කොදෙව් දොස් හමාරයි,කුසල්ලා මාරයි

0
1


ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙවන තරගය ජය ගැනීමෙන් පසුව කොදෙව් කණ්ඩායම පැත්තෙන් විරෝධතා කෙදිරිලි ද නැඟිණ.ඒවායේ අරුත වූයේ තණතීරුව ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස සකසා ගෙන ලෙස හැඟෙන බව නොකියා කියූ,එය විස්සයි විස්ස සංස්කෘතියට නොපෑහෙන කතාවක්ය.ඒත් තෙවන තරගය නිමා වූයේ එම චෝදනාව හැකිලී පරාජයේ අගෞරවය තිබුණාට වඩා විසල් ලෙස කොදෙව් කණ්ඩායම මත පැටවෙමින්ය.ලකුණු 162 ක් රැස් කළ කොදෙව් කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 2ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ඉක්මවා යන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

පළමුව පන්දුවට පහර දුන්නේ කොදෙව් කණ්ඩායමය.ඒ කාසියේ වාසිය ඔවුන්ට හිමි වීමෙන් ගත් තීරණයට අනුවය.ආරම්භයේ සිටම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කියවා ගැනීමේ දුෂ්කරතාවය කොදෙව් ක්‍රීඩකයින් වෙතින් පැහැදිළි විය.මහේෂ් තීක්ෂණ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම කෙළින්ම පන්දුව කඩුල්ලේ දැවටෙන්නට සළස්වා පිටියෙන් ඉවත් කරන්නට සමත් විය.

මේ හැඩය සම්පූර්ණයෙන් වෙනස් කරන ලද සබඳතාවයක් 6 වන කඩුල්ලට ඇති කරන්නට නායක රොව්මන් පවෙල් (37) සහ ගුඩාකේස් මොටී (32) සමත් වූහ.විශේෂයෙන් දෙවන විස්සයි විස්ස තරගයේදී මෙන්ම මේ තරගයේදී ද පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට බාධා කරමින් පන්දු ඕවර් 3 ක් ලකුණු 11 ට විමා කර සිටි දුනිත් වෙල්ලාලගේ ට සිය සිව්ව වන පන්දු ඕවරයේ දි ලකුණු 25 ක් ලබා දෙන්නට සිඳු වුයේ මේ ප්‍රහාරය හේතුවෙන්ය.
මේ ප්‍රහාරය පාලනය කරන්න යාමේදී තරගයේ කොදෙව් ඉණිම මුලින්ම අඩපණ කරන්නට මුල් වූ මහේෂ් තීක්ෂණට පන්දු ඕවරයක් ඉතිරි කර ගන්නට සිඳු වූයේ කොදෙව් ඉණිමේ අවසාන භාගයේ ප්‍රහාරය විසින් චරිත් අසලංකට එල්ල කළ පීඩනය නිසාය.තීක්ෂණ ලකුණු 19 ට කඩුලු 2 ක් සහ වනිදු හසරංග ලකුණු 24 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.

පිළිතුරු ඉණිම කොදෙව්වන් සංකීරණ තත්ත්වයකට ඇඳ දැමීය.විශේෂයෙන් මුල් පන්දු වාර හය තුළ දඟ පන්දු යවන්නන්ට හිත කර තණතීරුව තුළ ඉදිරියේදී ඇති විය හැකි පීඩනය දුරස් කර තැබීම පැතුම් නිශ්ශංකගේ මෙන්ම කුසල් මෙණ්ඩිස්ගේ ද සැළසුම විය.දිගට හරහට පහර එල්ල කිරීම නිසා මානසික ඒකාග්‍රතාවය බිදුණු කොදෙව් ක්‍රීඩකයන්ට පන්දු රැකීමේ දී ඇති කළ පිඩනය නිසා උඩ පන්දු කර ගැනීමට තිබුණු පහර කිහිපයක්ම ගිලිහී ගියේය.ඒ නිසා මුල් ඕවර් හය නිමා වෙන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව එක කුඩුල්ලකට ලකුණු 67 ක් විය.හයවන පන්දු ඕවරයේ දෙවන පන්දුවට පැතුම් නිශ්ශංක දැවෙන විට ලකුණු පූවරුව 60 ක් වූ අතර ඔහු දැවුණු පසුව යවන ලද ඉතිරි පන්දු 4 ට තවත් ලකුණු 7 ක් එක් කර ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් ක්‍රියා කරන්නේ,කඩුල්ලක් දැවී යාමෙන් අනතුරුව පීඩනයෙන් මිදෙන්නට කොදෙව්වන් තුළ තිබුණු උවමනාවට තව දුරටත් බාධා ඇති කරමින්ය.
ඉනික්බිත් තත්ත්තවය කොදෙව්වන්ට කිසිසේත්ම හිත කර නොවිණ.කුසල් මෙණ්ඩිස්ට එකතු වූ කුසල් පෙරේරා ද කොදෙව් පන්දු යැවීමේ බල ඇණිය තමන්ට රිසි පරිදි පාලනය කරන්නට ගත්තේය.ප්‍රහාරාත්මක තරමටම සංවිධානාත්මක වූ කුසල් මෙණ්ඩිස්ගේ ඉණිම පන්දු 50 න් ලකුණු 68 ක් නොදැවී එක් කළ එකක් විය.එයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් එක් වී තිබිණ.පෙරේරාගේ ඉණිම පන්දු 35 න් ලකුණු 55 ක් නොදැවී එකතු වූ හතරේ පහර 7 කි න් පොහොසත්ව තිබුණු එකක් විය.විශේෂම සිඳු වීම වූයේ මේ හයේ හතර පහරවල් නොවේය.කුසල්ලා දෙදෙන කඩුලු අතර දිව ගිය ජව සම්පන්න විලාශයය.ඒ අතරින්ද මෙණ්ඩිස් පන්දු ඕවර් 20 ක් තුළ කඩුල්ල පිටුපස සිට කරන ලද මෙහෙයුමෙන් ඉනික්බිති පන්දු ඕවර් 18 ක් කඩුල්ලේ රැදී සිටිමින් දියත් කළ ඉණිම තුළ තිබුණු ඔහු සතු ශාරිරික යෝග්‍යතාවය පිළිබඳ ප්‍රකාශනය විශිෂ්ඨ එකකි.

තරගාවලියේ විරයා පැතුම් නිශ්ශංක විය.එසේම තරගයේ විරයා බවට කුසල් මෙණ්ඩිස් නම් කරන්නට යෙදිණ.ශ්‍රී ලංකාව කොදෙව් කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගාවලිය 2-1 ක් ලෙස නිමා කරමින් විස්සයි විස්ස ක්‍රිකට් ලෝකය තුළ තමන් කෙරෙහි ඇති අවධානය පළල් කර ගන්නට සමත් විය.තරගයේ ලකුණු පූවරුව පහතින් දක්වා ඇත.
https://es.pn/3YrIVn5



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here