සුදු හබරල, කළු හබරල හොඳ ඔසුවක්.. ඒ වගේම රසවත් ආහාරයක්… හබරල කෑවොත් කටකහනවා ක…

0
8

සුදු හබරල, කළු හබරල හොඳ ඔසුවක්.. ඒ වගේම රසවත් ආහාරයක්…

හබරල කෑවොත් කටකහනවා කියලා අපි හැමෝම දන්නවා. ඒත් ඒ හබරල ගහම අපේ ඇඟේ ලෙඩ රෝග නසන ඖෂධයක් විදිහට යොදා ගන්නවා කිව්වම සමහරවිට විට ඔබ එක්වරම එය විශ්වාස කරන එකකුත් නැහැ. ඒක සාධාරණයි. අව්වෙන් වැස්සෙන් බේරෙන්න කුඩයක් විදිහට හබරල පිති කපපු අපි එහෙම එක සැරේටම ලඳු කැලෑ වල ගාල් පිටින් ඔහේ හැදෙන ඒ හබරල ගහ ඖෂධයක් විදිහට ගන්නවා කිව්වම කොහොම විශ්වාස කරන්නද නේද? ඇත්තම කිව්වොත් හබරල හොඳ ඔසුවක් විතරක් නෙවෙයි හොඳ ආහාරයක්.

හබරල වර්ග 02 කි

01). සුදු හබරල – කොළ පැහැති පත්‍ර සහිත ශාකය
02). කළු හබරල – කළු පැහැති පත්‍ර සහිත ශාකය

මේ හබරල වර්ග දෙකම ඔසු ගුණයෙන් යුක්තයි. මෙම හබරල ශාකයේ අල විතරක් නෙවෙයි එහි පිති සහ කොළ ද ඖෂධ සැකසීමට භාවිතා කෙරෙනවා.

🔴 සුදු හබරල වල ඖෂධීය භාවිතය
===============================

🔶. මාපිල් විෂ නැති කිරීමට
🔶. කුඩා දරුවන්ගේ යටි බඩෙහි සහ සට්ටම් වල ඇතිවන ගෙඩි සුව කිරීමට
🔶. මුහුණේ ඇතිවන කුරුලෑ සුව කිරීමට
🔶. බල්ලන් සපා කෑ විට ඇතිවන තුවාල සුව කිරීමට
🔶. උඳුගොව්වන් කෑමට
🔶. සෙම් ගෙඩි වලට
🔶. පොළොන් විෂට
🔶. හොරි, දද සහ කුෂ්ඨ වැනි චර්ම රෝග සුව කිරීමට
🔶. කටුවක් ඇනුණු විට එය පහසුවෙන් එළියට අද්දවා ගැනීමට
🔶. හන්දිපත් කැක්කුම සුව කිරීමට

🔴 කළු හබරල වල ඖෂධීය භාවිතය
================================

🔷. කුරුලෑ සුව කිරීමට
🔷. බඩේ දැවිල්ල ,අත්පා දැවිල්ල හා රක්ත ඌෂ්ණය සුව කිරීමට
🔷. විසර ගෙඩි වල සැරව එලියට ඇද්දවීමට
🔷. සියළු සර්ප විෂ ඉවත් කරවීමට
🔷. සෙම් ගෙඩි සුව කිරීමට

🔴 හබරල අල ආහාරයක් ලෙස සකසාගන්නා ආකාරය..

හබරල ශාකයෙහි කඳ හෙවත් අලය ඉතා රසවත් ආහාරයක්. එහෙත් බොහෝ දෙනා මෙය ආහාරයට ගැනීමට මැලි වන්නේ මෙහි යුෂ සිරුරේ ගෑවුන විට අධික කැසීමක් හටගන්නා නිසයි.

ආහාරයට ගත හැකි හබරල ගස තෝරාගැනීමට අපේ පැරැන්නන් භාවිතා කළ එක් ක්‍රමයක් වන්නේ බිමට මුල් නොඇල්ලූ හබරල කඳ කොටස හොඳ තියුණු පිහියකින් කපා දැමීමයි. මෙහිදී එම පිහිතලය මත සුදුපැයක් තැවරී ඇත්නම් එවැනි අල ආහාරයට ගැනීමට සුදුසු අල ලෙස ඔවුන් සැලකුවා.

