023. භෝජ ආජානීය අශ්වයා(භෝජාජානීය ජාතකය)

0
18


භෝජ නම් ආජානීය අශ්වයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

යම්කිසි වැඩක් පටන් ගත් විට කාට වුනත් බාධා ඇතිවෙන්ට පුළුවනි. අපහසුතා ඇතිවෙන්ට පුළුවනි. සිය උත්සාහය නැතිවෙන්ට පුළුවනි. එබඳු අවස්ථාවක තමාව දිරිමත් කරන්ට කවුරුන් හෝ සිටින්ට ඕනේ. එහෙම දිරිමත් වීමෙන් නැවතත් සිත ධෛර්යවත් කරගන්ට ලැබුනොත් තම අදහස් මුදුන්පත් කරගන්ට ඉඩ සැලසෙනවා. මෙයත් එබඳු කථාවක්.

සැවැත් නුවර සිටි එක්තරා තරුණයෙක් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව බුදු සසුනෙහි පැවිදි වුනා. සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගැනීමේ සුවිසල් බලාපොරොත්තුවක් තිබුනා. නමුත් ටික දවසක් යද්දි තමන් අදහස් කළ පරිදි බණ භාවනා කරගන්ට අපහසු බව මේ භික්ෂුවට වැටහුනා. කෙලෙස් නිසා මහත් පීඩාවකට පත්වුනා. ඔහේ ඉන්නං වාලේ කාලය ගත කළා. මීට වඩා ගිහි වුනා නම් හොඳයි කියා කියා හිටියා. එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවට නොයෙක් අයුරින් අවවාද කළා. එහෙත් සිත නගා සිටුවාගන්ට බැරිවුනා. ඊටපස්සේ භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන විමසුවා.

“හැබෑද භික්ෂුව… කුසල් දහම් දියුණු කිරීම එපා වුනාද? පීඩාවකින්ද ඉන්නේ? ධර්මයේ හැසිරීමේ උත්සාහය අත්හැරියාද? ගිහි වෙන්ට තියෙනවා නම් හොඳයි කිය කියාද ඉන්නේ?”

“එහෙමයි ස්වාමීනී”

“පින්වත් භික්ෂුව, ඉස්සර නුවණැති අය තමන්ට කිසිවක් කරගන්ට බැරි අවස්ථාවේ පවා දිගටම වීරිය පැවැත්තුවා. සතුරන්ගේ ප්‍රහාරයකට ලක්වෙලා සිටියදීත් වීරිය අත්හැරියේ නෑ. අන්න එබඳු වීරියක් ඇතිකර ගන්ට වටිනවා” එතකොට භික්ෂූන් වහන්සේලා ඒ වීරියවන්තයාගේ ජීවිතය ගැන කියාදෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ භෝජ ආජානීය කියන මහා වටිනා සෛන්ධව අශ්ව කුලේ ඉතාම අලංකාර අශ්වයෙක් වෙලා උපන්නා. බරණැස් රජ්ජුරුවන්නේ මංගල අශ්ව රාජයා වුනෙත් ඔහුමයි. ඒ අශ්වයාට කහවණු ලක්ෂයක් අගනා රන් බඳුනක අග්‍ර රසයෙන් යුක්ත ආහාරපාන වර්ග ලැබුනා. අශ්වයා වෙනුවෙන් විශේෂයෙන් සකස් කළ මණ්ඩපයත් සුවඳ වර්ග සතරකින් සුවඳවත් කොට තිබුනා. අශ්වයාට සැතපෙන්ට මුදු මොළොක් රතු පලසක් අතුරලා තිබුනා. රන් තරුමල් වලින් සැරසූ උඩු වියනක් තිබුනා. නිරන්තරයෙන් සුවඳ තෙල් පහන් දැල්වුනා.

ඔය බරණැස් රාජ්‍යය ඉතාමත් සමෘද්ධිමත්. ඒ කාලේ බරණැස් රාජ්‍යය නොපතපු රජෙක් නැති තරම්. එක් කාලෙක අවට රාජ්‍ය වල රජවරු සත් දෙනෙක් බරණැස් රාජ්‍යය ආක්‍රමණය කරන්ට ඇවිත් වටේටම කඳවුරු බැඳගත්තා. “එක්කෝ රාජ්‍යය දෙනු! නැත්නම් අපත් සමග යුද්ධ කරනු!” කියලා පණිවිඩ එව්වා. රජ්ජුරුවෝ හනික ඇමතිවරුන්ව රැස්කළා. “දරුවෙනි…. තත්වය සතුටුදායක නෑ. දැන් මොකක්ද කරන්නේ…. යුද්ධ කරනවා ඇරෙන්ට වෙන විසඳුමක් නෑ”

“හරි දේවයන් වහන්ස…. අපට යුද්ධ කරන්ට වෙනවා. නමුත් යුද්ධයේ ආරම්භයේදීම නුඹවහන්සේ මැදිහත් වෙන එක නොවිය යුතුයි. අපට ඉතාමත් දක්ෂ අශ්වාරෝහකයෙක් ඉන්නවා නොවැ. අපි ඉස්සෙල්ලාම ඔහුව පිටත් කරමු. බැරිවුනෝතින් ඊළඟට ගතයුතු පියවර බලමු.”

