ප්‍රශ්නයක් වුණු මහවිරු සැමරුම්:මහජන ආරක්ෂක ඇමති මුල මැද අග පහදයි.ජාතිවාදයටත් ඉඩක් නැති බවට සහතික වෙයි!

0
1


එම ප්‍රචාරයන්හි සත්‍ය අසත්‍යභාවය ගැන පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් ඇති කිරීමට උත්සහ කරන ජාතිවාදී ඇවිස්සීම්වලට නැවත කිසිදු ඉඩක් නොදෙන බවයි.

”පසුගිය දිනවල මහ විරු සැමරුමක් ගැන සමාජය තුළ කතා බහට ලක්වුණා. ඒ පිළිබඳ අපගේ ස්ථාවරය වුණේ තම තමන්ගේ මිය ගිය ඥාතින් සිහිපත්කිරීමට ඕනෑම අයෙකුට තියෙන අයිතිය අපි පිළිගන්නවා. LTTE සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයට අයත් කොඩි,සංකේත,ලාංජන යොදාගනිමින් මහවිරු සැමරුමක් කිරීමට ඉඩකඩක් නොමැති බව කිව්වා. මම මේ සම්බන්ධයෙන් පසුගිය දවසක ගල්ගමුව ප්‍රදේශයේ ඇහැටුවැව ප්‍රදේශයේදී කරන ලද ප්‍රකාශයක් එක්තරා පුවත්පතක් සාවද්‍ය අර්ථයක් එන ආකාරයෙන් ප්‍රකාශයට පත්කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා. මහවිරු සතිය තුළ උතුරේ සැමරුම් උත්සව 244ක් සිදුකළ බවට පොලීසිය වාර්තා කරලා තිබුණා. මේ සැමරුම් 244 අතරින් 10ක පමණක් යම් යම් LTTE සංකේත ප්‍රදර්ශනය කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. දිගටම පරීක්ෂණ පැවැත්වෙනවා. උතුරේ පැවැත්වෙන මෙම සැමරුම් උත්සව පාදක කරගෙන දකුණු පළාත්වල සමාජ මාධ්‍ය උපයෝගීකරගෙන විවිධ ප්‍රචාරයන් පහුගිය සති කිහිපය පුරාම ද්වේශ සහගතව,චේතනාන්විතව නිර්මාණය කරන ලද ප්‍රකාශයන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. ඒ තුළ අපිට බොහෝවිට දකින්නට ලැබුණේ උතුරේ පැවැත්වූයේ යැයි ඒත්තු ගැන්වෙන ආකාරයෙන් පසුගිය වර්ෂවල, සමහර ජායාරූප තිබුණේ 2018 වර්ෂයේ 2022 වර්ෂයේ පවත්වපු LTTE සැමරුම් සමාජ මාධ්‍ය තුළ උපයෝගීකරගෙන 2024 පැවැත්වූ සැමරුම් උත්සව ලෙස ඒත්තු ගැන්වීමට කටයුතු කරලා තිබුණා. සමහර ඒවා විදේශවල පැවැත්වූ සැමරුම්. දේශපාලන වශයෙන් බංකොලොත් වූ කණ්ඩායමක් විසින් මේ ක්‍රියාන්විතය දියත්කරලා තියෙනවා. ඒ සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව පියවර ගන්න පොලීසිය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. අපි පොලීසියට නිදහස් දීලා තියෙනවා ස්වාධීනව වැඩ කරන්න. බලය දීලා තියෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් දෙදෙනෙක්ම සිලින්ඩරය ලකුණින් ක්‍රියාකාරිකයින් හැටියට ඉන්නවා. එක් පුද්ගලයෙක් පහුගිය ජන්දයටත් ඉදිරිපත්වෙලා තියෙනවා. බොහෝ දේශපාලන ලබැඳියාවන් තිබෙන කණ්ඩායම් මේවට සම්බන්ධ බවට හඳුනා ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම් මාධ්‍ය නිදහසට ප්‍රශ්නයක්, භාෂණයේ නිදහස උල්ලංඝනය කීරීමක් කියල හුවා දක්වන්න සමහර අය උත්සහ කරනවා. පාලකයෝ බලය ලබාගන්න වගේම බලය පවත්වාගෙන යන්නත් ජාතිවාදය උපයෝගීකර ගත්තා. වඳ කොත්තු, වඳ ඇඳුම් ගැන රට පුරා ප්‍රචාරය කරලා,ජාතිවාදී ප්‍රකාශ නිකුත්කරලා එක්තරා දේශපාලන කණ්ඩායමක් තමන්ගේ න්‍යාය පත්‍රය අනුව මේ රටේ බලය ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කළා. එය පාස්කු ප්‍රහාරය බවට මේ රටේ කවුරුත් හඳුනා ගෙන තිබෙනවා.”

මේ අතර ජනාධිපතිවරයා හා තමන් සම්බන්ධයෙන් විවිධ විකෘති කරන ලද අසත්‍ය ප්‍රචාර ඇතිතරම් සංසරණය වෙමින් තිබුණද ඒ කිසිවකින් සැලෙන්නේ නැති බවත් ඒ කිසිවක් සැලකිල්ලට නොගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජාතිවාදය ඇවිස්සීමට අදාළව සුළු හෝ ඉඩක් නොතබන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here