හබරල කඳ කපා සතියකින් දෙකකින් එහි ජලය වියළී ගිය පසු පිට පොත්ත හොඳින් ඉවත්කර එම අල කුඩා කැබලි වලට කපා ලුණු සහ ගොරකා මිශ්‍ර කර හොඳින් තම්බා එහි දිය හිඳෙන විට උකුවට සාදන ලද මිරිස් හොදි දමා හොඳින් කූරු ගා පසුව කෑමට ගනු ලැබුවා.

🔴 හබරල අලයෙන් අග්ගලා සැකසීම…

තෙත බැස ගිය හබරල අල ලොකු කැබලි වලට කපා පොළවෙහි වලක් හාරා ඒ තුළ අල කැබලි බහා මතුපිටින් ගිනිමැලයක් අවුලවා තබා දින දෙකකට පසුව අලයෙහි ඇතුලත පිටි සහිත කොටස සම්පුර්ණයෙන්ම සූරාගත හැකියි. ඉන්පසු මෙම පිටි වලට කිතුල් පැණි එක්කර රසවත් අග්ගලා සකසාගන්න පුළුවන්.

🔴 කට කහන්නෙ නැතිව හබරල අල හදන කෙම් ක්‍රමය :-

කිසිවෙකු සමඟ කතා නොකර හබරල අල ගලවා සුද්ධ කර එම අල තම්බාගන්න.

සුදු හබරල ඖෂධයක් ලෙස භාවිතා කරන ආකාරය
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

01). සුදු හබරල මැල්ලුම
••••••••••••••••••••••••••••••••••••

මාපිල් විෂයට විදි පවසන්නේ
එම ගස එම කොළ එම පිති ගන්නේ
එම අල එම මුල් සහ ලුණු ලන්නේ
එම විෂයට එම බේත බොලන්නේ

හබරල ගසේ අලය, කොළය, පිත්ත සහ මුල ආදී ගසේ සෑම කොටසක්ම සම ප්‍රමාණයෙන් ගෙන හොඳින් සෝදා සුද්ධ කර කැබලිවලට කපා ගන්න. ඉන්පසු එම සියලුම කොටස් බෙහෙත් වංගෙඩියේ දමා කොටාගන්න. මෙම මිශ්‍රණයට අමු කහ කැබැල්ලක් සහ ලුණු ස්වල්පයක් ද එකතු කර නැවතත් හොඳින් කොටා ගන්න. පසුව මෙම මිශ්‍රණය මඳ ගින්නේ මිනිත්තු 05-10ක් මලවා ගන්න. මෙම මිශ්‍රණය මාපිලා දෂ්ඨ කළ මුඛයේ තුන් වරුවක් බැඳීමෙන් එම විෂ නැසේ.

02). සුදු හබරල හා මී පැණි ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
=============

• සුදු හබරල අලය
• මීපැණි

☘️ සාදන ක්‍රමය
==============

හබරල අලයෙන් අවශ්‍ය ප්‍රමාණයට කැබැල්ලක් ගෙන එය සෝදා උණු අළුපල්ලේ මිනිත්තු 05 ක් පමණ තැම්බීමට හරින්න. පසුව එම අල කැබැල්ල මී පැණියෙන් සිනිඳු වන සේ අඹරා ගන්න. සාදා ගත් ඔසුව දිනකට දෙවරක් උදේ සවස ගෙඩි හා කුරුලෑ මත ආලේප කරන්න.

03). සුදු හබරල හා හුණු ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
==============

• සුදු හබරල අල කැබැල්ලක්
• ආහාරයට ගන්නා හුණු අවශ්‍ය පමණින්

☘️ සාදන ක්‍රමය
==============

අල කැබැල්ල හොඳින් සෝදා පොතු හැර ගන්න. හුණු සමඟ මෙම අල කැබැල්ල සිනිඳු වන සේ අඹරා ගන්න.