එතකොට රජ්ජුරුවෝ ඔහුව කැඳෙව්වා. “දරුව… රජවරු සත් දෙනෙක්ම අපව වට කරගෙන ඉන්නේ. ඒ රජවරු සත්දෙනා සමග යුද්ධ කරන්ට තොපට ඇහැකිද?” “දේවයන් වහන්ස, ඉදින් මට නුඹවහන්සේගේ භෝජ ආජානීය අශ්ව රාජයා ලබාදෙනවා නම් රජවරු සත් දෙනෙක් නොවෙයි මුළු දඹදිව රජවරුන් එක්ක වුනත් යුද්ධ කරන්ට මට පුළුවනි.” “එහෙනම් දරුව, භෝජ ආජානීය අශ්වයා වේවා වෙනත් අශ්වයෙක් වේවා ඔබ කැමති අශ්වයෙකු අරගෙන ගොහින් යුද්ධ කරන්ට.”

එතකොට ඔහු රජ්ජුරුවන්ට වන්දනා කළා. මාලිගයෙන් බැස්සා. භෝජ ආජානීය අශ්වයා මණ්ඩපයෙන් එළියට ගත්තා. යුද්ධ සන්නාහයෙන් සැරසෙව්වා. තමාත් සියලු යුද්ධ සන්නාහයෙන් සැරසුනා. කඩුව බැඳගත්තා. සෛන්ධව අශ්වරාජයාගේ පිට මත නැගී විදුලියක් නික්මෙන සෙයින් නගරයෙන් නික්මුනා. පළවෙනි බලකොටු බින්දා. එක් රජෙකුව ජීවග්‍රාහයෙන්ම අල්ලාගත්තා. නගරයට ගෙනැවිත් හමුදාවට භාර දුන්නා. දෙවැනි රජාවත් අල්ලාගත්තා. ඔය විදිහට ඉතා පහසුවෙන් රජවරු පස් දෙනෙකුව අල්ලා ගත්තා. සයවෙනි බලකොටුව බිඳලා සයවෙනි රජුව අල්ලාගන්නා අවස්ථාවේ භෝජ ආජානීය අශ්වයාට දරුණු වූ මාරාන්තික ප්‍රහාරයකට ලක්වෙන්ට සිදුවුනා. ලේ වැගිරෙන්ට පටන් ගත්තා. නමුත් ඒ පහර කාගෙනම සයවෙනි රජාවත් අල්ලාගෙන හමුදාවට භාරදුන්නා. අශ්වයා මහත් වේදනාවකින් කෙඳිරි ගෑවා. එතකොට අශ්වාරෝහකයා රජ දොරටුව අභියස අශ්වයාව හාන්සි කෙරෙව්වා. අශ්වයාගේ යුද සන්නාහය බුරුල් කළා. ඉක්මනින්ම වෙනත් අශ්වයෙකුට යුද සන්නාහකයක් බඳින්ට පටන් ගත්තා. බෝධිසත්වයෝ ඉතාම අපහසුවෙන්, මහත් වේදනාවෙන් හාන්සි වී සිටියදී සන්නාහකයක් සරසන ශබ්දය ඇසී හිස හරවා ඇස් ඇර බැලුවා. ‘අයියෝ…. මේ අශ්වයාවද සරසන්නේ…. මොහු කොහොමද මේ වැඬේ කරන්නේ? මොහුට මෙය කරන්ට බෑ. තව එක බලකොටුවයි බිඳින්ට තියෙන්නේ. මොහු මේ වැඬේට දක්ෂ නෑ. අපි ගත්තු සෑම උත්සාහයක්ම අසාර්ථක වෙනවා. අශ්වාරෝහකයත් විනාශ වෙනවා. අපේ වීරිය වතුරේ! සත්වෙනි රජාට යටත් වෙන්ට අපේ රජ්ජුරුවන්ටත් සිද්ධ වෙනවා. මට හැර මේ අවසන් වැඬේ වෙන කාටවත් කරන්ට බෑ. මේ වෙලාවේ සත්වෙනි රජාව අල්ලන්ට පුළුවන් වෙන සමර්ථයෙක් නෑ. මං දැන් පසුබහින්ට නරකයි” කියලා බෝසත් අශ්වයා අශ්වාරෝහකයාට කතා කොට මේ ගාථාව කිව්වා.

