සුපින්බර ජන්ම දිනයක් වේවා නාහිමියනේ – Sri News

0
4


අකාශ් තාරුක පෙරේරා

ශ්රී ලංකා අමරපුර මහ නිකායේ, අමරපුර ශ්රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක ධුරන්දර, අමරපුර මහ සංඝසභාවේ උපසභාපති ධූරීන, වස්කඩුව රාජගුරු ශ්රී සුභූති විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් ගෞර්වාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී ඇති අතර උන්වහන්සේට තවත් සුවහස් කලක් නිදුක් නීරෝගී චිරජීවනයම සැලසෙමින් ලෝ සසුන් වැඩවසන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ඉතසිතින් මම පාදාභිවන්දනයෙන් ප්රාර්ථනා කරන්නෙමි.

ශ්රී ලංකාවේ ශාසන ඉතිහාසයේ බොහෝමයක් යතිවර විද්වතුන් වහන්සේලා පිළිබඳ හැදෑරීමට අපට මූලාශ්රගත කරුණු හමුවන්නේ අමරපුර මහ නිකාය ඇසුරු කරගෙන ය. අපවත් වී වදාළ අතිගෞරවාර්හ වස්කඩුවේ රාජගුරු ශ්රී සුභූති නායක මාහිමිපාණන් වහන්සේ ද අප විසින් අධ්යනය කළ යුතුම වන එවැනි මහා යතිවර පඬිරුවනකි. උන්වහන්සේ පිළිබඳ පරිශීලනය කරන කල්හි මගේ අවධානයට වස්කඩුවේ රාජගුරු ශ්රී සුභූති විහාරස්ථානය පිළිබඳ කරුණු කිහිපයක් ද දැනගැනීමට හැකි වුවත් මා තරුණ වියටත් අවතීර්ණ වූ පසු මෑතකාලයකදී මුල්වරට මා එම විහාරස්ථානය වෙත පියනැගුවේ එහි පැවැත්වුණු සධාතුක සම්බුද්ධ පූජාමය පිංකමක් සඳහා සහභාගී වීමට ය. එහිදී මුල්වරට මට මුණගැසෙන ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නායක හිමියන් එකෙණෙහි පටන්ම වඩා සුහදශීලී ලෙසින් අප හට සත්කාර කොට, මහත් සේ සුපින්බර මතකයන් අප සිතෙහි අවක්ෂේප කරන්නට උත්සුක වූ සේක. එනිසාවෙන්ම දැනට දෙතුන් වසරකට ආසන්න කාලයක සිට මා දැන හඳුනන උන්වහන්සේ මෙසේ කෙටි මතකාවර්ජනයක් සටහන් කිරීම අද වැනි දිනයක උන්වහන්සේ වෙනුවෙන් පාදනමස්කාරපූර්වකව පිදෙන තුති කුසුමක් සේ පුදනු කැමැත්තෙමි.

 

මහින්දවංශ නායක හිමියන් ධර්ම ශාස්ත්රීය මෙහෙවරෙහි මෙන්ම සුපේෂල ශික්ෂාකාමී හිමිනමක ද ලෙස ද ධර්ම භාෂණයේ ද අප වෙත සලසාලන සරල නමුදු සංකීර්ණ ගැඹුර මාහැඟි ය. උන්වහන්සේ සමගින් වචන මාත්රයෙන් ගෙවන අඩ හෝරාවක කාලයකදී වුවත් ඉගෙනීමට ඇති දේ තෙරක් නොපෙනෙන තරම් ය. මගේ ලේඛන කලාව පිළිබඳ වුවද නිබඳව මහත් සේ උනන්දු වෙමින් ගුණදොස් අඩුලුහුඬුකම් පෙන්වාදෙමින් උන්වහන්සේ සලසන අනුශාසකත්වය වන්දනීය ආශිර්වාදයක් ම ය. ලෝක බෞද්ධ සම්මේලනයේ නියෝජ්ය මහ ලේකම්, ටිබෙට් – ශ්රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනමේ ගරු සභාපති ආචාර්ය දමින්ද පෝරගේ මැතිතුමා යටතේ සිදුවූ බොහෝමයක් වැඩසටහන් සහ ධර්ම කටයුතු වෙනුවෙන් නිබඳව මා දායක කරගත් නිසාවෙන් ම වස්කඩුවේ නාහිමියන් වැනි බොහෝමයක් දෙස් විදෙස් සුපතල, වන්දනීය විද්වතුන් වහන්සේලා ඇසුරු කිරීමේ සුදුර්ලභ වාසනාව භාග්යය මට සැලසිණි. එවැනි වැඩසටහන් ගණනාවකදී ම මට මුණගැසෙන්නට වූ වස්කඩුවේ අප නායක හිමියන්ගේ දෙසුම් රසාලිප්ත වාග් විලාසයකින් හැඩගැන්වෙන නිසාවෙන් ම සුදහම් භාෂිතය සහ කාලෝචිත පණිවුඩ වුවද ඒ ඔස්සේ අප මනසේ දොරටු විවර කරගනුයේ නිරායාසයෙනි.

 

මෑතකදී පැවැත්වුණු ජාත්යන්තර ද්විභාෂිත බෞද්ධ සම්මන්ත්රණයකදී උන්වහන්සේ කළ ප්රකාශයන් කිහිපයක් ම මගේ සිතට තදින් දැණුනි. ඒ අතුරින් මට වඩා සමීප වූවේ උන්වහන්සේ විසින් එස්. මහින්ද හිමියන් පිළිබඳ වදාළ ප්රකාශයන් කිහිපයයි. මෙරට ත්රෛනිකායික මහා සංඝරත්නයේ මහනායක, අනුනායක හිමිවරුන් වරක් ප්රමුඛ ආචාර්ය, මහාචාර්ය විද්වතුන් වහන්සේලා වැඩවිසූ එම සභා ගැබ මධ්යයේ වස්කඩුවේ හිමියන් එස්. මහින්ද හිමියන්ගේ මාහැඟි සාහිත්ය සේවාව අගයමින් පවසා සිටියේ ” අද අපි නොලියන කවි එදා මහින්ද හාමුදුරුවෝ ලීවා … ” යනුවෙනි. එය කාලීන, අවස්ථානෝචිත මෙන්ම සත්යවාදී ප්රකාශයකි. එලෙසින්ම මහින්දවංශ නාහිමියන් ද බොහෝ විට ජාතික ජාත්යන්තර ගැටලුවලදි මුල් තැන ගෙන මෙරට සහ විදෙස් පුවත්පත්, සඟරා ඇතුළු මාධ්ය වෙනුවෙන් සිදුකරන අරුත්බර සහ සාමකාමී ප්රකාශයන් ද ලෝක ආගමික නායකයන්ගේ පවා අවධානය දිනාගෙන ඇති අතර මම ද බොහෝ විට එම ප්රකාශයන් මහත් සේ සසුන්ලැදිව අගය කරන්නෙමි. එනිසාම අද මෙන්ම් හෙට ලෝකයේ ද ආගමික, ධර්ම ශාස්ත්රීය මෙන්ම සමාජීය සුසේවාවන්හි පරතෙරට වැඩම කරමින් ශාසනාවතංස අභිවෘද්ධිමත් කාර්යභාරයක් ඉටු කිරීම උදෙසා මහින්දවංශ නායක හිමිපාණන් වහන්සේ හට අප සැවොම දීර්ඝායු පැතීම වඩා වටිනා බව සිතමි.

 

සුඛී දීඝායුකෝ භව !



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here