බල්ලෙකු සපා කෑ විට එම තුවාලය වැසෙන තුරු මෙම මිශ්‍රණය ආලේප කරන්න. ඉන්පසු එයට කිහිප වරක් හුස්ම පිඹින්න. මේ ආකාරයෙන් දිනකට දෙවාරයක් (උදේ/සවස) දින 2-3 ක් ආලේප කරන විට තුවාලය වියළී යයි.

04). සුදු හබරල මිශ්‍රිත ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••

මුරුංගා දළු, දෙහි දළු සහ ඇටත් සමඟ දෙහි සම සමව ගන්න. කරාබු නැටි 04ක් 05 ක් ද එයට එකතු කරගන්න. හබරල කැබැල්ලක්ද ගෙන සුද්ධ කර මෙයට දමා මේවා සියල්ල දෙහි ගෙඩි වල යුෂෙන් සිනිඳු වනසේ අඹරා ගන්න.

මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් සෙම් ගෙඩි පවතින විට උගුරේ ඇතුළු පැත්තේ ඇඟිල්ලකින් තවරන්න. මෙසේ සුව වන තුරු එය වරින් වර ආලේප කරන්න.

05). සුදු හබරල මිශ්‍රිත ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••

හබරල අල, අළු කොසෙල් අල, නියඟලා අල සහ කිතුල් කොළ යන මේවා සුද්ධ කර සම ප්‍රමාණ වලින් ගන්න. එම සියලුම ද්‍රව්‍ය එකතුකර වංගෙඩියේ දමා කොටා ගන්න. (නියඟලා අල වල විෂ නිසිපරිදි මාරනය කරගන්න.)

පොළඟෙකු දෂ්ඨ කල විට මෙම මිශ්‍රණය නර මූත්‍ර දියෙන් අඹරා හිස ගල්වන්න. මෙම ප්‍රතිකරය වරු 03 ක් වත් සිදු කරන්න. (නර මූත්‍ර සඳහා යොදා ගනු ලබන්නේ වයස අවුරුදු 12 ට අඩු දරුවන්ගේ මූත්‍රාය.)

06). හබරල අල මිශ්‍රිත තෛලය
•••••••••••••••••••••••••••••••••••••••••••••

පළමුව භාජනයකට තල තෙල් ස්වල්පයක් දමා උතුරවන්න. එයට සිහින්ව කපා ගත් හබරල අල පෙති 08ක් 10ක් දමා මිනිත්තු 02 – 03ක් ගත වූ පසු එම හබරල පෙති කිහිපය ඉවතට ගන්න.

මෙම තෙල් හොරි, දද, කුෂ්ඨ ඇති සහිත ස්ථාන වල ආලේප කරන්න. මෙසේ හොරි, දද, කුෂ්ඨ සුවවන තුරු මෙම ආලේපය ගාන්න. වරින් වර නොකඩවා ආලේප කරන්න.

07). හබරල පිති යුෂ
••••••••••••••••••••••••••••••

හබරල පිත්තක් ගෙන එය තුළට කෝමාරිකා පිල්ලක් බහා මිනිත්තු 05ක් 10ක් උණු අළුවෙන් තම්බන්න. හබරලා නම් සර්පයා දෂ්ඨ කළ විට මෙහි මිරිකා ගත් යුෂ රෝගියාට පොවන්න. මෙසේ වාර 02 ක් වත් සිදු කරන්න.

08). සුදු හබරල අල මිශ්‍රිත ආලේපය
••••••••••••••••••••••••••••••••••••••••••••••••••

කරිංගල, කොහිල සහ හබරල අල සුද්ධ කර කස ප්‍රමාණයෙන් ගන්න. ඒවා කැබලි වලට කපා නර මූත්‍ර දියෙන් සිනිඳු වන සේ අඹරන්න. මෙම මිශ්‍රණය තුන් වරුවක්වත් හිස ගැල්වීමෙන් පොළොන් විෂ නසයි.

09). කුණු වූ හබරල පෙති බැඳීම
•••••••••••••••••••••••••••••••••••••••••••••

කටුවක් සම යටටම ඇනුණු විට රාත්‍රි කාලයේදී කුණු වූ හබරල පිත්තක් ගෙන එම කටුව ඇනුණු ස්ථානය පාදා බැඳ තබන්න. උදෑසන එම කටුව උඩට මතුවී ඇති සැටි ඔබට දැකගන්න පුළුවන්.

