020. නළපාන ජාතකය

0
13


බට දණ්ඩෙන් පැන් බිව් වඳුරන්ගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,මේ නළපාන ජාතකය හරීම ලස්සන කතාවක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝසත් කාලෙ පෙරුම් පුරන අවදියේ කරන ලද හාස්කම් වලින් සමහරක් ඒ වෙනකොටත් ඉතිරිවෙලා තිබුනා. ඒක වුනේ මෙහෙමයි.

ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයේ චාරිකාවේ වඩිමින් සිටිද්දී නළකපාන කියන ගමටත් වැඩියා. ඒ ගමේ නළකපාන කියල ලොකු පොකුණකුත් තියෙනවා. ඒ පොකුණ අසබඩ කෙතක කියල වනයක් තියෙනවා. ඒ නලකපාන ගමේ මිනිස්සු භාග්‍යවතුන් වහන්සේටයි භික්ෂු සංඝයාට යි වැඩ ඉන්න කුටි සෙනසුන් තනලා දුන්නා.

එදා ඒ භික්ෂූන් වහන්සේලා නලකපාන පොකුණෙන් පැන් පහසු වුනා. ඉඳිකටු දමන්න කුඩා ඉඳිකටු ගුලාවක් සකසාගන්ට හිතලා සාමණේරවරුන් ලවා ඒ අවට තිබුන බටගස් වලින් බටදඬු කප්පවා ගෙන ගෙන්නා ගත්තා. කපලා බලද්දී ඒ එක බට දණ්ඩකවත් මැදින් තැනින් තැන බටේ වැහුන පුරුක් නෑ! ඒ බට දණ්ඩ ඇතුලේ තනි සිදුරක් තියෙන්නේ. එතකොට ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා.

“මහණෙනි, ඔය බට පඳුරුවල ඕනෑම බටගසක් කපලා බැලුවොත් පෙනේවි මුල සිට අගට ම එකම සිදුරයි. මහණෙනි, මං පෙර ආත්මයක කළ අධිෂ්ඨානයකිනුයි මේ බට ගස්වල මැදින් තිබුන පුරුක් නැතිවුනේ.”

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා අතීතයේ සිදුවූ ඒ අධිෂ්ඨානය ගැන කථාව කියල දෙන්න කියල භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා.

“මහණෙනි, ගොඩාක් ඉස්සර ඔය කැලෑ මණ්ඩියේ මහා වනාන්තරයක් තිබුනේ. එතකොට ත් ඔය පොකුණ තිබුනා. ඔය පොකුණේ ඒ කාලෙ භයානක දියරකුසෙක් හිටියා. පොකුණට බහින බහින අය අල්ලාගෙන කනවා.

ඒ කාලෙ බෝධිසත්වයෝ ඉපදිලා හිටියේ වඳුරු යෝනියේ. ලොකු මුව පැටියෙක් තරමේ මහා වඳුරු රාජයෙක්. ඔය වනාන්තරේ වාසය කළ වඳුරු රාජයාට අසූ දහසක පමණ මහා වානර පිරිසක් හිටියා. ඒ වඳුරු රාජයා දවසක් තම වානර පිරිසට අවවාද කළා.

“දරුවෙනි, මේ වනාන්තරේ විෂ ගස් තියෙනවා. අමනුෂ්‍යයන් අධිගෘහිත පොකුණු තියෙනවා. ඒ නිසා නුඹලා නොකෑ විරූ පළතුරක් කන්ට කලින්, නොබිව් විරූ පැනක් බොන්ට කලින් මගෙන් අහලා අවසර ගන්ට ම ඕනා” කියල.

ඉතින් ඒ වානර පිරිස මහවඳුරා ගේ කීමට අනුව ම කටයුතු කළා. දවසක් මේ වානර පිරිස වෙන පළාතකට ගියා. ඒ පළාතේ පානය කරන පැන් පොකුණක් හොයා ගන්න ටික දවසක් ගතවුනා. වඳුරු පිරිස ඒ පොකුණ ළඟට ගියා. නමුත් පැන් බිව්වේ නෑ. මහවඳුරා එනකල් මග බල බලා සිටියා. බෝසත් වඳුරා ආවා.

“ඇයි දරුවෙනි…. පැන් බිව්වේ නැද්ද?”

