සෝෂල් මීඩියා අපේ කෑම පිඟානට බලපාන හැටි – Sri News

0
11


ඉස්සර නම් බඩට බඩගින්න දැනුනාම අපි කුස්සියට යනවා. කුස්සියට ගිහින් වලං ගෙඩි ටික ඇරලා බැලුවාම “හම්මටසිරි අද නම් කෑම හොඳයි බත් ඩිංගක් කන්න ඕනා” කියලා කනවා. ඒ වගේම ගෙදර බිස්කට් ටින් එක, ෆ්‍රිජ් වගේ තැන් දැන් අපි කෑම සොයායන තැන් වෙලා ඉවරයි.  ඉස්සර පොළේ ගියාම අපි ආස කරන, ගෙදර අය ආස කරන දේවල් අරගෙන ආවා. දැන් ඒකට සුපර් මාකට් එක ඇවිත්. අපි ඒකට ගිහින් ඒ දේවල් මිලදී ගන්නවා. කෑම කන්න හොඳ කඩයක් තියෙනවා නම් ඉස්සර යාළුවෝ අපිව දැනුවත් කරනවා. ඒත් දැන් සෝෂල් මීඩියා අපේ ආහාර රුචිය, කන බොන දේවල්, කන්න යන තැන් ආදිය කෙරෙහි දැඩි බලපෑමක් කරනවා. අපි අද ඒ ගැන විමසා බලමු. 

 

1. ලොකු චරිත කන බොන හැටි 

අපි වෙළඳ දැන්වීම් ආදියේත් නිතර දකින දෙයක් තමයි ජනප්‍රිය චරිත කන බොන ආකාරය. මේ ගැන ඇමරිකාවේ ඇට්ලන්ටා වල එමොරි යුනිවර්සිටි එකෙන් කෙරුණු පර්යේෂණයක් තියෙනවා. ඒකට අනුව අපේ භාවිතාවන් ගැන තීරණය කරන්න අපි ආස කරන පුද්ගලයින්ට විශේෂ හැකියාවක් ලැබෙනවා. අපි ඔවුන් විදිහට හැසිරෙන්න, කන්න බොන්න ආසයි. ඔවුන් යන එන තැන් බලන්න ආසයි. ඔවුන් කෑමක් දැම්මත්, කන්න කොහෙහරි ගියත් අපිටත් ඒ දේවල් කරන්න ආසාවක් ඉබේම ඇති වෙනවා. 

 

2. බඩජාරින් අතර සිටියොත් ඔබ බඩජාරියෙක් වේවි 

අපි ගෙදර ඉඳන් එක්සයිස් කරනවාට වඩා ජිම් එකකට යෑමේ මානසික වාසියක් තියෙනවා. ඒ තමයි අපි වගේම බඩ අඩු කරගන්න, ඇඟ හදාගන්න කැමති සෙට් එකක් අපිට ජිම් එකේදි මුණ ගැහෙනවා. අපි වගේම අමාරුවෙන් එක්සසයිස් කරන අය අපිට දකින්නට ලැබෙනවා. කෑම වලදිත් එහෙම එකපාර කිලෝ ගණන් කිසි කැතක් නැතුව ගිලදාන මිතුරන් අතර සිටියොත් අපිත් ඉබේම බඩජාරි වෙනවා. ඒ වගේම හොඳට කිරලා මැනලා කන බොන, පෝෂණය ගැන සැලකිලිමත් යාළුවෝ අතර හිටියොත් ඒකත් අපිට බලපානවා. සෝෂල් මීඩියා අතර වුණත් එහෙමයි. අපි ෆොලෝ කරන පිටු සහ චරිත අපේ කෑම චර්යාවට බලපෑම් කරනවා. 