10). සුදු හබරල අල මිශ්‍රිත ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
=============

• කුඹුරු ඇට මද කලං 02
• හබරල අල 100g
• මී පැණි අවශ්‍ය ප්‍රමාණයට

☘️ සාදන ක්‍රමය
==============

හබරල අලය සුද්ධ කර සිහින්ව පෙති කපාගන්න. එය කුඹුරු ඇට මද සමඟ හොඳින් සිනිඳු වන සේ අඹරා ගෙන එම මිශ්‍රණය මීපැණි සමඟ අවශ්‍ය පමණින් කලවම් කරගන්න. හන්දිපත් කැක්කුම ඇති විට එම ස්ථානයේ උදේ, සවස මෙය ආලේප කරන්න. රෝගය සුව වෙන තෙක් ස්නානයෙන් වළකින්න.

කළු හබරල ඖෂධයක් ලෙස භාවිතා කරන ආකාරය
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

01). කළු හබරල ආලේපය
••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
==============

• කළු හබරල අල කැබැල්ලක්
• දෙහි ගෙඩියක යුෂ

☘️ සාදන ක්‍රමය
==============

කළු හබරල අලය හොඳින් සෝදගෙන එය දෙහි යුෂයෙන් සිනිඳු වන සේ අඹරා ගන්න. මෙම ආලේපය දිනකට 01කට වරක් නෑමට මිනිත්තු 30 කට පෙර, අඛණ්ඩව සුව වෙන තුරු කුරුලෑ මත ආලේප කරන්න. ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකියි.

02). කළු හබරල මිශ්‍රිත කසාය
•••••••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
==============

• කළු හබරල අල
• කොහිල අල
• කිඩාරන් අල
• රතුළූණු
• ඉරිවේරිය
• ගොටුකොළ
• සීනි තේ හැඳි 01ක්
• මීපැණි තේ හැඳි 01ක්
(මේවා සියල්ල සම සමව ගන්න.)

☘️ සාදන ක්‍රමය
==============

මැටි භාජනයකට ජලය අඬු කෝප්ප 08 ක් දමන්න. එයට සෝදා ගත් අල වර්ග කැබලි කපා දමන්න. රතුළූණු, ඉරිවේරිය, ගොටුකොළ ද එයට එකතුකර මිශ්‍රණය අඬු කෝප්පයකට සිඳුවා ගන්න. සීනි හා මීපැණි ද මිශ්‍රණයට එකතු කරන්න.

මෙයින් අඬු කෝප්ප 01 බැඟින් උදේ/ සවස දින 04 ක් පමණ යනතුරු පානයට ගැනීමෙන් උදර ප්‍රදේශයේ දැවිල්ල, අත් පා දැවිල්ල හා රක්ත ඌෂ්ණය සුව කරගත හැකියි. වයස අවරුදු 15න් ඉහළ අයට පමණක් මෙම කසාය ලබා දීම සුදුසුයි.

03). කළු හබරල හා අනෙකුත් අල මිශ්‍රිත ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
==============

• කළු හබරල අල
• වල් ළූණු අල
• බේදුරු අල
• ඇඹුල් දොඩම් ගෙඩි 01 ක යුෂ
• තොලබෝ අල
(මේවාඅ සියල්ල සම සමව ගන්න)

☘️ සාදන ක්‍රමය
==============

ඉහත සඳහන් අල වර්ග පොතු හැර සෝදා සම සමව ගන්න. මෙම අල වර්ග සිංහල හාල්පානු වතුරින් මිනිත්තු 20ක් පමණ තම්බා ගන්න. පසුව එම තම්බාගත් අල ඇඹුල් දොඩම් යුෂයෙන් සිනිඳු වන සේ අඹරා ගන්න.

මෙම ආලේපය උදේ සවස විසර ගෙඩි මත ආලේප කිරීමෙන් එම විසර ගෙඩිය පුපුරා සැරව ඉවත්ව යයි. මෙය වයස් සීමාවකින් තොරව භාවිත කළ හැකියි. මෙමඟින් සර්ප විෂ ද ඉවත් වේ. ස්නානය අගුණයි. වයස් භේදයකින් තොරව කළ හැකි ප්‍රතිකර්මයකි.