“වැතිරී සිටියත් බිම මා – සතුරන්ගේ හුල් පහරින්
සෛන්ධව කුලේ උත්තම – අසු ම ය මා තවමත්
එනිසා අසරුව මාව ම – ඔය වැඬේට යොදවගන්ට”

එතකොට අශ්වාරෝහකයා එය වහා තේරුම් ගත්තා. “මගේ අශ්ව රජෝ…. මට තේරෙනවා. නුඹට මිසක් වෙන කාටවත් මේ අවසාන මොහොත දිනන්ට බැහැ. නැගිටපන් මයෙ පුතා” කියලා භෝජ ආජානීය අශ්වයාගේ මුහුණ සිම්බා. අමාරුවෙන් නැගිට්ටෙව්වා. තුවාලය රෙදි පටි වලින් වෙළුවා. ආයෙමත් සන්නද්ධ කෙරෙව්වා. අශ්වාරෝහකයා අශ්වයාට මහත් සේ ආදරය දක්වා පිට උඩ නැග්ගා. අශ්වයා වේදනාව මැඬගෙන විදුලිය වගේ නික්ම ගියා. සත්වෙනි බලකොටුවත් බින්දා. ඒ රජාවත් අල්ලා ගත්තා. හමුදාවට භාර දුන්නා. බෝධිසත්ව අශ්වයාවත් රජ දොරටුව ළඟට ගෙනැවිත් හාන්සි කෙරෙව්වා. රජ්ජුරුවෝ අශ්වයා බලන්ට දුවගෙන ආවා. මහත් ආදරයෙන් වැළඳගත්තා. එතකොට අශ්වයා මෙහෙම කිව්වා.

“මහ රජ්ජුරුවෙනි, රජවරු සත්දෙනා මරවන්ට එපා. ආයෙමත් මෙවැනි දේවල් නොකරන වගට දිවුරවාගෙන නිදහස් කරන්ට. මටත් මේ අශ්වාරෝහකයාටත් දිය යුතු යමක් ඇත්නම් ඒ සියල්ල මොහුට ම දෙන්ට. සතුරු රජුන් සමග අල්ලාගත් යෝධයන්වත් මරවන්ට වටින්නේ නෑ. ඔවුන්වත් නිදහස් කරන්ට. රටවැසියාට පහසුකම් සලසන්ට. ගුණවත් ධාර්මික රජෙක් වෙන්ට කියලා අනුශාසනා කොට නිශ්ශබ්ද වුනා. අශ්වාරෝහකයා අශ්වයාගේ සන්නාහකය ගැලෙව්වා. එය ගලවනවාත් සමගම අශ්වයාගේ දෑස් පියවුනා. ප්‍රාණය නිරුද්ධ වුනා. රජ්ජුරුවෝ මහත් උත්සවාකාරයෙන් අශ්වයාගේ ආදාහන කටයුතු සිද්ධ කළා. අශ්වයාගේ අවවාද පරිදි ඒ රජවරු නිදහස් කළා. ධාර්මිකව පාලනය කළා.

පින්වත් මහණෙනි. ඒ කාලේ බරණැස් රජ්ජුරුවෝ වෙලා සිටියේ අපේ ආනන්දයන්. අශ්වාරෝහකයා වෙලා සිටියේ අපේ සාරිපුත්තයන්. භෝජ ආජානීය අශ්වයා වෙලා සිටියේ මමයි” කියා වදාළා. ඊටපස්සේ භාග්‍යවතුන් වහන්සේ වීරිය අත්හළ භික්ෂුවට අවවාද කොට වදාළා.

“පින්වත් භික්ෂුව, පෙර නුවණැති අය එබඳු අවස්ථා වලදීත් එබඳු බරපතල ප්‍රහාරයකට ලක්ව සිටියදීත් වීරිය අත් නොහැර කටයුතු කිරීම නිසා මුළු බරණැස් රාජ්‍යය ම බේරුනා. දැන් මා බඳු ශාස්තෘවරයෙක් සිටිද්දි නිවන් අවබෝධය සලසා දෙන මෙබඳු සසුනක පැවිදි වී වීරිය අත්හැරීම කොහෙත්ම සුදුසු නෑ. එනිසා ආර්ය සත්‍යාවබෝධයටමයි උත්සාහ කළ යුත්තේ” කියලා චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කළා. ඒ දේශනාව අවසන් වන විට වීරිය අත්හැර සිටි භික්ෂුව උතුම් රහත් ඵලයට පත්වුනා. මෙසේ සම්මා සම්බුදු කෙනෙකුගේ ජීවිතයත් බුදු සසුනත් සැබැවින්ම අසිරිමත් නොවේද!

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

ඔබත් මෙවැනි ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

The post 023. භෝජ ආජානීය අශ්වයා(භෝජාජානීය ජාතකය) appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here