තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ආයතනවල ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු නිරීක්ෂණ චාරිකාවක

0
7


තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ක්‍රීඩා විද්‍යායතනය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජේ.ආර්. ජයවර්ධන කේනද්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා හා යටිතල පහසුකම් අංශය, ජාතික යොවුන් සේනාංක මූලස්ථානය යන ආයතන කිහිපයක නිරීක්ෂණ කටයුතු සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් එක්විය.

එහිදී ජේ.ආර්. ජයවර්ධන කේනද්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා හා යටිතල පහසුකම් අංශය නිරීක්ෂණය කළ අමාත්‍යවරුන් එහි පවතින වර්තමාන තත්වය පිළිබඳ නිලධාරී මහත්ම මහත්මීන් සමඟ සාකච්ඡා කල අතර, ක්‍රීඩාවේ අනාගතය උදෙසා ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරියේ දී සංවර්ධනය විය යුතු කඩිනම් ව්‍යාපෘති පිළිබද සාකඡාවක නිරත විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා උසස් හා විධිමත් පාඨමාලා හරහා දැනුම ලබාදෙන ක්‍රීඩා විද්‍යායතනය නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරුන් සහභාගී විය. රටක ජාත්‍යන්තර ජයග්‍රහණයන්හි වටිනාකම හා වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරුන් ඒ සඳහා තාක්ෂණික මෙන්ම ප්‍රායෝගික න්‍යායන් පිළිබඳ මනා උපදේශනයක් හා පුහුණුවක් ලබා දෙන ක්‍රීඩා විද්‍යායතනයේ සේවය අගය කරන ලදී.

අනතුරුව ක්‍රීඩා වෛද්‍ය ආයතනය නිරීක්ෂණය කළ අමාත්‍යවරුන් එහි කටයුතු පිළිබඳව වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයේද අදහස් හා යෝජනා ලබා ගන්නා ලදි. මෙතෙක් පැමිණි ගමන් මග වෙනුවට නවීන තාක්ෂණය සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෝෂණය හා දක්ෂතා ඔප්නැංවෙන ලෙස ආබාධවලින් තොර ක්‍රීඩකයින් බිහි කිරීම වෙනුවෙන් කැපවූ ආයතනයක් බවට පත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදි.

මෙරට තරුණ තරුණියන්ගේ ජීවන කුසලතා වර්ධනයට සහ ඔවුන්ගේ හැකියාවන්ට අදාළ පුහුණුව ලබා දෙන ජාතික යොවුන් සේනාංක මූලස්ථානය නිරීක්ෂණය කළ අමාත්‍යවරුන්, පුහුණු පාඨමලා සඳහා යොමුවන තරුණ තරුණියන්ට විධිමත් ශිෂ්‍යයත්ව වැඩසටහනක් මෙන්ම ගෝලීය රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගත් වෘත්තීය අධ්‍යාපනයත් ලබා දීමට වෘත්තීය අධ්‍යාපන ආයතන සම්බන්ධ කර ගනිමින් නව වැඩසටහනක් නිර්මාණය කල යුතු බව සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් සුනිල් ගමගේ අමාත්‍යවරයා පවසා සිටියේ දියුණු රටක් ගොඩනැගීමේ කාර්යය පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට පමණක් නොව රටේ ජනතාවගේද වගකීමක් බවයි. ජන වරම අනුව බහුතරයක් දෙනා බලාපොරොත්තු වූ රට නිර්මාණය කිරීමට වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තම රජය විසින් ස්ථාපිත කර ඇති බව ද සදහන් කළේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here