හැ​මෝම දන්න ග්‍රාම නිලධාරී තනතුර ගැන වැඩිදෙනෙක් නොදන්නා කරුණු – Sri News

0
30

ග්‍රාම නිලධාරී එහෙම නැත්නම් ග්‍රාම සේවක කියල කියන්නෙ අපි කවුරුත් දන්න, ගම ඇතු​ළේ පරිපාලනය භාරව ඉන්න රජයේ නිලධාරියා. ඉතින් අද කාලෙ රටේ නොයෙක් තැන් වලින් ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ගැන නොයෙකුත් හොඳ වගේම නරක ආරංචිත් අහන්න ලැබෙනවා. හැබැයි ඉතින් කවුරු කොහොම කිව්වත් ග්‍රාම නිලධාරියෙක් විදිහට රාජකාරි කරන එක ඒ තරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මොකද ගමට උත්තර බඳින්නත්, නීති රෙගුලාසි වලට අනුකූලව වැඩ කරන්නත් හිතන තරම් ලේසි නෑ. මිනිස්සුන්ට හොඳ කරන්න කියල නීති රෙගුලාසි කඩ කරන්නත් බෑ. නීති රෙගුලාසි ආරක්ෂා කරන්න කියල පොතේ විදිහටම වැඩ කරන්නත් අමාරුයි. ඉතින් ඔය දෙකම බැලන්ස් කරගෙන රාජකාරී කරන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ඉතින් අපි අද පොඩ්ඩක් හොයල බලමු මේ ග්‍රාම නිලධාරී තනතුරේ වංහුං.

 

 

ග්‍රාම නිලධාරී තනතුර ආරම්භ වීම ගැන හොයල බැලුවොත් එහි ඉතිහාසය අනුරාධපුර යුගය වෙනකන් ඈතට යනවා. මහා වංශයේ තොරතුරු වලට අනුව විජයගේ ලංකා ගමනත් එක්ක ඔහු සහ ඔහු එක්ක ආපු අනෙක් පිරිස  මල්වතු ඔය, කිරිඳි ඔය, මහවැලි ගඟ වගේ ගංගා ආශ්‍රිතව ජනාවාස ඇති කරගත්තා. ඒ ජනාවාස ඔවුන්ගේ නම් වලින්ම හැඳින්වුනා. උදාහරණයක් විදිහට උපතිස්සගාම, විජිතගාම, අනුරාධගාම, උජ්ජෙනිගාම වගේ ජනාවාස සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව ඒ ඒ ගම් වල පාලනය සඳහා ගමේ ප්‍රධානියාගේ නම භාවිත කර තිබුණු බව පෙනෙන්නට තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි විජයගේ පැමිණීමත් එක්ක ගම් ඇති වුණේ සහ ගම් ප්‍රධානියා කියන තනතුර එහෙම නැත්නම් අපි අද කියන ග්‍රාම නිලධාරී කියන තනතුර මුලින්ම ඇති වුණේ. 

 

 

.

අනුරාධපුර යුගයේ ඇති වෙලා තියෙන මේ තනතුර එක එක යුග වල එක එක කාල වල නොයෙකුත් නම් වලින් හැඳින්වුණා වගේම ඔවුන්ට පැවරුණු රාජකාරිත් නොයෙක් වෙනස්කම් වලට භාජනය වුණා. මුල් කාලයේ රජුන්ගේ හමුදාවට අවශ්‍ය භටයින් ලබාදීම, රජයේ අදායම් එකතු කිරීම වගේ රාජකාරි පැවරිලා තිබුණත් පස්සේ කාලේදී ඒ රාජකාරි ඉවත් වෙලා විධිමත් රාජකාරි පැවරීමක් සිදුවෙලා තියෙනවා. ඒ ඒ කාල වල තනතුරේ නාමය වුණත් නොයෙකුත් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. ‘ගමරි’, ‘දකපති’, ‘පරුමක’ වගේ නම් වලින් මේ තනතුර අතීතයේ හඳුන්වල තියෙනවා. නමුත් අද වෙද්දී වඩා විධිමත්ව තනතුරු නාමය, රාජකාරී සහ බලතල නිශ්චිතව දක්වලා තියෙනවා.

 

 

වර්තමානය වෙද්දී  ග්‍රාම නිලධාරී තනතුරට අදාළ කාර්යයන් විශාල පරාසයක විහිදිලා තියෙනවා. රජය සහ මහජනයා අතර සම්බන්ධීකරණය ග්‍රාම නිලධාරීන්ගේ මූලික කාර්යයක් වෙනවා. ඒ වගේම රජයේ සංවර්ධන ක්‍රියාකාරකම් ග්‍රාමීයව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ග්‍රාම නිලධාරී විදිහට හඳුනාගන්න පුළුවන්. ඒ අනුව ඔහු රජයේ සහ අදාළ පළාත් සභාවේ නියෝජිතයෙක් විදිහටත් කටයුතු කළ යුතු වෙනවා. සරලව කිව්වොත් තමන්ගේ වසමේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, සුභසාධන කටයුතු, රජයේ අණ පනත් ක්‍රියාත්මක කිරීම වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here