024. ආජාණීය අශ්වයා(ආජඤ්ඤ ජාතකය) – Sri News

0
45

ආජාණීය අශ්වයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මෙයත් කලින් වගේම කථාවක්. මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ එක්තරා භික්ෂුවකට ධර්මයේ හැසිරෙන්ට වීරිය නැතුව ගියා. අනේ මට මොකවත් කරගන්ට බෑ කියලා හිතෙන් අසරණ වුනා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට අවවාද කළා.

“පින්වත් භික්ෂුව, සෑම දියුණුවක් ම පවතින්නේ නොකඩවා කරන උත්සාහය මතයි. දැන් විතරක් නොවෙයි. ඉස්සරත් එහෙම තමයි. ඉස්සර කාලේ හිටපු නුවණැති අය ඉතාම අපහසු අවස්ථා වලදී පවා සතුරන්ගෙන් දරුණු ප්‍රහාරයන්ට ලක්ව සිටියදීත් උත්සාහය අත්හළේ නෑ. අන්න ඒ විදිහටයි කටයුතු කරන්ට ඕනෑ”

එතකොට භික්ෂූන් වහන්සේලා අතීතයේ වීරිය අත්නොහළ නුවණැත්තන්ගේ කථාව ගැන කියාදෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා. “පින්වත් මහණෙනි, ගොඩාක් ඈත කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. මේ බරණැස් නගරය ඉතාම සමෘද්ධි සම්පන්නයි. ඒ නිසා කලින් වගේම රජවරු සත් දෙනෙක් ඇවිත් බරණැස් රාජ්‍යය වට කළා. බරණැස් රජ්ජුරුවෝ ඇමතිවරු රැස්කොට ගතයුතු පියවර ගැන විමසුවා.

“දේවයන් වහන්ස, රථයේ සිට යුද්ධ කරන්ට පුළුවන් ඉතාම දක්ෂ යෝධයෙක් අපට ඉන්නවා නොවැ. ඊටම ගැලපෙන සහෝදර ආජානේය අශ්වයෝ දෙදෙනෙකුත් ඉන්නවා. මේ අය ඉන්නා තුරු අපට භය වෙන්ට දෙයක් නෑ. ඉස්සෙල්ලාම අපි මෙයාලාව යුද්දෙට පිටත් කරමු.”

රජ්ජුරුවෝ එයට කැමති වුනා. ආජාණීය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයාත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැංගා. එක එක බලකොටුවට කඩාපැන්නා. සයවෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමහල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක්වුනා. නමුත් අශ්වයා ලේ වැගිරෙද්දි රථය ප්‍රමාද කළේ නෑ. රජ මිදුලට ම ආවා. යෝධයා වහාම අශ්වයාම රථයෙන් ලෙහෙව්වා. අශ්වයාගේ වෙලා තිබුනු සන්නාහය බුරුල් කළා. හෙමිහිට හාන්සි කෙරෙව්වා. සේවකයෙක් දුවගෙන ගිහින් අස්ගාලෙන් වෙනත් අශ්වයෙකුව රැගෙන ආවා. හනිකට ඔහුව සරසන්නට පටන් ගත්තා. ඒ සරසන හඬ ඇසී වැඩිමහල් බෝසත් අශ්වයා ඇස් ඇරලා බැලුවා. ‘මේ අශ්වයාව යෙදුවෝතින් අවසන් මොහොතේ අපි හැමෝම පරදිනවා. අපේ රජ්ජුරුවන්ටත් යටත් වෙන්ට සිද්ධ වෙනවා” කියලා තේරුනා. බෝසත් අශ්වයා යෝධයාව කැඳෙව්වා. වැතිරී සිටගෙන ම මේ ගාථාව කිව්වා.

යෝධයාට වැඩිමහල් අශ්වයා හොඳටම තුවාල වෙලත් කියූ ගාථාව තේරුනා. සරසමින් සිටි අශ්වයාව අත්හැරියා. වහා අසු ළඟට ඇවිත් රෙදි පටි වලින් තුවාලේ වෙළුවා. නැගිට්ටෙව්වා. ආයෙමත් සන්නාහයෙන් සැරසෙව්වා. රථයට යෙදෙව්වා. හිතට ධෛර්යය ගත් බෝසත් අශ්වයා වේදනාව මැඩගෙන යුද්ධයට ගියා. සත්වෙනි බලකොටුවත් බින්දා. ඒ රජාවත් අල්ලාගෙන මාලිගාව දොරටුව ළඟට ආවා. දැන් අශ්වයාට ගොඩාක් අමාරුයි. යෝධයා අශ්වයාගේ සන්නාහය ලිහෙව්වා. ඇලේකට හාන්සි කෙරෙව්වා. අල්ලාගත් සතුරු රජවරුන්ව නොමරා ඔවුන්ව දිවුරවා නිදහස් කරන්ට කියා රටවැසියාට ආදරයෙන් සලකන්ට කියා රජ්ජුරුවන්ට අවවාද කොට දෑස් පියාගත්තා”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ජාතක දේශනාව අසාගෙන සිටිද්දී අර භික්ෂුවගේ උත්සාහය බලවත් වුනා. සිත ප්‍රබෝධවත් වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය වදාළා. අර භික්ෂුව සියලු අකුසල් ප්‍රහාණය කොට සියලු කුසල් වඩා උතුම් රහත් ඵලයට පත්වුනා. එදා බරණැස් රජු වෙලා සිටියේ අපගේ ආනන්දයන් වහන්සේ. ඉතාමත් වීරියවන්ත වැඩිමහල් ආජාණීය අශ්වයා වෙලා සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේ.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

ඔබත් මෙවැනි ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here