ජැෆ්නා සහ හම්බන්තොට වැසි මැද ජය ලබති

0
19


පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සතුටු විය හැකි තත්වය විදහා පාමින් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 10 තරගාවලියේ තරග දෙකක සම්පූර්ණ ප්‍රතිපල ලබා ගන්නට ඊයේ දවසේදී හැකි විය.එම ඉදිකිරීම් සඳහා දායකත්වය දුන් බන්දුල වර්ණපුරගේ කැපවීම මෙන්ම දැණුමද,වර්ථමානයේ එම තත්ත්වය අඛණ්ඩව කළමණාකරණය පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් දරණ උත්සාහයද නිසා ක්‍රීඩා පිටිය ඉක්මණින් යථා තත්ත්වයට පත් කර ගැනීමට ඇති හැකියාව නිසා ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට සිය තෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට හැකි වූ අතර හම්බන්තොට බංගලා ටයිගර්ස් ද ජයග්‍රාහී කණ්ඩායමක් බවට පත් විය.ඊයේ තීරණයකින් තොරව නිමාවට පත් වුණේ කළම්ඹු ජගුවර්ස් සහ කැන්ඩි බෝල්ටිස් අතර තරගය ය.

ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සහ ගාල්ල මාවර්ලස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ජැෆ්නා කණ්ඩායම කඩුලු 7 ක් ජයක් වාර්තා කරන්නට සමත් විය.මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 105 ක් ලබා සිය පන්දු ඕවර් 10 නිමා කළේය.විශාල ලකුණු සහිත පිතිහරඹයක් දකින්නට නොලැඹුණු අතර ඇලෙක්ස් හෝල් ලැබූ ලකුණු 21 වැඩිම ලකුණු ප්‍රමාණය විය.පන්දු යැවීමේදී ප්‍රිටෝරියස් ලකුණු 18 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වූ අතර ප්‍රවීන් මැතිව්ස්,නුවන් තුෂාර සහ ජොර්ජ් ගාර්ටන් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

පිළිතුරු ඉණිම වෙනුවෙන් පළමු කඩුල්ලට පන්දු ඕවර් 4.1 ක් තුළ ලකුණු 53 ක සබඳතාවයක් පවත්වන්නට ටොම් කොලර් (32) සහ කුසල් මෙණ්ඩිස් (31) සමත් විය.කුසල් දැවී ගිය පසු කොලර්ට එකතු වූ චරිත් අසලංක ප්‍රවේගකාරී ඉණිමක් දියත් කළ අතර ඒ අනුව පන්දු ඕවර් 7.2 දී අසලංක ලකුණු 25 ට දැවෙන විට ලකුණු පූවරුව 97 ක් විය.කොලර් ලකුණු 105 ක් ව තිබියදී දැවී ගිය අතර කඩුලු 3 ට ජැෆ්නා ලකුණු පූවරුව 109 ක් බවට පත් වූයේ නවවන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී ය.

පන්දු යැවීමේදී තරගයේ සිව්වන ඕවරය යැවූ අත්දැකීම් බහුල ගාල්ල කණ්ඩායමේ නායකයා වූ මහේෂ් තීක්ෂණට එරෙහිව කුසල් මෙණ්ඩිස් පිට පිට පන්දු 3 දී හයේ පහර තුනක් එල්ල කරමින් කොලර් සමඟ එක්ව එම පන්දු ඕවරයේදී ලකුණු 30 ක් රැස් කිරිම ජැෆ්නා කණ්ඩායම තමන්ගේ පැත්තට තරගය ඇඳගත් මොහොත විය.

හම්බන්තොට කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වූයේ නුවරඑළිය කින්ග්ස් කණ්ඩායමය.ඒ නුවරඑළිය කණ්ඩායමට විසදුමක් ලැබුණු පළමු තරගය විය.පළමුව පන්දුවට පහර දුන් නුවරඑළිය කණ්ඩායම පන්දු ඕවර් 10 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත්තේ ලකුණු 82 ක් පමණි.එහිදී බෙනී හොවෙල් ලකුණු 29 ක් ද,නායක සව්රාබ් තිවාරි ලකුණු 26 ක් ද එක් කළ ද,නමගිය පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්දු,ධනුෂ්ක ගුණතිලක,උමාර් අක්මාල්,නයිල් මේයර්ස් මුල් කඩුලු 4 ලෙස ලකුණු 6 ක් තුළ දැවී ගියේය.
රිජඩ් ග්ලේසන් ලකුණු 23 ට කඩුලු 3 ක් දවා ගත්තද,ලක්ෂාන් ධනංජය තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙමින් පන්දු ඕවර් 2 ලකුණු 5 ට සීමා කර කඩුල්ලක් දවා ගැනීම නුවරඑළිය කණ්ඩායමට කළ විශාල හානියක් විය.මෙහිදී හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ජාතික ක්‍රිකට් පිටියට දෙයාකාරයකින් පිවිසි බලංගොඩ ප්‍රදේශයෙන් බිහි වුණ මද වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කිරීම කැපී පෙණින.ඒ අතරින් ඉසුරු උදාන මලල ක්‍රීඩාවේ සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්වන දස්කම් හරහා කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයට පිවිස තමන්ගේ ඉදිිරි ක්‍රිකට් ගමණ සකස් කර ගත් අතර එෂාන් මාලිංග ගමේ ක්‍රිකට් හරහාම රටේ ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුනාගෙන මේ වන විට අයිපීඑල් වරම් පවා දිනා ගෙන ඇත.ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රාදේශිය ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන ඇල්ම බැල්ම හේතුවෙන් අවධානය යොමු වූ ක්‍රීඩකයෙක් වන එෂාන් මාලිංග රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙක්ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here