ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නව විගණන වාර්තාවක් අනුව පසුගිය සමය තුළදී රජයට සිදු වූ තවත් විශාල පාඩුවක තොරතුරු හෙළිවී ඇත.
එනම්, විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කර තිබූ විද්‍යුත් වාහන 510 සඳහා පමණක් සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට අය කරගත හැකිව තිබූ රුපියල් මිලියන 1,384ක බදු ආදායමක් අහිමි වී ඇති බව හෙළිදරව් වී ඇති බව පැවසේ.
ඒ අනුව, විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව අයැදුම්පත් භාර ගැනීම, පරීක්ෂා කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, අවලංගු කිරීම ඇතුළු සියලු කරුණු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අක්‍රමවත් පරිදි සිදු කොට ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එම නිසා මෙකී යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී බරපතළ ලෙස විනිවිදභාවය කඩකර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
තවද, බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපි ගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබීමත් ඒ අනුව මෙකී බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ කිසියම් ආකාරයකින් අක්‍රමිකතා හෝ අවභාවිත වීමක සිදු නොවූයේ යැයි විගණනයට බැහැර කළ නොහැකි බව මෙකී වාර්තාවේ සඳහන් වේ.
විද්‍යුත් වාහන සඳහා තීරුබදු නිකුත් කිරීමේදී දැනට ක්‍රියාත්මක රජයේ අධිකාරි ආයතනය වන මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හෝ ආනයන අපනයන පාලක වෙත මෙකී යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී බලපත්‍ර නිකුත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණු නමුත් , ආනයන අපනයන පාලක වෙත එම කටයුතු පැවරීමකින් තොරව කම්කරු හා විදේශීය රැකියා අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම්වරයා විසින් එම කටයුතු පවරාගෙන තිබූ බව පැවසේ.
Sri News Media