හදේ කොතැනක හෝ මෙත් මල් පිපේවා – Sri News

0
5


අපි මේ ලෝකෙට බිහිවූ දා පටන් අපට නොයෙකුත් පුද්ගලයි්ගෙන් නොයෙකුත් විදිහෙ උදව් ලැඛෙනවා. අපිත් අපට හැකි අයුරින් අන් අයට උපකාර කරනවා. ඒ නිසාම ඒ අයත් එක්ක අපි හිතවත් වෙනවා, ඒ අය ගැන අපේ හිතේ හිතවත්කමක් ඇති වෙනවා. ඒසේ ඇතිවන හිතවත්කම නිසා ඒ අයට හානියක් වෙනකොට දුකට, පත් වෙනකොට, කරදරයක් වෙනකොට, කව්රුහරි බනිනකොට අපේ හිත රිදෙනවා, අපිට තරහ යනවා..ඒත් මේ මෙත් සිත භාවනාවක් සේ අපි වඩන්න උගත යුතුමයි…

දියුණු කළ මෙත් සිතක ඇති අසිරිය අපි බලමු…

 

මෛත්‍රිය කියා අදහස් කරන්නේ තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්‍රත්වය යි.
හිතෛෂී බවයි. තමා තමාට හිතෛෂී නම් තමන්ගේ ජීවිතයට තමන් විසින් කරදරයක් කරගන්නේ නැහැ. තමා අනුන්ට මිත්‍ර නම්, හිතෛෂී නම් අනුන්ගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ. මේ නිසා මෛත්‍රීය කියන්නේ තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත්‍රත්වයට යි.

 

කරණීයමෙත්ත සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සිටගෙන සිටිද්දී, වාඩිවී සිටිද්දී, ගමන් කරද්දී, නිදාගෙන සිටිද්දී යන සතර ඉරියව්වේ දී ම මෙත් සිත පුරුදු කළ යුතු බව යි. එමෙන් ම මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම ලෙස සිත, කය, වචනය යන තුන් දොරින් ම මෛත්‍රීය දියුණු කරගත යුතු බවත් දේශනා කොට තිබෙනවා.

 

 

ගිහි පින්වතුන්ට නම් චෛත්‍ය, බෝධිය වැඳීම සඳහා යෑම, සංඝයාට දානයට – බණට ඇරයුම් කිරීම සඳහා යෑම, ගමට පිඬුසිඟා වැඩි භික්ෂූන් දැක පෙරගමන් කිරීම, පාත්‍රය පිළිගැනීම, තුනුරුවන් විෂයෙහි සිදුකරන මෛත්‍රී කායකර්ම බව ධර්මයේ සඳහන් වෙනවා.

 

 

භික්ෂූන් වහන්සේලාට නම් මෙත් සිතින් වත් පිළිවෙත් සිදුකරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ආභිසමාචාරික ධර්මයන් පුරුදු කිරීම මෛත්‍රී කාය කර්ම බවට පත්වෙනවා.

 

 

භික්ෂූන්ට මෛත්‍රී වචී කර්ම වන්නේ මෙත් සිතින් ධර්ම දේශනා කිරීම, ධර්මය ඉගැන්වීම, භාවනා අරමුණු කියාදීම, මෙත් සිතින් වත් පිළිවෙත්හි හික්මවීම ආදිය යි.

 

 

ගිහි පින්වතුන්ට නම් අන් අය යහපතට යොමු කරවමින්, සෑය – බෝධිය වඳීන්නට යමු, මල් පහන් පුදමු, ධර්මය අසමු, දන්පැන් පුදමු ආදී වචන මෛත්‍රී වචී කර්ම බව සඳහන් වෙනවා.

 

භික්ෂූන්ටත්, ගිහි පින්වතුන්ටත් මෛත්‍රී භාවනාව පුරුදු කිරීම මෛත්‍රී සහගත අදහස් පැවැත්වීම මෛත්‍රී මනෝ කර්ම ලෙස අදහස් වෙනවා. මෙම මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම අන් අය ඉදිරියේදීත්, නැතිවිටත් සෑමවිට ම පැවැත්විය යුතු බව ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා.

මෛත්‍රී චිත්ත සමාධිය පුරුදු කරන ආකාරයත් අපි දකිමු…

 

මේ ආකාරයට නිරතුරුව ම මෙත් සිතින් වසන කෙනෙකුට භාවනාවක් ලෙස, සමාධි නිමිත්තක් ලෙස මනාකොට මෛත්‍රී චිත්ත සමාධිය වැඩිය හැකියි. එසේ මෛත්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ඣිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා.

එහිදී අනුරුද්ධ මහරහතන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම දෙක පිළිබඳව පැහැදිලි කරදී තිබෙනවා. ඒ තමයි,

අප්පමාණ චේතෝ විමුක්තියත්,

මහග්ගත චේතෝ විමුක්තියත් කියන දෙ ආකාර ය.

