හදවතින්ම ආදරෙයි කිව්වට හදවත දන්න ඉටිගෙඩියක් නෑ

0
4


පනින්න පෙර සිතා බලන්න කියලා කටේ කෙල හිඳෙනකන් කිව්වත් පනින්න පෙර නැත්තම් කලබලේට දෙයක් කරන්න කලින් දුර හිතන මිනිස්සු හරි අඩුයි. අයෝමාටත් වෙලා තිබුණේ එහෙම දෙයක්.

අයෝමාව මට මුණගැහුණේ බන්ධනාගාරෙදි. ඇය ජීවිතාන්තය දක්වා අච්චු වෙච්චි සිරකාරියක්. ඒ වෙනකොටත් ඇය සිරගත වෙලා අවුරුදු තුනක්. අයෝමාගේ සැමියා ක්‍රිස්තියානි නිකායකට අයත් පූජකවරයෙක්ලු. ඔවුන් ජීවත්වෙලා තිබුණේත් පල්ලිය ළඟමයි. ඔහොම ඉන්දැද්දි පල්ලියට යන එන යොවුන් ගැහැනු දරුවෙක් මේ සැමියා එක්ක ළඟ ඇගෑලුම්කමක් ඇති කරගෙන. තරුණිය සැමියා එක්ක කතාබහ කරන එකට අයෝමාගේ හිතේ ලොකු ඊර්ෂ්‍යාවක් ඇතිවෙලා. පස්සේ අයෝමා මේ යුවතිය එක්ක හිතවත්කමක් ඇති කරගෙන ඇයට වහ දාපු ආහාර වේලක් දීලා. සිද්ධියෙන් තරුණිය මියගිහින්.

පූජකවරයෙක්ට ගැහැනු පිරිමි බේදයක් නැතිව හැමෝ එක්කම සුහදව ගනුදෙනු කරන්න වෙන එක සාමාන්‍යයයි. එතැන එහෙම ගනුදෙනුවක් තිබ්බද නැත්තම් ප්‍රේම සම්බන්ධයක් තිබ්බද කියලා අදටත් අයෝමා හරියට දන්නේ නැහැ. අනවශ්‍ය සම්බන්ධයක් තිබුණාම කියමුකෝ. එහෙනම් කතාබහ කරලා නැත්තම් උපදේශනයකට ගිහිල්ලා ඒ ප්‍රශ්නය විසඳගන්න තිබුණා. හැඟීම්වලට යටවෙලා ඉක්මන් තීරණයක් ගත්තු එකෙන් මනුස්ස ජීවිතයකට හානිවුණා වගේම අයෝමාට ජීවිතාන්තය දක්වා හිරේ යන්නත් වුණා.

මෙතැනදි අයෝමාට ඇගේ හැඟීම් කළමනාකරණය කරගන්න බැරිවුණා. හැඟීම් නැත්තම් භාවයන් කළමනාකරණය කරගන්න බැරිව අපහසුතාවයට පත්වුණු තැන් ඔයාලටත් ඇති. හැඟීම් කළමනාකරණය ගැන ටිකක් කතා කරන්න හිතුවේ ඒකයි.

සතුට, දුක, ඊර්ෂ්‍යාව, ආශාව, පිළිකුල, වෛරය, කරුණාව, ආදරය, ලිංගික ආශාව ඔය හැම එකක්ම හැඟීම්. සමහරු “මම හදවතින්ම ඔයාට බැඳිලා, මේ හැඟීම ඇතිවුණේ හදවතින්මයි” වගේ කතා කියනවනේ. හැබැයි හදවත කියන අවයවයේ කොහෙවත් හැඟීම් ඇතිවෙන්නේ නැහැ. හැඟීම් ඇතිවෙන්නේ මොළයේ. අපේ මොළයේ ඇම්ග්ඩලාව (Amygdala), ඉන්සියුලර් බාහිකය (Insular Cortex), පෙරියාක්‍යුඩක්ටල් ග්‍රේ (Periaqueductal Gray) කියලා කොටස් තුනක් තියෙනවා. තරහා, ඊර්ෂ්‍යාව වගේ චිත්ත වේග හැසිරීම, අභිප්‍රේරණ, බය, සතුරන් හඳුනාගැනීම වගේ දේ වෙන්නේ ඇම්ග්ඩලාවෙන්. ඉන්සියුලර් බාහිකයෙන් ආදරය, ලිංගිකත්වය, කරුණාව, පිළිකුල වගේ දේ ඇතිවෙනවා. කාංසාව, වේදනාව, සංජානන වගේ දේ ඇතිවෙන්නේ ඉතිරි කොටසින්.

