මිග් යානා මිලදී ගැනීමේ සිද්ධියේ විමර්ශන කඩිනම් වෙයි!

0
34


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා 8ක් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන ගණනක මහ පරිමාණ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කඩිනම් කර ඇතැයි නීතිපතිවරයා, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊ​යේ (30 වැනිදා) දැනුම් දුන්නේය.

2006 වසරේදී සිදුවූ මෙම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඊට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම කරුණු කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රශ්නගත මිග් යානා 8 මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලෙස නම් කර ඇති සිංගප්පූරු ජාතිකයන් දෙදෙනකුට නිකුත් කර ඇති නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න ඉල්ලා සිටියේය.

එම සැකකරුවන් දෙදෙනා විමර්ශනය සඳහා සහාය වීමට මෙරටට පැමිණීමට සූදානමින් සිටින හෙයින් ඔවුන්ට එරෙහිව නිකුත් කර තිබෙන නිල් නිවේදනය ආපසු කැඳවන ලෙසද ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න ඉල්ලා සිටියේය.

මෙම නඩුව ආරම්භ කර ඇත්තේ 2015 වසරේදීයි. මීට අදාළ ගනුදෙනුව සිදුවී ඇත්තේ 2006 වසරේදීයි. ලංකාවේ පැවැති යුදමය වාතාවරණය යටතේ මෙම මිග් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතුකර තිබෙනවා. රජය විසින් මෙවැනි මිලදී ගැනීමක් කරනවා නම් නිසි පරිදි ටෙන්ඩර් පටිපාටියක් තිබිය යුතුයි. නමුත් මෙහි ටෙන්ඩර් කැඳවීම අවලංගු කර තිබෙනවා. මෙතනින් තමයි හොරකම පටන් ගන්නේ. මෙම ගනුදෙනු කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුක්රේන් රජය විසිනුයි. මෙම විමර්ශනය 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළත් 2024 වනතුරු වසර 9ක්. ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා ගන්න බැරි වුණා. මෙය ඩොලර් මිලියන 14ක ගනුදෙනුවක්. නමුත් ඊට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබූ ගිවිසුමක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනතෙක් කිසිදු සැකකරුවකු අධිකරණයට වෙත ඉදිරිපත් කර නැහැ. මෙම සිද්ධියට අදාළ ටෙන්ඩර් පටිපාටිය අවලංගු කර පුද්ගලයන් උසාවියට මෙතෙක් රැගෙන විත් නැහැ. පැහැදිලි සාක්ෂි තිබියදී විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. සාක්ෂිකරුවන් නඩුවල විත්තිකරුවන් බවට පත්කිරීම නිසා අපරාධ නඩුවලින් විත්තිකරුවන් 85%ක් නිදහස් වෙනවා. වසර 9ක් ගත වෙලත් මිග් යානා වංචාවට අදාළ විත්තිකරුවන් සොයා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට බැරි නම් වැඩක් තියෙනවා දැයි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මාගේ සේවාදායකයින් දෙදෙනා කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා රජයට සල්ලි දෙන්න පමණයි. මිග් යානා ගන්න සල්ලි නොතිබුණු නිසා ඔවුන් දී තිබෙනවා. මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් මාගේ සේවාදායකයින් දෙදෙනා සාක්ෂිකරුවන් බවට පත් කළ යුතුයි. අවශ්‍ය නම් සූම් තාක්ෂණය ඔස්සේ ඔවුන් කටඋත්තර දෙන්න කැමැතියි. එම නිසා ඔවුන්ට එරෙහිව නිකුත් කර ඇති නිල් නිවේදනය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here