04). කළු හබරල හා කැකිරි හොඬල ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
==============

• කළු හබරල අල
• කැකිරි හොඬල
• කහ සහ ලුණු

☘️ සාදන ක්‍රමය
===============

ඉහත සඳහන් ඖෂධ සියල්ල සම සමව ගෙන බෙහෙත් වංගෙඩියේ දමා කොටාගන්න. නාගයෙකු දෂ්ඨ කළ විට මෙම මිශ්‍රණය එම ස්ථානයේ ආලේප කරන්න. දින 02-03 ක් ආලේප කිරීමෙන් නාග විෂ ඉවත් වේ. වයස් භේදයකින් තොරව ආලේප කළ හැක.

05). කළු හබරල හා ඇඹුල් දොඩම් යුෂ ආලේපය
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
==============

• කළු හබරල අල කලන් 05
• ඇඹුල් දොඩම් ගෙඩි 01 ක යුෂ
• ලුණු තේ හැඳි 01

☘️ සාදන ක්‍රමය
==============

කළු හබරල අලය සෝදා මිනිත්තු 05ක් උණු අළු පල්ලේ ගසා තම්බා ගන්න. දොඩම් යුෂෙන් හා ලුණු දියරෙන් තම්බා ගත් කළු හබරල අලය සිනිඳු වන සේ අඹරා ගන්න. සෙම් ගෙඩි පවතින අය මෙයින් ස්වල්පය බැගින් සෙම් ගෙඩිවල ආලේප කිරීමෙන් එය සුව කරගත හැකියි. ආලේප කිරීමේදී ප්‍රවේශමෙන් කළ යුතුය. වයස අවුරුදු 18ට වැඩි අය සඳහා මෙම ප්‍රතිකාරය වඩා යෝග්‍ය වේ.

06). කළු හබරල දිය හබරලාදී ලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

☘️ අවශ්‍ය ද්‍රව්‍ය
==============

• කළු හබරල අල
• දිය හබරල අල
• හීන් උඳුපියළිය
• පනම් පෙති
• අහු ගැට
• දෙහි ගැට
(මේවා සියල්ල සම සමව කුඩා ප්‍රමාණයක් ගන්න.)

☘️ සාදන ක්‍රමය
==============

මෙම සියලුම ද්‍රව්‍ය හාල්පානු වතුරෙන් මිනිත්තු 20 ක් පමණ තම්බා එම වතුරෙන්ම අඹරා ගන්න. මෙම සකසාගත් ඖෂධ ආලේප කිරීමෙන් ශරීරයේ ඕනෑම ස්ථානයක හටගත් විසර ගෙඩි පැසවා සාරය යාමට උපකාරී වේ. මේ අනුව සාරය ගලා යන මුහුණත හැර වටේට මෙම ඖෂධය තුන් වරුවක් ආලේප කළ විට එම ගෙඩිය පුපරා සැරව ගලා යන අතර එසේ නොයන්නේ නම් දිය බෙරලිය කොළයේ ගොබය හැර එම නාරටියෙන් ගෙඩියේ මුහුණත අතින් කැරකවූ පසු මුහුණත පෑදී ගෙඩිය පුපුරා යයි.

07). කළු හබරල නස්නය
•••••••••••••••••••••••••••••••••••••

කළුහබරල කොළයක් ගෙන කුඩා කැබලිවලට කපා ගන්න. එම කොළ කැබලි දෙහි ගෙඩියක යුෂයෙන් හෝ නර මූත්‍රා වලින් අඹරාගන්න. මාපිලා කෑ පුද්ගලයෙකුගේ නහස් පුඬු දෙකට මෙම ඖෂධය ඇතුළු කර ඒවාට පිඹීමෙන් සර්වාංගයටම ඖෂධයේ බලය පැතිර යන අතර ඇස්වල හා මොළයට පැතිර ගිය මාපිල් විෂ තුරන් වී යයි. මෙසේ දිනකට වරු දෙකක් වත් මෙය කරනු ලැබිය යුතුයි.
(නර මූත්‍රා ලෙස අවුරුදු 12 ට අඩු පිරිමි දරුවන්ගේ හෝ ගැහැණු දරුවන්ගේ මුත්‍රා යොදාගනු ලබයි.)