එදිනෙදා මූණදෙන්න වෙන දේවල් එක්ක නිතරම හැඟීම් ඇතිවෙන එක බොහොම සාමාන්‍යයයි. ඒවට යටත් නොවී මනසින් ඒවා යටත් කරගන්න එකයි හපන්කම. උදාහරණයක් විදියට හිතන්න මනුස්සයෙක්ට ලොකු ගෙයක් හදන්න ආශාවක්, කැමැත්තක් ඇතිවෙනවා. හැබැයි ඔහුට ලැබෙන්නේ බොහොම පොඩි වැටුපක්. ආශාව නිසාම බැංකුවකින් ණය මුදලක් අරගෙන මහ විශාල ගෙයක් හදනවා. ඉතින් අවසානෙදි වෙන්නේ ඔහු විශාල කරදරයක වැටෙන එක.

දියවැඩියාව තියෙන මනුස්සයෙක් තමන්ගේ කෑම ආසාව පාලනය කරගන්න බැරිව වැඩිපුර සීනි, පිටි කෑවොත් මොකද වෙන්නේ? නැත්නම් යාළුවො එක්ක විනෝද වෙන්න තියෙන ආසාවට මාසයක් ජීවත්වෙන්න තියෙන සල්ලි එක දවසින් වියදම් කළොත් මොකද වෙන්නේ? ඇත්තටම බහුතරයක් දෙනාට මේ වගේ ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙන්නෙම හැඟීම් කළමනාකරණය කරගන්න බැරිකම නිසයි.

මම දන්න කාන්තාවක් ඉන්නවා. දරුවන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්. සැමියත් බොහොම ගුණවත්. මේ කාන්තාවගේ කාර්යාලයට බොහොම කඩවසම් තරුණයෙක් අලුතින් වැඩට ඇවිල්ලා. ටික දවසකින් මේ තරුණයා මේ කාන්තාවට හුදෙක් ලිංගික සම්බන්ධයකට ආරාධනා කරලා. තරුණයාගේ කඩවසම්කම නිසා ඇයටත් එවෙලේ හැඟීම් පාලනය කරගන්න බැරිවුණාලු. පස්සේ මේ සිද්ධිය සැමියට ආරංචි වෙලා එම පවුල කැඩුණා. ඇය ඒ මොහොතේ අර හැඟීම ගැන නොහිතා පවුල ගැන, අනාගතය ගැන හිතුවා නම් ඒ පවුලට එහෙම දෙයක් නොවෙන්න තිබුණා.

මුලින්ම මනුස්සයෙක් විදියට තමන් තුළ හැඟීම් ඇතිවෙන්න පුළුවන් කියන එක තේරුම්ගන්න. ඊටපස්සේ ඒවා අපිට අවශ්‍ය විදියට කළමනාකරණය කරන්න ඕනේ. හිතන්නකෝ ගෙදර ඉන්න සුරතල් සුනඛයෙක්ගේ පාලනය නැති වුණොත් සුනඛයා ඔහුගේ හිමිකරුව වුණත් සපාකන්න බැරි නැහැ. හැබැයි මුල ඉඳලම හරියට පුහුණු කරපු සතෙක් කවදාවත් හිමිකරුට හානියක් කරන්නේ නැහැ. අන්න ඒ වගේ හරියට පුරුදු පුහුණු කළොත් හැඟීම් නිසා කවමදාකවත් අපිට හානියක් වෙන්නේ නැහැ.

හැඟීම් කළමනාකරණය පුහුණු කරන්න පුළුවන්ද?

අර කිව්වා වගේ අනිත් සත්තුන්ට බුද්ධිය, තර්කන හැකියාව නැහැ. හැබැයි ඒ නැතත් ඔවුන්ගේ හැසිරීම් රටා පාලනය කරන්න පුළුවන්. ඉතින් බුද්ධිය, තර්කන ගුණය තියෙන මිනිසාට තමන්ගේ හැඟීම් පාලනය කරන්න බැරිකමක් නැහැ. කොහොම වෙතත් දැන් සමාජයේ මිනිස්සුන්ගේ හැඟීම් කළමනාකරණය බොහොම දුප්පත්. දැන් මිනිස්සුන්ව අවුස්සන එක කළඹන එක හරි ලේසියි. පාරේ යන මනුස්සයෙක් දිහා නිකන් බැලුවත් ඇවිස්සිලා තරහා අරගෙන රණ්ඩු ඇති කරගන්නවා. මනුස්සයෙක්ව අවුස්සන්න ලේසි වුණාට තරහා ගිය මනුස්සයෙක්ව නිවන්න කොච්චර අමාරුද? ඒ දේවල් අපි හිතලාම පුරුදු පුහුණු කරගන්න ඕන දේවල්.

