ප්‍රීමා ‘U15 SLYL‘ නොවැම්බර් 21 දා සිට කොළඹ දී ඇරඹෙයි.

0
23


කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් (SLYL) 2024 තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ යළිත් වතාවක් අත්වැල් බැඳ ගැනීමට ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය ඉදිරිපත්ව සිටියි. කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ පැවති මාධ්‍ය හමුවකදී දෙපාර්ශ්වය අතර වූ ගිවිසුම පිළිබඳව නිවේදනය කරමින් ප්‍රීමා ‘U15 SLYL‘ පන්දුවාර 50 තරගාවලිය නොවැම්බර් 21 වනදා සිට කොළඹ ස්ථාන කිහිපයකදී ආරම්භ වන බව ප්‍රකාශ කරන්නට යෙදිණ. කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණය, කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, තර්ස්ටන් විදුහල් සහ රාජකීය විදුහල් ක්‍රීඩාංගණ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

ශ්‍රී ලංකා ප්‍රීමා සමූහය, ප්‍රීමා කුසලාන අවු. 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් හෙවත් “U15 SLYL – 2024“ තරගාවලියේ සාඩම්බර නිල සබඳකරු ලෙසින් කටයුතු කරන අතර මේ හරහා දහස් ගණනක් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය දිස්ත්‍රික්ක සහ පළාත් නියෝජනය කිරීමේ මහඟු අවස්ථාව උදා වී ඇත. එදා මෙන්ම අදද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයින් බොහොමයක් මෙම තරගාවලිය නිසා හඳුනාගත් අය වීම සුවිශේෂීය. 2007 වසරේ සිට ප්‍රීමා සමාගම මෙම සාඩම්බර සත්කාර්යයයේ නිරතවෙමින් සිටියි.

මේ සඳහා පළාත් කණ්ඩායම් පහක් තරග වදින අතර කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර එම කණ්ඩායම් වෙති. මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග නොවැම්බර් මස 28 වනදා සහ අවසන් මහා තරගය නොවැම්බර් මස 30 වැනිදාට යෙදී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, “මෙය අපගේ වාර්ෂික සංවර්ධන දින දර්ශනයේ ඉතා වැදගත් තරගාවලියක් වන අතර අපගේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත පරපුර පෝෂණය කිරීම මෙහි අරමුණයි. මේ සඳහා ප්‍රීමා සමූහයේ අඛණ්ඩ කැපවීම අප ඉතා අගය කොට සළකනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයේ, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා පවසා සිටියේ “15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීගය අනාගත පරපුරේ ක්‍රිකට් විශිෂ්ඨයින් තැනෙන තැනයි. ක්‍රීඩාව සඳහා ඔවුන්ගේ ඇති කැපවීම පෙන්වමින් සිය දක්ෂතා එළිදක්වන්නට මෙම වේදිකාව තනාදීමේ සබඳකරුවන් වීම ප්‍රීමා හි අපට ආඩම්බරයක්. මේ වසරේ තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් අප අතිවිශිෂ්ට දක්ෂතා, මනා ක්‍රීඩාශීලීත්වයක් සහ සුභවාදී තරගකාරීත්වයක් බලාපොරොත්තු වෙනවා. මේ තරුණ හැකියාවන් මත ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අනාගතය නිර්මාණය කරන අතරම ඊළඟ ක්‍රීඩා පරපුරට සිහින දකින්නට සහ විශිෂ්ටත්වය කරා යාමට උත්තේජනයක් සපයන්නටද අපි බලාපොරොත්තු වෙනවා” ලෙසිනි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, “ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ ක්‍රිකට් අංශය නගා සිටුවීමට සුවිශාල දායකත්වයක් දක්වමින් 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීගය සඳහා නිරන්තර සබඳතාවය ලබාදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීගය වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිනවා” යනුවෙනි.

http://www.sportwaynews.com



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here