ලෙස පැවිදි වෙන්ට වාසනාව ලැබුනා.

මේ නවක භික්ෂුව ඉතාමත් ගුණගරුකයි. වත පිළිවෙතින් යුක්තයි. උත්සාහයෙනුත් යුක්තයි. අපගේ සාරිපුත්තයන් වහන්සේ මේ නවක භික්ෂුවට පැවිදි වූ අලුත කාහටත් දෙන මූල කර්මස්ථානය වන අසුභ භාවනාව කියාදුන්නා. ඉතින් මේ භික්ෂුවත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ අවවාදය පිළිගෙන අසුභ භාවනාවෙහි යෙදුනා. දෙතිස් කුණුපයන් මෙනෙහි කරන්ට පටන් ගත්තා. අහෝ කිසිවක් අරමුණු කරගන්ට බෑ. තිබුනාටත් වඩා වේගයෙන් සිත විසිරෙන්ට පටන් ගත්තා. එතකොට මේ භික්ෂුව ගිහින් අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේට ඒ ගැන කියා හිටියා. අපගේ සාරිපුත්තයන් වහන්සේ නැවත නැවතත් අසුභ අරමුණු විස්තර කොට දුන්නා. ඒ භාවනාවෙහි ම උත්සාහවත් කළා. මේ භික්ෂුවත් එක දිගට උත්සාහ කළා. නමුත් ස්වල්ප මොහොතකටවත් අසුභ භාවනාව තුළ සිත තැන්පත් කරගන්ට බැරිවුනා.

එතකොට අපගේ සාරිපුත්තයන් වහන්සේ තම ශිෂ්‍ය භික්ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ට වැඩියා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් සාරිපුත්තයෙනි, භික්ෂුවක් කැඳවාගෙන ආවා නේද?”

“එහෙමයි භාග්‍යවතුන් වහන්ස, මං මේ භික්ෂු නමට භාවනාව දිගටම කියාදුන්නා. දැනට හාරමාසයක් ගතවුනා. සිතේ විසිරීම වැඩිවුනා මිසක් සිත තැන්පත් වුනේ නෑ. එතකොට ස්වාමීනී, මට සිතුනේ මේ නම භාග්‍යවතුන් වහන්සේ විසින් ම හික්මවිය යුතු කෙනෙක් වෙන්ට ඇති කියලයි. ඒ නිසයි කැඳවාගෙන ආවේ”

“සාරිපුත්තයෙනි…. ඔබ මේ ශිෂ්‍ය නමට දුන් භාවනාව කුමක්ද?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං දිගටම විස්තර කළේ අසුභ භාවනාවයි”

“සාරිපුත්තයෙනි, මොහුව හික්මවිය යුත්තේ ආසයානුසය ඤාණය තුළින් බලලයි. ආසයානුසය ඤාණය ශ්‍රාවක ඤාණයක් නොවෙයි. කමෙක් නෑ සාරිපුත්තයෙනි, මේ නම මෙහේ නවත්වා යන්ට. සවසට ඇවිත් එක්කරගෙන යන්ට පුළුවන් නොවැ”

අපගේ සාරිපුත්තයන් වහන්සේ තම ශිෂ්‍ය නම භාග්‍යවතුන් වහන්සේ වෙත රඳවා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුනා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව පොරවා සිටි පාංශුකූල චීවරය වෙනුවට පොරවාගැනීමට අලුත් සිවුරකුයි අඳනයකුයි දුන්නා. භාග්‍යවතුන් වහන්සේත් සමග පිඬුසිඟා වැඩියා. සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු නමත් කැඳවාගෙන විහාර චාරිකාවේ වැඩියා. එහි අඹ වනයක රමණීය පොකුණක් මැව්වා. ඒ පොකුණ කදිම නෙළුම් විලක්. මේ නෙළුම් විලේ විශාල නෙළුමක් මැව්වා.

“පින්වත් භික්ෂුව, දැන් ඔබ මෙතන වාඩිවෙන්ට. හොඳ හැටියට මේ නෙළුම දිහා බලාගෙන ඉන්ට ඕනෑ” කියලා අවවාද කොට ගන්ධ කුටියට වැඩියා. ඉතින් අර භික්ෂුව නෙළුම දිහාම බලාගෙන සිටිද්දි තම සිත ක්‍රම ක්‍රමයෙන් මැනවින් එකඟ වුනා. ප්‍රීතියත් සැහැල්ලුවත් ඇතිවුනා. එතකොට අර නෙළුමේ පෙති ටිකෙන් ටික පරවෙන්ට පටන් ගත්තා. පෙති හැලෙන්ට පටන් ගත්තා. නෙළුම් රේණු හැකිලුනා. මැලවී ගියා. එතකොට ඒ භික්ෂුවට මෙහෙම හිතුනා. ‘ආහා…. මේ නෙළුම මොනතරම් ලස්සනට තිබුනාද! ටික වේලාවකින් ඒ හැම දෙයක්ම වෙනස් වුනා. මැලවී ගියා. පෙති හැලුනා. ජරාවට පත්වුනා. මේ ශරීරයත් මේ විදිහ තමයි. පෙනුමට තියෙන්නේ සුළු කාලයකටයි. කෙමෙන් කෙමෙන් ජරාවට යනවා. මේක ධර්මතාවක්’ කියලා සිතද්දී භාග්‍යවතුන් වහන්සේ ගඳ කිළියේ වැඩ සිටිමින්ම ආලෝකයක් පතුරුවා මේ ගාථාව වදාළා.