 

3. සෝෂල් මීඩියා වල ඇති පින්තූරයෙන් පසුපස කතාව 

සෝෂල් මීඩියා වල කෑම පිංතූරයක් දැක්කම අපේ ඇස් වලට කෙලින්ම පිංතුරය යනවා පමණක් නෙමෙයි, ඒ හා සම්බන්ධ වෙනත් සබඳතා ගොඩක් සිතටත් යනවා. උදාහරණයක් ලෙස යම් නිරූපිකාවක් කොහේහරි රෙස්ටොරන්ට් එකක කෑම කන පිංතූරයක් දැම්මොත් අපි එතැනදී ඇයගේ කෑම පිඟාන ගැන විතරක් නෙමෙයි, ඒ අවට සිටින අයට දකින්නට ලැබෙන ඇගේ රුව කෙරෙහිත් බැඳෙනවා. ඒ වගේම අපිව හලලා අපේම යාළුවෝ සෙට් එකක් කොහෙ හරි ගිහින් කාල තියෙනවා නම් අපිටත් ඒකට ඇරියස් එකට වගේ තවත් කොහෙ හරි ගිහින් කන්න හිතෙනවා. අන්න ඒ වගේ ආකර්ෂණීය පිංතූරය වගේම ඒ හරහා තියෙන බැඳීම් තොගයත් අපි සෝෂල් මීඩියා වල කෑම පිංතූර හරහා වැළඳ ගන්නවා. 

 

 

4. ගුණයට වඩා පැහැය මුලට ඒම

 

අපි කඩල ටිකක් තම්බගෙන පොල් එක්ක කන පිඟානක පිංතූරයක් හිතමු. ඊට වඩා කොහොමත් චීස් බර්ගර් එක්ක චිප්ස් ටිකක් පැත්තකින් තියලා ගත්තම ලස්සනයි. ෆාස්ට් ෆුඩ්ස් බොහොමයක් අපිට ගන්න තියෙන හෙල්දි ෆුඩ්ස් එහෙම නැතිනම් පෝෂ්‍යදායී ආහාර වලට වඩා හැඩයි, ලස්සනයි සහ වර්ණවලින් අපිට ආස හිතෙන තත්ත්වයක තියෙනවා. මේ තත්ත්වය එක්ක රෙස්ටොරන්ට් හිමිකරුවන් සහ කෑම නිපදවන අයත් කෑම වල ඇත්ත පෙනුමට, කෑම වල ඇත්ත රසයට වගේම ඉන්ස්ටග්‍රෑම් පෙනුමටත් මුල් තැනක් දෙනවා. 

 

 

5. ඉන්ෆ්ලුවන්සර්ලාට ලැබෙන තැන 

ලංකාවේ නම් ඉන්ස්ටා ඉන්ෆ්ලුවන්සර් කිව්වම මැවෙන්නේ පැහැපත් සමක් තියෙන සුන්දර නිරෝගී සිරුරක් තියෙන ලක්ෂණ යුවතියන්. මොකද ලංකාවේ කිසිම හේතුවක් නැතුව හිට්ස් ගොඩක් ගන්න එයාලට පුළුවන්. ඒත් සැබැවින්ම ඉන්ෆ්ලුවන්සර්වරු කියන්නේ අපේ තීරණ වලට බලපෑමක් කරන උදවිය. මෙයාල විවිධ පරාසයක ඉන්නට පුළුවන්. දැන් දැන් රෙස්ටොරන්ට් වල හොඳට ලයිට් පහසුකම් දාලා පොටෝ ගන්න පහසුකම් තියෙන ටේබල් තියෙනවා. ඒ වගේම එළියේ ඉඳන් ගන්න පොටෝ ලස්සන නම් එකටත් අවස්ථාව සලසලා තියෙනවා. සමහරු තරඟ තියලා පොටෝ සෝෂල් මීඩියා දැම්මහම ඒවාට දිනුම්ද ලබා දෙනවා. මේ කෑම සහ කෑම සෝෂල් මීඩියා හරහා පළකිරීමත් අපේ කෑම පුරුදු වෙනස් වෙන්න සෘජුවම බලපානවා. 

