– ජනපති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් පවසයි
පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.
අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රට මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති ජයග්‍රහණ කරා යාමේ දී සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ දේශපාලන වෙනස්වීම්වලදී රාජ්‍ය නිලධාරීන් පිළිබඳ පූර්ව චිත්‍රණයක සිට කටයුතු කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙන නමුත් අද සිට රාජ්‍ය නිලධාරින්ගේ හොඳ නරක මනින නිර්ණායකය බවට පත් වන්නේ ඔවුන් ලබාදෙන දායකත්වය බවයි. රාජකාරී ඉටු කිරීමේ දී රාජ්‍ය නිලධාරින්ට කොතැනක හෝ යම් අසාධාරණයක් හෝ අකටයුත්තක් සිදු වන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආදායම් උපයන දෙපාර්තමේන්තු පිළිබඳ ජනතාව තුළ ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන අතර එය වෙනස් කිරීමට අසීරු වුවද තමන් පිළිබඳ යම් අයහපත් චිත්‍රයක් තිබේ නම් එය වෙනස් කර ගැනීමට සියලු නිලධාරින්ට නව රජය යටතේ අවස්ථාව ලැබී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
Sri News Media