ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවති පළමු තුන් දින තරගය ශ්‍රී ලංකාවට වැඩි ගෞරවය අත් වූ තරගයක් හැටියට ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා.දෙවන ඉණිම සඳහා ලකුණු 33 ක් ඉදිරියෙන් සිට පන්දුවට පහරදීම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිමේදී පන්දු ඕවර් 65 ක් තුළ කඩුලු 7 ට ලකුණු 317 ක් රැස් කර බංගලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 351 ක ඉලක්කයක් ලබා දුන්නා.එහිදී තරගය නිමාවන විට එයින් ලකුණු 51 ක් පමණක් ලබා ගත් බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 4 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් උඳුරාගෙන තිබුණා.
දෙවන ඉණිම වර්ණවත් කළ නායක කිත්ම විදානපතිරණ පන්දු 132 දි හයේ පහර 9 ක් සහ හතරේ පහර 11 ක් සමඟ ලකුණු 164 ක් ලබා ගනිමින් අති විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කළා.ඔහු සහ උප නායක සෙනුජ වැකුණගොඩ (80) අතර සිව්වන කඩුල්ලට ලකුණු 113 ක සබඳතාවයක් ඇති වුණා.මේ වේගවත් ඉණිමේ විශිෂ්ඨත්වයට නායකත්වයේ වටිනාකමද එකතු කර ගනිමින් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 250 ක් ව පමණ තිබියදී අත් හිටුවීමට කිත්මට උපදෙස ලැබුණානම්,මේ තරගය තීරණයක් සහිතව නිමා වන්නට තිබුණා.එහි වැඩි ජයග්‍රාහී ඉඩක් ශ්‍රී ලංකාව සතුව තිබුණා.ඒ නිසා පිතිකරණ විශිෂ්ඨත්වය සමඟ එඩිතර නායකයෙකු ලෙස ද කිත්ම ගැන කතා කරන්නට තිබුණු ඉඩක් වැසී ගියා ද යන සැකය ඇති වීම සාධාරණයි.
බංගලාදේශ පළමු ඉණිම හැඩ කළ ඇඩ්රිටෝ ගෝස් නොදැවී ලකුණු 133 ක් ලබා ගැනීමට සමත් වුණා.එහෙත් ඉතාම අඩු පන්දු ඕවර් ගණනකදි ලබා ගැනීමට නොහැකි ලකුණු ඉලක්කයක් ලබා දුන් විට තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමේ උවමනාව පමණක් ඉතිරිව සිටි බැවින් බංගලාදේශය ගෝස් ව දෙවන ඉණිමේ පන්දුවට පහර දීමට පිටියට ඒමට කටයුතු කළේ නැහැ.
මේ තරගයේ දක්ෂතා ගැන සිතීමේදී ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්වල මඟ පෙන්වීම යටතේ සංවිධානය වන අවුරුදු 15 න් පහළ ප්‍රීමා තරගාවලිය වැනි තරගවලින් අපේක්ෂා කරන වැඩි තරගකාරී දක්ෂතා අතර ගැටුම්වලින් පෝෂණය වි තිබෙන බව දකින්නට තිබෙනවා.ඒ ආකාරයෙන් අවධානය යොමු කරද්දී මෙවැනි තරගාවලි හරහා ශ්‍රී ලංකාවම ආවරණය වීම වගේම ජාතික කණ්ඩායමට ප්‍රවේශ මාර්ග නොතිබුණු ප්‍රදේශවල දක්ෂයන්ටද ඉදරියට ඒම සඳහා මං විවර වෙමින් ජාතික ලෙස අරුත් නැංවීම වඩාත් අර්ථවත් වී තිබෙනවා.
රටේ විවිධ දිශාවන් හී සිටින දක්ෂයන්ට ඉඩක් විවර කර ගත හැකි මාර්ග තිබෙන බවට මෑත කාලයේ හොද සාක්ෂියක් බවට රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි ඒෂාන් මාලිංග හැඳින්විය හැකියි. ඔහු ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබන්නටත් පෙර ජාත්‍යන්තර වශයෙන් මෙන්ම,ජාතික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබා දෙන්නට විවරව ඇති මාර්ග ඔස්සේ ද ලෝකය දැන හැදිණ අයිපීඑල් තරගාවලියට සුදුසුකම් ලැබීමට තරම් තරගකාරී ක්‍රීඩකයෙක් වීම,ඊට උදාහරණයක් ලෙස ගත හැකියි.
http://www.sportwaynews.com/
Sri News Media