හිටපු ජනාධිපති රනිල්ගෙන් ආණ්ඩුව සහ විපක්ෂය දෙකටම උපදෙස්

0
27


ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ සිටිය යුතු අතර එයින් පිටවීමේ හැකියාවක් නොමැති බවත් විපක්ෂය ද ආණ්ඩුවට විවේචන එල්ල කළ යුතු වන්නේ IMF ගිවිසුමේ රාමුව තුළ සිටිමින් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“2024 වර්ෂයේදී මෙරට ආර්ථික වර්ධනය සියයට දෙකක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබුණා. මට අවශ්‍ය වුණේ ඒ වර්ධන වේගය තවත් වැඩි කර ගන්නයි. ඒ නිසා අවුරුද්ද මුල් කාලයේ සිට ධාරිතා භාවිතය වැඩි කරන ලෙස ජනතාව සහ ව්‍යාපාරිකයන් විසින් අප දිරි ගන්වනු ලැබුවා. මේ නිසා අපේ ආර්ථික වර්ධන වේගය අද සියයට පහ දක්වා පැමිණ තිබෙනවා. ඒ සඳහා වැඩ කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ ද මහ බැංකුවේ ද ජනාධිපති කාර්යාලයේද සියලු දෙනාට මා ස්තුති වන්ත වෙනවා. රටේ ධාරිතා භාවිතය තවත් වැඩි කරන්නට ක්‍රියා කළ සෙසු සියලු දෙනාටත් අප ස්තූතිවන්ත විය යුතුයි.

රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩිවූ නිසා එයින්ද යම්කිසි කොටසක් අපට බදු ආදායම් ලෙස ලැබී තිබෙනවා. එයත් අපේ ආදායම වැඩි වෙන්නට හේතු වුණා. මේ සියල්ල අපට කරන්නට හැකි වුණේ අයි.එම්.එෆ් සංවිධානය සමඟ තිබූ ගිවිසුම තුළයි. ඒ නිසා එම ගිවිසුම ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කිරීම අවශ්‍යයි.

ආණ්ඩුවටවත් විපක්ෂයටවත් එම ගිවිසුමෙන් පිටවීමට හැකියාවක් නැහැ. එලෙස කළොත් නැවත මේ රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා. විශේෂයෙන්ම දෙසැම්බර් 20 වැනිදාට පෙර අප අලුත් ජාත්‍යන්තර බැඳුම්කර කූපන් නිකුත් කරන්නට යනවා. ඒ කටයුතු සියල්ල දැන් අවසානයි. අපට දැන් තිබෙන්නේ බංකොලොත් භාවයෙන් මිදුණු බවට වන ප්‍රකාශනය නිකුත් කරන්නයි. ඉන් පසුව බැංකු වලිනුත් ඊට වුවමනා සහන පියවර ගන්නවා. ඒ සමගම ජනතාවට සහන දෙන්නත් වුවමනායි. අප මේ ගැන කලිනුත් කතා කළා. ඒ හැකි සහන කඩිනමින් දිය යුතුයි.

මේ වන විට බදු ගෙවීමේ තලය ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස්දහස දක්වා වැඩිකර තිබෙනවා. අපට කළ හැකි සංඛ්‍යාව එයයි. එය දෙලක්ෂයක සීමාවට ගැනීම සඳහා මමත් අයි.එම්.එෆ් සංවිධානය සමඟ සාකච්ඡා කළා. ඔවුන් ඒ සඳහා එකඟත්වය පළ කළේ නෑ. අප ඒ අනුව ක්‍රියා කොට ආර්ථික ශක්තිමත් වූ පසු තවත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතුයි.

ආණ්ඩුව මේ වැඩසටහනේ සිටිය යුතුයි. මෙයින් පිටවෙන්න හැකියාවක් නැහැ. හොඳ කාලයේ මෙන්ම අමාරු කාලයේත් අප එතැන සිටිය යුතුයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here