“අපි මේ තමුන්නාන්සේ එනකල් මග බලා සිටියේ.”

“ඒක බොහෝම හොඳා” කියල පොකුණ වටේ ඉවුර දෙස හොඳට බලාගෙන ගියා. සත්තු පොකුණට බැහැපු ලකුණු නම් තියෙනවා. නමුත් පොකුණින් ගොඩට ආපු ලකුණක් නෑ. එතකොට මහවඳුරා පිරිස ඇමතුවා.

“දරුවෙනි…. නුඹලා කළ වැඬේ බොහෝ ම හොඳා. පැන් නොබීපු එක. මේක අමනුෂ්‍යයන් අධිගෘහිත පොකුණක්” දිය රකුසාත් මේ වානර රැළ දියට බසිනකල් බලා සිටියා. නමුත් කිසිවෙක් දියට නොබසින බව දැනගත්තා. පොකුණු ජල දෙබෑ කරගෙන භයානක රකුසු විලාසයෙන් උඩට මතු වුනා.

Nalapana Jathakaya

“හේයි…. ඇයි නුඹලා මේ පැන් පිපාසෙන් ඔය පිටත වාඩිවෙලා ඉන්නේ. වරෙල්ලා…. පොකුණට බැහැලා පැන් බීපල්ලා….”

එතකොට බෝසත් වඳුරා කතා කළා.

“හා!…. නුඹ ද මේ පොකුණට අරක්ගත්තු දිය රකුසා?”

“ඔව්… මං තමයි.”

“එතකොට පොකුණට බහින ඕනෑම කෙනෙක් ව නුඹ බිලි ගන්නවාද?”

“ඔව්… පොකුණට බහින කුරුල්ලෙක්වත් මං ඉතුරු කරන්නේ නෑ. මං නුඹලා හැමෝ ම කනවා”

“ඒවා කොහෙද…. මං අපේ එකෙක්වත් නුඹට කන්ට ඉඩ දෙන්නේ නෑ.”

“එහෙමනම් පැන් බීපන් බලන්න.”

“ඔව්…. අපි මේ පොකුණෙන් පැනුත් බීලයි යන්නේ. ඒ වගේ ම නුඹේ වසඟයට යන්නෙත් නෑ.”

“හා…. ඒක කොහොමෙයි කරන්නේ? පොකුණට බහින්නෙ නැතිව පැන් බොන හැටි බලමු එහෙනම්.”

එතකොට බෝසත් වඳුරු රජා ඒ ළඟ තිබුනු බට දණ්ඩක් කඩලා ගත්තා. ඒ බට දණ්ඩ අතට ගෙන සියලු සත්වයන්ගේ යහපත කැමැති බවට සත්‍යක්‍රියා කළා. සත්‍යක්‍රියා කරලා ඒ බට දණ්ඩ යටි කොණට කට තියලා පිම්බා. එතකොට ඒ බටදණ්ඬේ මැද තැනින් තැන තිබූ පුරුක් නැති වෙලා ගියා. තනි සිදුරකින් යුක්ත වුනා. බෝසත් වඳුරාට හරි සතුටුයි. ඊට පස්සෙ ඔහු මේ පොකුණ වටේ ඇති සියලු බටපඳුරුවල ඇති බටගස් පුරුක් රහිත තනි සිදුරකින් යුතු වේවා! යි අධිෂ්ඨාන කළා. ඒ මොහොතේ ඒ හැම බටගසක ම තිබුනු පුරුක් නැති වෙලා ගියා. තනි සිදුරකින් යුක්ත වුනා.

මහණෙනි, ඔය බටගස් වල පුරුක් නැතිව තනිසිදුරක් ඇතිවුනේ එදා මං කළ අධිෂ්ඨානය නිසයි. එදා පොකුණේ දියරකුසා වෙලා හිටියේ දේවදත්ත. අසූ දහසක් වානර පිරිස වෙලා හිටියේ බුදු පිරිස ම යි. උපාය කුසලතාවෙන් පිරිපුන් වඳුරු රාජයා වෙලා හිටියේ මම යි” කියල භාග්‍යවතුන් වහන්සේ මේ නළපාන ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

ඔබත් මෙවැනි ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>

The post 020. නළපාන ජාතකය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here