මේ ගාථාව අසනවාත් සමගම ඒ භික්ෂුව පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත්වුනා. එදා දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන් වහන්සේලා මේ අසිරිමත් සිද්ධිය ගැන කථාබස් කරමින් සිටියා.

“ඇවැත්නි, සම්බුදු නුවණ හරි අසිරිමත් නේද? අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ හාර මාසයක් අවවාද කරලත් ඒ භික්ෂුවට චිත්ත සමාධි මාත්‍රයක් උපදවාගන්ට බැරිවුනා. නමුත් වරුවයි ගියේ. භාග්‍යවතුන් වහන්සේ උතුම් රහත් ඵලය දක්වා හික්මවා වදාළා නොවැ. අහෝ…. බුද්ධානුභාවය නම් මහා ආශ්චර්යයක්!”

එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩමවා වදාළා. භික්ෂූන් වහන්සේලා තමන් කථාබස් කරමින් සිටිය කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට සැළකළා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ නමක් තමන්ගේ ඤාණ බලයක් වන ආසයානුසය ඤාණයෙන් කෙනෙකු හික්මවන එක පුදුමක් නොවෙයි. නමුත් මං පෙර ආත්මයේ පවා සත්වයන්ගේ චිත්ත ස්වභාවය හඳුනාගෙන කටයුතු කළා.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ අතීතයේ බෝසත් අවධියේ කටයුතු කළ ආකාරය ගැන කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ තිත්ථ ජාතකය වදාළා.තිත්ථ කියන්නේ තීර්ථය කියන එකයි.

“පින්වත් මහණෙනි, යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්දත්ත නම් රජ්ජුරු කෙනෙක් රජකම් කළා. ඒ කාලේ මහ බෝධිසත්වයෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පුරෝහිත ඇමතියා හැටියට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. දවසක් රජ්ජුරුවන්ගේ මංගල අශ්වයා ස්නානය කරවන පැන් තොටෙහි බාල වර්ගයේ වල් අස්ප ගණයට අයත් වෙළඹකව නහවලා. මංගල අශ්වයා ස්නානය කරවන්නට එතනට කැඳවාගෙන ගියා. වල් අශ්වයෙකු එතැනට බැසගත් වග මංගල අශ්වයාට ඉවෙන් දැනුනා. ඔහු ඒ පැන් තොටට බසින්ට කොහෙත්ම කැමති වුනේ නෑ. අශ්වයා වතුරට බහින්නේ නැත්තේ මන්දැයි යන කරුණ සොයාගන්ට සේවකයන්ට බැරිවුනා. ඔවුන් ගිහින් රජුට දැනුම් දුන්නා. “දේවයන් වහන්ස, අද හරි වැඩක් නොවැ. අපේ මංගල අශ්වයා වතුරට බහින්නේම නෑ.

මොකක්දෝ වෙනසක් වෙලා” රජ්ජුරුවෝ බෝසතුන්ව ඇමතුවා. “පණ්ඩිතයෙනි, පැන් තොට(තිත්ථ) ළඟට යන්ට. ගිහින් දැනගන්ට අපේ අශ්වයාට මොකද වුනේ කියලා.”

බෝධිසත්වයෝ ගංතෙරට ගිහින් අශ්වයාව හොඳ හැටියට පරීක්ෂා කළා. දැනගන්ට නම් කිසිම රෝග ලක්ෂණයක් නෑ. වෙනත් අශ්වයෙකු වතුරට බැස්ස අඩි පාරවල් ගං ඉවුරේ තියෙනවා දකින්ට ලැබුනා. ‘ම්…. මීට කලින් වෙනත් අශ්වයෙක් වතුරට බැහැලා නාලා තියෙනවා වගේ. මේ අශ්වයා වතුරට බහින්ට පිළිකුල් කරන්නේ ඒ නිසා වෙන්ට ඕනෑ’ කියලා සිතුවා. අස් ගොව්වා කැඳවා විමසුවා. “එම්බා පුරුෂය, මේ අශ්වයා ගේන්ට කලින් මෙතන වෙනත් අශ්වයෙකුව ස්නානය කෙරෙව්වාද?”

“එහෙමයි හිමියනි, එක්තරා වෙළඹකව නැහැව්වා තමයි”

“ඒක තමයි…. මේ මංගල අශ්වයා තමන් ගැන තියෙන සාඩම්බරකම නිසා බාල අශ්වයෙකු ස්නානය කරවපු තැන ගැන පිළිකුළක් ඇතිවෙලා. ඒකයි මෙතනට බහින්ට අකමැති වුනේ. වෙනත් පැන් තොටකට රැගෙන යන්ට. එතකොට අශ්වයා එතැනින් වතුරට බසීවි. භවත් අස්ගොව්ව…. ගිතෙල් මීපැණි යුතු කිරිබතක් වුනත් හැමදාම වළඳන්ට ගියොත් එපා වෙනවා. මේ මඟුල් අසුත් හැමදෑම ස්නානය කරවන්නේ මෙතැන නොවැ. එනිසා අද වෙනත් තැනකට ගෙනියන්ට. එතැනින් ස්නානය කරවන්ට. එතැනින් පැන් පොවන්ට” කියලා මේ ගාථාව පැවසුවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here