017. මාලුත ජාතකය

0
5


සුළං හැමීමෙන් ඇතිවෙන වෙනස ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, පෙර ආත්මවල ඇතිකරගත් පුරුදු මේ ආත්මයේත් ඇතිවෙනවා. ඒ ගැන තොරතුරු දැනගන්න ලැබෙන විට හරිම පුදුමයි. මෙයත් එවැනි කතාවක්.

ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩවාසය කළේ. ඒ කාලෙ ම වයසට ගිහින් පැවිදි වූ භික්ෂූන් දෙනමක් කොසොල් රටේ එක්තරා අරණ්‍යයක වාසය කළා. එක් තෙර නමක් ‘කලූ’ නමින් හැඳින්වුනා. අනිත් තෙර නම ‘ආලෝක’ නමින් හැඳින්වුනා. එක් දවසක් ආලෝක නමැති මහලු භික්ෂුව අනිත් මහළු භික්ෂුව ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

“ස්වාමීනී, කලූ, සීත ඇතිවෙන්නේ කොයි කාලෙට ද?”

“චන්ද්‍රයා කලුවර වේගෙන යන කාලෙට නොවැ සීත” කියල පිළිතුරු දුන්නා. එතකොට ඒ භික්ෂුව එයට එකඟ නොවී නිහඬ වුනා.

තව දවසක් කලූ නමැති භික්ෂුව අනිත් භික්ෂුව ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

“ස්වාමීනී, ආලෝක, සීත ඇතිවෙන්නේ කොයි කාලෙට ද?”

“චන්ද්‍රයා ආලෝක වේගෙන යන කාලෙට නොවැ සීත” කියල පිළිතුරු දුන්නා. එතකොට ඒ භික්ෂුව එයට එකඟ වුනේ නෑ. දෙන්නාගෙන් නිවැරදි දේ කියන්නේ කවුද කියල කාටවත් තෝරාගන්න බැරිවුනා. භික්ෂූන් දෙදෙනාම ප්‍රශ්නයට පිළිතුරු සොයාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට තමන් ගේ ප්‍රශ්නය පවසා සිටියා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සීත ඇතිවෙන්නේ කොයි කාලෙට ද?”

“මහණෙනි, මං මීට කලින් ආත්මෙකත් ඔබ ගේ ඔය ප්‍රශ්නයට ම පිළිතුරු දීලා තියෙනවා නොවැ.”

එතකොට ඒ භික්ෂූන් දෙනම කලින් ආත්මේ විස්තරේ කියාදෙන්න කියල භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කළා.

“මහණෙනි, ඒක මෙහෙමයි වුනේ. ඈත අතීතේ එක්තරා පර්වතයක් පාමුල සිංහයෙකුයි කොටියෙකුයි වාසය කළා. දෙන්නා හොඳ යාළුවෝ. එකම ගල්ලෙනේ වාසය කළේ. ඒ කාලේ බෝධිසත්වයෝත් ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඒ පර්වතේ පාමුල ම වාසය කළා. දවසක් ඔය සිංහයයි කොටියයි අතර වාදයක් හටගත්තා. කොටියා කිව්වෙ චන්ද්‍රයා කළුවර වේගෙන යන කාලෙට සීත වෙනවා කියලයි. සිංහයා කිව්වේ චන්ද්‍රයා ගේ එළිය වැඩිවේගෙන එන කාලෙට සීත වෙනවා කියලයි.

ඒ දෙන්නාට ප්‍රශ්නෙ විසඳාගන්න බැරිවුනා. බෝධිසත්වයන් ළඟට ඇවිත් ප්‍රශ්නය විමසුවා. එතකොට බෝධිසත්වයෝ මේ ගාථාව කිව්වා.

“සඳ කළුවර වෙන කාලෙට හෝ
සඳ මෝරා එන කාලෙට හෝ
සුළං හමා එයි නම් යම් කලක දී
එවිට යි සීතල ඇති වෙන්නේ
එනිසා මෙහි නුඹලා දෙන්නා
පරාජයක් නම් ලැබුවේ නෑ” කියලා පහදලා දුන්නා.

ඉතින් මහණෙනි, මං ඔය ප්‍රශ්නෙට ඒ කාලෙම උත්තර දුන්නා නොවැ” කියල චතුරාර්ය සත්‍යය දේශනාව වදාළා. ඒ දේශනාවේ කෙළවර අර මහළු භික්ෂූන් දෙනම සෝවාන් ඵලයට පත්වුනා.

“මහණෙනි, ඒ කාලෙ කොටියා වෙලා හිටියේ මේ කලූ කියන භික්ෂුව. සිංහයා වෙලා හිටියේ ආලෝක කියන භික්ෂුව. ප්‍රශ්නය විසඳපු තාපසයා වෙලා හිටියේ මම යි” කියල වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේ ගේ කරුණාව මොනතරම් උතුම් ද! මේ තරම් සුළු කරුණක දී පවා පෙර ආත්මයේ විස්තර කියලා දෙනවා. ඒ ප්‍රශ්නය එය අසන අයගේ යහපතට යොදනවා. බුදු කරුණාව ආශ්චර්යවත් ම යි.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 017. මාලුත ජාතකය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here