හොද්දට ලුණු වැඩි වුණාම බෙල්ලේ වැල දාගන්න හිතෙන්නේ ඇයි?

0
13


‘මරණයත් ජීවනයත් දිවේ වසඟයේ ඇත්තාහ’ කියලා ලෝකයේ ප්‍රඥාවන්තම රජ කෙනෙක් විදිහට සැලකෙන සාලමෝන් රජු කියලා තියෙනවා. ඇත්ත. තව කෙනෙක්ගේ ජීවිතයක් ඇති කරන්නත් නැත්තට නැති කරන්නත් වචනවලට පුළුවන්. විශේෂයෙන්ම සැමියාගේ බිරිඳගේ වචනවලට.

කොටින්ම කිව්වොත් වචන හරියට දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි. ඒ නිසා ඒවා බොහොම පරිස්සමට පාවිචිචි කරන්න ඕනේ. දුරදිග නොබලා අඹු-සැමියන් එකිනෙකාට භාවිත කරන වචන, කියුම් විවාහ ජීවිත කඩා වැටෙන්න බලපාන ප්‍රධානම ගැටලුවක්. ඒක පැහැදිලි කරන්න මට උදාහරණ ඕන හැටියට කියන්න පුළුවන්. ඒත් මීට මාස හතර පහකට පෙරාතුව මට මුණගැහුණු සමන්තිකාගෙත් මිලින්දගෙත් කතාව ‘ධරණී’ පුවත්පතේ තේමාවට වඩා හොදින් ගැලපෙයි කියලා හිතුණු නිසා අද ලිපියට ඔවුන්ගේ කතාව තෝරගත්තා.

සමන්තිකාගෙත් මිලින්දගේත් විවාහ ජීවිතයට අවුරුදු පහළොවක් නැත්තම් දාසයක් වෙනවා කියලයි ඔවුන් කිව්වේ. විවාහයට කලින් කිරියි පැණියි ගාණට හිටියට විවාහ වුණාට පස්සේ මේ දෙපළ පුංචි දේටත් නිතර නිතර රණ්ඩු සරුවල් ඇතිකරන්. සමන්තිකා පොඩ්ඩ බැරිවෙච්චි හැටියේ කෙක්ක වගේ පැටලෙන්න එන බව තමයි මිලින්ද නම් කිව්වේ.

ඉතින් ඔය අවුරුදු ගණනාවක කාලය පුරා රණ්ඩු වෙච්චි හැටියෙම සමන්තිකා කියන කතාවක් තියෙනවලු. ඒ තමයි, ‘‘මම මැරෙනවා එතකොට තමුසෙට තේරෙයි’’ කියන එක. බිරිඳ ඔය කතාව නොකිව්ව දවසක් මේ සැමියගේ මතකයේ නැතිලු. දවසක් මිලින්ද ගෙදර එන්න ටිකක් පරක්කු වුණා කියලා සමන්තිකා ඔහු එක්ක රණ්ඩු කරන්න පටන් අරන්. ඒ වෙලාවෙත් ‘‘මම නම් වහ ටිකක් බීලා මැරෙනවා’’ ඇය කියලා තියෙනවා. ඇය මේ කතාව කිව්ව හැටියේ මිලින්දත් ‘‘ඉතින් මැරෙනවකෝහැමදාම කියනවා විතරයි මැරෙන්නේ නෑනේ…’’ කියලා කිව්වලු. මේ කතාව අහපු හැටියේම සමන්තිකා කාටත් හොරෙන් වේදනානාශක පෙති කාර්ඩ් තුන හතරක්ම බීලා. ඇය මෙහෙම දෙයක් කළා කියලා දැනගත්තු හැටියේ මිලින්ද ඇයව රෝහල්ගත කරලා තියෙනවා. පස්සේ ඇයට විවිධ අපහසුතා පවා මතුවෙලා.

සමන්තිකාට මානසික ගැටලුවක් නැහැ. ඇය එවැනි දෙයක් කරලා තිබුණේ සැමියව බියපත් කරන්න හිතාගෙන. ඒ නිසා ඇයට අවශ්‍ය වුණේ මනෝප්‍රතිකාර නෙවෙයි මනෝඋපදේශනය. ඉතින් ඇයව මගේ ළඟට යොමු කරලා තිබුණේ ඇය වේදනානාශක බිව් වෙලේ ප්‍රතිකාර කළ වෛද්‍යවරයා.

කාරණාව ගැන මමත් දෙන්නත් එක්ක වෙන වෙනම කතා කළා. මැරෙන්න හැදුවේ ඇයි කියලා ඇහුවම සමන්තිකා කිව්වේ ‘‘ඉස්සර එයා මට හරිම ආදරෙයි දැන් එහෙම ආදරේ නැහැදැන් එයා මට ආදරෙන් කතා කරන්නෙත් නැහැ. ඒකයි මම හැමවෙලේම රණ්ඩු කරන්නේ…’’ කියලයි. ඒ වගේම ඇය වේදනානාශක බිව්වේ සැමියව බය කරන්න හිතාගෙන බව ඇය මාත් එක්කත් කිව්වා.