ඒ කොහොමද කියන එකයි දැන් අපි කතා කරන්නේ. හැඟීම් පාලනය කරනවා කියන වචනය බහුතරයක් දෙනා කියනවා මම අහලා තියෙනවා. යම් හැඟීමක් ඇතිවුණාම ඒක පාලනය කරගන්න නැත්නම් යටපත් කරගන්න යන්න එපා. හැඟීම් කළමනාකරණය කරනවා කියන්නේ ඒවා පාලනය කරන එකට නෙමේ. හැඟීමක් ඇතිවුණාට පස්සේ ඒක යට ගැහුවොත් වෙන්නේ හැඟීම් ගොඩගැහිලා ගිනි කන්දක් වගේ එකපාර පුපුරලා යන එක. ඒ නිසා හැඟීමක් ඇතිවුණාම මුලින්ම මට හැඟීමක් ඇතිවුණා කියන එක තේරුම්ගන්න. උදාහරණයක් විදියට කෙනෙක් ඔයාට දුක හිතෙන දෙයක් කිව්වා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඇයි මෙයා මට මෙහෙම කිව්වේ කියලා ඒ ගැන හිත හිතා ඉන්න එපා. එතකොට ඔයාට මානසික පීඩනයක් ඇතිවෙනවා. නැත්නම් අර කතාව කිව්ව කෙනා එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා වගේ සංකීර්ණ ප්‍රශ්න ඇතිවෙනවා. මිනිස්සු ඔහොම තමයි, ඇට නැති දිව කියන්නා වගේ මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් කියන එක තේරුම් අරන් ප්‍රශ්නේ එතැනින් ඉවර කරලා දාන එක ඊට වඩා හොඳයි නේද?

ඒ වගේම හැඟීම් පාලනය ගැන කියවන්න, ඉගෙනගන්න. මෙතැනදි මට කියන්න බොහොම විශේෂ සිදුවීමක් තියෙනවා. කාලෙකට කලින් මම ‘ධරණී’ පුවත්පත එක්ක කේන්තිය පාලනය කරන හැටි ගැන කතා කළා. මේ ලිපිය කියවපු එක්තරා පුද්ගලයෙක් මට කතා කළා. අල්ලපු ඉඩමක පුද්ගලයෙක් ඔහු එක්ක මහවිශාල රණ්ඩුවක් ඇති කරගෙන තියෙනවා. මේ පුද්ගලයා ඒ වෙලාවේ මන්නයක් අරගෙන අල්ලපු ගෙදර කෙනාට කොටන්න හදලා තියෙනවා. එවෙලේ ඔහුට අපේ පුවතපත් ලිපියේ තිබුණු කරුණු මතක් වුණාලු. මේ දේ කළොත් අනාගතේ ඇතිවෙන ප්‍රශ්න ගැන හිතපු ඔහු බොහොම ඉවසීමෙන් ඒ හැඟීම පාලය කරගත්තලු. ඔහු එදා මට කතා කළේ ඒකට ස්තූති කරන්න. හැඟීම් පාලනය ගැන දැනුවත් වෙන එක වැදගත් කියන්නේ ඒකයි.

ඒ වගේම තමයි මනුස්සයෙක් වුණහම තමන්ගේ හැටි තේරුම්ගන්න ඕනේ. මට ඉක්මනට කේන්ති යනවා, ඊර්ෂ්‍යා හිතෙනවා වගේ තමන් ගැනම පොඩි හැදෑරීමක් තියෙනවා නම් හැඟීම් පාලනය කරන්න ලේසියි. උදාහරණයක් විදියට ගොඩක් කේන්ති යන කෙනෙක් නම් දෙයක් කරන්න කලින් තමන් එක්කම තර්ක කරන්න. මෙහෙම කළොත් ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් හිතලා තමන්ව පාලනය කරන්න. දුක, සතුට, ලිංගිකත්වය වගේ අනිත් හැඟීම්වලදිත් එහෙමයි.

හිත නිතරම කලබල වෙනවා නම් පුළුවන් විදියට භාවනා කරන්න. මනස සන්සුන් කරන සංගීතය අහන්න. යහපත් සිතිවිලි තියෙන මිනිස්සු එක්ක සම්බන්ධතා ඇති කරගන්න. එහෙමත් බැරිනම් උපදේශනයකට යොමුවෙන්න. හැඟීම් කළමනාකරණය කරන ක්‍රියාකාරකම් ගැන උපදේශනවලදි පුරුදු පුහුණු කරවනවා.

කිසිම වෙලාවක හැඟීම්වලට ඔබව පාලනය කරන්න දෙන්න එපා. ඒ වෙනුවට ඔබ හැඟීම් පාලනය කරන්න. ගෙදර ඉන්න සුරතලාගේ වගේ හැඟීම්වලත් ඔළුව අතගාලා ගානට යාප්පුවෙන් තියාගන්න කියන එකයි අවසානෙදි කියන්න ඕනේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here