මහග්ගත චේතෝ විමුක්තිය කියා අදහස් කරන්නේ ක්‍රම ක්‍රමයෙන් මෛත්‍රීය වඩන ප්‍රදේශය පුළුල් කරමින් මෛත්‍රීය වැඩීම යි. එහිදී පළමුවෙන් ම තමන්ට මෛත්‍රිය වඩනවා. ඉන්පසු නිවසේ අයට, ගමේ අයට, පළාතේ අයට, තමන් ජීවත්වන රටේ අයට, ලෝකයට වශයෙන් ප්‍රදේශය පුළුල් කරමින් මෙත් සිත පතුරවනවා.
අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෙත් පැතිරවීමට යි. එහිදී නැඟෙනහිර, දකුණ, බටහිර, උතුර යන ප්‍රධාන දිශා හතරටත්, අනුදිශා හතරටත්, උඩ-යට යන දසදිසාවට ම මෙත් වැඩීම සිදුකරනවා.

මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන ඇති කරගැනීමට…

 

මෛත්‍රී භාවනාවෙන් කෙනෙකුට ධ්‍යාන දක්වාම සිත දියුණු කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව තුළින් ධ්‍යානයක් ඇති කරගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරයට ම භාවනා කළ යුතුයි.ඒ අයුරින් මෛත්‍රී භාවනාව වඩන විට පංච නීවරණ යටපත් වී මෛත්‍රී අරමුණ තුළ ම සිත එකඟ වෙනවා. ඒ එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත්‍රී භාවනාව වඩන විට විතර්ක විචාර, නිරාමිස ප්‍රීතිය, සැපය, ඒකාග්‍රතාවය ඇති පළමුවෙනි ධ්‍යානය ලැබෙනවා.

ඒ ශ්‍රාවකයාට තවදුරටත් මෛත්‍රී භාවනාව දියුණු කොට ඉදිරි ධ්‍යාන ලබාගන්න පුළුවන්කම තිබෙනවා. එම මෛත්‍රී ධ්‍යාන තුළ පිහිටා විදර්ශනා වැඩීම තුළින් මාර්ගඵල නිවන සාක්ෂාත් කළ හැකි බව අට්ඨකනාගර සූත්‍රය ආදී දේශනාවල පෙන්වා දෙනවා.

මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැනත් යමක් හිතමු….

අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත්‍රයේ දී මෛත්‍රී භාවනාව හොඳීන් ප්‍රගුණ කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ඉතාම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා,
1. සැප සේ නිදාගන්නවා. (සුඛං සුපති)
2. සැප සේ අවදිවෙනවා. (සුඛං පටිබුජ්ඣති)3. නිදා සිටින විට පාපී-නපුරු සිහින දකින්නේ නෑ. (න පාපකං සුපිනං පස්සති)4. මිනිසුන්ට ප්‍රියමනාප වෙනවා. (මනුස්සානං පියෝ හෝති)5. අමනුෂ්‍යයින් ටත් ප්‍රියමනාප වෙනවා. (අමනුස්සානං පියෝ හෝති)6. දෙවිවරු ඔහු ආරක්ෂා කරනවා. (දේවතා රක්ඛන්ති)7. ගිනි, වස විෂ, අවි ආයුධවලින් විපත් සිදුවන්නේ නැහැ. (නාස්ස අග්ගීි වා විසං වාසත්ථං වා කමති) 8. සමාධිය ඉක්මනින් ම ඇති කරගන්න පුළුවන්. (තුවටං චිත්තං සමාධියති)9. මුහුණේ වර්ණය පැහැපත් වෙනවා. (මුඛවණ්ණෝ විප්පසීදති) 10. සිහි මුළා නොවී මරණයට පත්වෙනවා. (අසම්මූළ්හෝ කාලං කරෝති) 11. මේ ජීවිතයේ දී ඉහළ මාර්ග-ඵල අවබෝධයකට පත්වුණේ නැතිනම් බ්‍රහ්ම ලෝකයේඋපදිනවා. (උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති)

මෛත්‍රී භාවනාවෙන් රැස්වෙන පුණ්‍ය මහිමය සුලු පටු නෑ…

 

එමෙන් ම මෙත්තා චේතෝවිමුක්ති නම් සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රියෙහි අනුසස් මෙසේ වදාළා.
“පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තිබෙනවා නම්, ඒ සියල්ල ම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවා, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ම දිලිසෙනවා. හාත්පසින් බබළනවා.”
එහිදී භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රියෙහි අනුසස් තවදුරටත් මෙසේ විස්තර කොට වදාළා. “යම් කෙනෙක් හොඳීන් සිහිනුවණ තුළ පිහිටලා, අප්‍රමාණව මෛත්‍රී චිත්තය වඩනවා නම්, ඔහු කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරේ බැඳ තබන බැඳීම් තුනීවෙලා යනවා. එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්, ඒ නිසා ම ඔහු ධර්මයේ හැසිරෙන්නට දක්ෂයෙක් වෙනවා. එම නිසා සියලු ප්‍රාණීන් කෙරෙහි ම මහත් හිතානුකම්පාවක් ඇති ආර්යයන් වහන්සේ බොහෝ පින් රැස් කරගන්නවා… යන කරුණෙහි ඇති අරුමය කිම?

 

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here