බිරිඳට මැරෙන්න කියලා කිව්වේ මොකද කියලා මම මිලින්දගෙන් ඇහුවා. ‘‘බැන්ද දවසේ ඉඳලම මෙයා මැරෙනවාමැරෙනවා කියනවා. මට දැන් ඒක අහලම අප්පිරියයි. ඒ ආව කේන්තියටයි මම එහෙම කිව්වේ.’’ ඔහු කිව්වේ එහෙම කතාවක්. කොහොම නමුත් බිරිඳට එවැනි දෙයක් කීම අනුමත කරන්න බැරි බව මම ඔහුට කිව්වා. මේ දෙපළට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් සමන්තිකාට යම් කරදරයක් වුණා නම් ඒ දරුවන් පවා අසරණ වෙන බවත් මම ඔවුන්ට පැහැදිලි කළා.

පිරිමි ස්වභාවයෙන්ම කැමති ඇස පිනවන්න. හැබැයි කාන්තාවන්ට ඕනේ කන පිනවන්න. හැම බිරිඳක්ම තමන්ගේ සැමියගෙන් නිතරම ආදර වදන්, ඇගයීම්, වර්ණනා වගේ දේ බලාපොරොත්තු වෙනවා. සැමියෙක් වුණත් ඒ දේවල් තේරුම්ගන්න එක වැදගත්. පෙම්වතුන්ව ඉන්න කාලේ පැණි බේරෙන පෙම් කතා කිව්වට විවාහයෙන් පස්සේ දෙන්නට දෙන්නා ආදරෙයි කියලාවත් කියාගන්නේ කීයෙන් කී දෙනාද?

ඒ වෙනුවට විවාහක අඹු-සැමියෝ උදේ ඉඳලා රෑ වෙනකල් තුන්තිස් පැයේම මතුරන හොඳ කතා සැට් එකක් තියෙනවා. ‘‘මම මැරෙනවා, අපි දික්කසාද වෙමු, මේක මොන කරුමයක්ද, මට ඔයා එක්ක ඉන්න බෑ, අපරාදේ ඔයාව බැන්දේ අම්මලා හෙව්ව කෙනා බඳින්නයි තිබ්බේ’’ ඔන්න ඔහොම මේ පිටුව පිරෙනකල් ඔය කතා ටික ලියන්න පුළුවන්.

මේ ලෝකේ ජීවත්වෙන අනිත් සත්තු එක්ක සංසන්දනය කළාම කතා කරන්න පුළුවන් එකම සතා මිනිසා විතරයි. ඉතින් ඒකේ වටිනාකම තේරුම්ගන්න. අපි කතා කරන වචනවල ලොකු බලයක් තියෙනවා. සම්මා වාචා ඒ කියන්නේ නිවැරදි වචන පවත්වාගන්න කියලා බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා. ඒ වගේම හිස් වචන, අයහපත් පරුෂ වචන භාවිතයේ ආනිශංස ගැනත් බුදුදහමේ කියැවෙනවා. හොඳ යහපත් වචනවලින් පුද්ගලයන් අතර බැඳීම් වර්ධනය වෙනවා වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. මේ වගේ කතා කියන්න කියන්න බැඳීම් පළුදු වෙනවා.

අනික අපි දෙයක් කියන්න කියන්න ඒ දේවල්වලට අපේ මනස හුරුවෙනවා. ඒක මනෝවිද්‍යාත්මක කාරණයක්. ඊටපස්සේ ඉතින් ඒ කෙනාට කියන්න හිතෙන්නෙම එවැනි ඍණාත්මක දේ. කෙනෙක්ට කියන්න තියෙන උපරිම ඍණාත්මක දේ මැරෙනවා කියන එකනේ. ඕක වුණත් කියන්න කියන්න ඇත්තටම ඒක කරන්න හිතෙන්න බැරි නැහැ. ඊටපස්සේ ඉතින් හොද්දට ලුණු වැඩි වුණත් බෙල්ලේ වැළ දාගන්න හිතෙන්න පුළුවන්.

මම මේ කතා කරන්නේ විශාදය තත්ත්වය එක්ක ඇතිවෙන සියදිවිනසාගැනීමේ තත්ත්වය ගැන නෙමෙයි. මම කතා කරන්නේ බය කරන්න හිතාගෙන බොරුවට නිතරම ඒ වගේ වචන භාවිතා කරන එකේ භයානකකම. ඒ වගේම කියන්න ඕනේ කෙනෙක් බොරුවට හරි ඇත්තට හරි මැරෙනවා කියන කතාව කියනවා නම් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මනෝඋපදේශනයට යොමු කරන්න ඕනේ. ඒ ගැන මම මිලින්දටත් පැහැදිලි කළා.

ඉතින් මට කියන්න ඕනේ අඹු-සැමියන් විදිහට නිතරම පවුල ධනාත්මක දේ කතාබහ කරන්න. යහපත් ආදරණීය වචන නිතරම භාවිතා කරන්න. යහපත් සෞම්‍ය වචන පාවිචිචි කරන මිනිස්සුන්ගේ මනස සංවරයි. ඒ වගේ අය එක්ක ජීවත් වෙන්නත් ලේසියි. වචන ජීවිතේට සෙත් කවි කරගන්නවා විනා වස්කවි කරගන්න එපා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here