පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සභා ගර්භය තුළදී විවිධා ආයතන සම්බන්ධයෙන් කතා කිරීමට ඇති නිදහස හැර අනෙකුත් සියලුම වරප්‍රසාද ඉවත් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් නව පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස අවට ආරක්ෂක විදුලි පහන් 4ක්, ඔව් ඒක ඕනෙ නෑ. කරුණාකරලා අයින් කරන්න. ඊළඟට කෑම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන දිවා, උදෑසන ආහාරය සම්පූර්ණයෙන්ම නතර කරන්න. අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි කෑම ගෙදරින් අරන් එන්නම්, අවශ්‍යතාවයක් තියෙනවා නම් කැන්ටිමක් විවෘත කරලා ඒ කැන්ටිමට මුදල් ගෙවලා මන්ත්‍රීවරුන්ට කෑම ගන්න පුළුවන් වටපිටාවක් හදන්න. මොකද මේ අලුත් සංස්කෘතිය හදන්නේ අනුර කුමාර දිසානායක මැතිතුමා ප්රමුඛ ජාතික ජන බලවේගයට හයියක් වෙන්න තමයි අපි විපක්ෂය හැටියට මේක කියන්නෙ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලියන 10ක ණයක් දෙනවා අඩු පොළියට. ඒක අවශ්‍ය වෙන්නෙ නෑ, සම්පූර්ණයෙන්ම නවත්වන්න. ඒ වගේම ආරක්ෂාව. ඔව්, අපිට ආරක්ෂාව අවශ්‍ය වෙන වෙලාව තමයි මැතිවරණ කාලසීමාවක් තුළ. මැතිවරණ කාල සීමාවක් තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් තියෙන්න පුළුවන් එයාගෙ ක්‍රියාකාරීත්වයත් එක්ක ඇතිවෙන යම්කිසි අභියෝගත් එක්ක. හැබැයි පහුගිය මැතිවරණ කාලෙ කිසිදු සිද්ධියක් වුණෙත් නෑ, ඒ ආරක්ෂාව ලබාදුන්නෙත් නෑ. ඒ නිසා මං හිතන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම ආරක්ෂාව ඕනෙ නෑ. ජනාධිපතිතුමා ආරක්ෂා වෙන්න ඕනෙ, ඔබතුමාගෙ ආරක්ෂාව තියාගන්න, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව නතර කරන්න ඔබතුමාලා පොරොන්දු වෙච්ච විදියට කියන ඉල්ලීම අපි කරනවා විපක්ෂය විදියට. ඊළඟ එක නිවාස. මං හිතන්නෙ මාදිවෙල නිවාස සංකීර්ණය තමයි පෙන්වන්නෙ, නමුත් ඊට වැඩිය ලොකු නිවාස ටිකක් තියෙනවා අමාත්‍යවරුන්ට. කොළඹ 07 ප්‍රදේශයේ නිවසක මාසෙකට සාමාන්‍ය වටිනාකම ලක්ෂ 30 – 40 වගේ වෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා – මේ අමාත්‍යවරු බිමේ දේශපාලනය කරපු, මරුටි කාර් එකේ බස් එකේ ගිහිල්ලා දේශපාලනය කරපු ඇමතිවරු ඉන්නෙ – ඒ අමාත්‍යවරුන්ට ඔය කුරුඳුවත්තෙ නිවාස අවශ්‍ය වෙන්නෙ නෑ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි ඔය ඇමති නිවාස ටික කුලියට දීලා ඒ මුදල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් හදපු මහපොළ අරමුදලට ලබාදෙන්න. ඊටපස්සෙ කාර්යාලයකට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙනවා, ඒක ඇත්ත. එහෙම අවශ්‍ය නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කාර්යාලයක් දාගන්න පුළුවන්කම තියෙනවා, මොකද පාර්ලිමේන්තු මැතිවරණයකට එන මන්ත්‍රීවරුන් විශාල මුදලක් වියදම් කරලා එන්නෙ. ඒ නිසා ඒකත් කපා හරින්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප වෙන්නෙ රුපියල් 54,285 යි. මේ 54,285 මන්ත්‍රීවරයෙක් විදියට බැඳීමක් තියාගන්න දිය යුතු නම් ඒකට කටයුතු කරන්න. එහෙම නැත්නම් ඔබතුමන්ලා 159ක් මන්ත්‍රීවරුන් ඉන්න ආණ්ඩු පක්ෂයක්, ඔබතුමන්ලාට පුළුවන් පාර්ලිමේන්තුව ගරු සේවයක් බවට පත්කරන්න. මාදිවෙල නිවාස සංකීර්ණයත් විශ්වවිද්‍යාල දරුවන්ට හොස්ටල් විදියට දෙන්න පුළුවන් නම් හොඳයි. රක්ෂණ ආවරණය රුපියල් ලක්ශ 10ක් දෙනවා. ඒකත් කරුණාකරලා නතර කරන්න කියලා අපි ඉල්ලනවා. විශ්‍රාම වැටුප ගැන ඔබතුමාලා පොඩ්ඩක් මැලිවෙලා තියෙනවා, පැය 24න් අයින් කරනවා කියලානෙ කිව්වෙ. කරුණාකරලා මේකත් අහෝසි කරලා දාන්න”
හේෂා විතානගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 19) සජබ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Sri News Media