 

 

6. මිත්‍යාව වේගයෙන් පැතිරීම 

හෙල්දි ෆුඩ්ස් කියා හැඳින්වෙන කෑම ගැනත් විවිධ අර්ථකතන අන්තර්ජාලයේ තියෙනවා. ඒ අතර සත්‍යයෙන් අඩු සහ වෙනමම සිදුකරන මවාපෑම්ද තියෙනවා. උදාහරණ විදිහට දියලබු ගැන ඊමේල් හරහා එන ඇතැම්  ආටිකල් එකක දියලබු සිරුරේ තියෙන සියළුම රෝග නිවාරණය කරන්න හේතු වෙන බව මනාව විස්තර කරලා තියෙනවා. ඇතැම් විට දියලබු වල එහෙම ගතිගුණ තියෙන්න පුළුවන් වුණත් ඒවා හරියටම සත්‍ය වෙන්නේ නැහැ. දිය ලබු තුන්වේලට කෑවාය කියලා ඒ සෑම දොසක්ම නිවාරණය වෙන්නේත් නැහැ. ඒ වගේ සෝෂල් මීඩියා වල සමහර කෑම වලට ලියවෙන හෑලි වලිනුත් කැම කෙරේ බලපෑම් සිදු කරනවා. කොරෝනා පැතිරුණු කාලේ කොරෝනාවෙන් වැළකෙන්න විවිධ ආකාරයේ කෑම බීම හොඳයි කියලා සෝෂල් මීඩියා හරහා ෂෙයාර් වුණා ඔබට මතක ඇති. 

 

 

7. සෝෂල් මීඩියා දත්ත සහ ඇඩ්වර්ටයිසින් 

දැන් ඇඩ්වර්ටයිසින් කියන එක බෝඩ් වලට, රූපවාහිනී රේඩියෝ දැන්වීම්වලට සීමා වෙන්නේ නැහැ. සෝෂල් මීඩියාත් ඇඩ්වර්ටයිසින් වලට ඇවිත්. දැන් සෝෂල් මිඩියා වලදි අවශ්‍ය භාණ්ඩයට අදාළ ඉලක්කගත කාණ්ඩයටම ඒ දැන්වීම් පළ කරන්න පුළුවන්. කෑම බීම ජාති නම් ඒවා වැඩිපුරම ටච් වෙන පිරිසට ඒවා දකින්නට සලස්වන්නට පුළුවන්. ඒ වගේම යම් නිෂ්පාදනයක වර්ණය, හැඩය, එහි ස්වභාවය, ඒහි ගතිගුණ කෙරේ වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ මොන සාධක වලටද කියන එකත් සෝෂල් මීඩියා හරහා ගන්නට පුළුවන්. ෆෝන් කඩයක ෆෝන් රැසක් තිබුණත් ඒවායෙන් වැඩිම සේල්ස්, වැඩිම ඉල්ලුම එන්නේ මාදිලි කිහිපයකට විතරයි. ඒ වගේ රෙස්ටොරන්ට් වලත් වැඩිම එන්ගේජ් වන, වැඩිම කතාබහක් ඇතිවෙන දේවල් සොයාගන්නත් සෝෂල් මීඩියා වැදගත් වෙනවා. 

 

සෝෂල් මීඩියා වලින් ජීවිතයට, කෑම බීම වලට කරන සෘජු බලපෑම් නවත්වන්න අපිට බැහැ. සමහර විට අපි අකමැති වුවත් අප් දරුවන් සෝෂල් මීඩියා හරහා බැඳෙන දේවල් වලට අපිට ඉඩ දෙන්න වෙනවා. ඇතැම් කෑම බීම වයිෆ්, පෙම්වතිය, පෙම්වතා කැමති නිසා අරං දෙන්නට වෙනවා. ඒ වුණත් අපේ සෞඛ්‍යය සහ පෝෂණය ගැන වැඩිපුර හිතලා අපි කන බොන දේවල් පාලනය කරගැනීමේ මූලික තීරණය තවමත් තියෙන්නේ අපේ අතේ. 

 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here