08). කළු හබරල ආලේපය
••••••••••••••••••••••••••••••••••••••

කළු හබරල අල කැබැල්ලක් ගෙන සුද්ධ කර ගන්න. සුදු ළූණු බික් 04 ක්, ගම්මිරිස් ඇට 10 ක් හා මුරුංගා පොත්තක් රැගෙන කළු හබරල කැබැල්ල සමඟ දෙහි යුෂයෙන් අඹරන්න.
නාග විෂ නැසීමට ඉහත ඖෂධය දෂ්ඨ කළ තුවාලයට බඳින්න. මෙසේ තුන් වරුවක් වත් කළ යුතුයි. ස්නානය අගුණයි.

09). කළු හබරල හා හක් බෙලි අළු ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

කළු හබරල අලයක් ගෙන සුද්ධ කර ලිපට දමා මිනිත්තු 10ක් පමණ උණු අළු පල්ලේ ගසා තබන්න. එසේම හක් බෙල්ලෙක් ද ගෙන ලිපට දමා මිනිත්තු 15ක් පමණ පුළුස්සා එහි අළු ද ලබාගන්න. පුළුස්සා ගත් කළු හබරල අලය සහ හක්බෙල්ලාගේ අළු දෙහි ගෙඩියක් යුෂයෙන් ගලගා ගන්න. මෙම ආලේපය සෙම් ගෙඩි පවතින විට උගුරේ පිට පැත්තේ ගල්වන්න. සුව වනතුරු කිහිප වරක් ආලේප කරන්න.

10). කළු හබරල වියන් දුඹුළු ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

හුඹස් ආස්මී, කළු හබරල අල සහ වියන් දුඹුළු සම සමව ගන්න. එම ද්‍රව්‍යයන් නර මූත්‍රයෙන් අඹරා එයින්ම කකාරන්න. පොළොන් විෂ නිසා ඇතිවන ඉදිමුමට මෙය ප්‍රතිකාරයක් වන අතර ඉදිමුම බසිනා තෙක් වරින් වර ආලේප කරන්න.

11). කළු හබරල අමු කහ ආලේපය
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

කළු හබරල අලයක් මිනිත්තු 10ක් පමණ උණු අළු පල්ලේ ගසා තම්බාගන්න. වල්ළූණු අල, හෙන්දිරික්කා අල, අමු කහ හා තැම්බූ කළුහබරල අල සම ප්‍රමාණයෙන් ගන්න. මේ සියල්ල හාල්පානු වතුරෙන් හෝ පොල් කිරෙන් අඹරා ගන්න. මෙම ඖෂධය ශරීරයේ ඕනෑම ස්ථානයක හට ගන්නා ගෙඩියක් පැසවා මිරිකී යාමට උපකාරී වේ. මෙසේ ගෙඩිය පැසවා මිරිකී යනතුරු වරින් වර ආලේප කරන්න. මෙයින් ගෙඩියේ පැතිරීම වළකාලයි.

12). කළු හබරල අල යුෂ ආලේපය
••••••••••••••••••••••••••••••••••••••••••••••••

කළු හබරල අලයක් ගෙන සුද්ධ කරන්න. අවශ්‍ය පමණින් ලුණු දියරින් එම අලය ගලගා ගන්න. මෙය සෙම් ගෙඩි පවතින විට උගුරේ පිට පැත්තේ ආලේප කරන්න. සෙම් ගෙඩි සුව වන තුරු දිනකට දෙතුන් වරක් ආලේප කරන්න.

13). කළු හබරල කොළ යුෂ ආලේපය
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

කළු හබරල කොළයක් කැබලිවලට කපා ගන්න. කැපූ කොළ කැබලි අවශ්‍ය පමණ ලුණු දියර ගෙන එයින් සිනිඳු වන සේ අඹරා ගන්න. තැල්මක් මඟින් සිදුවන ඉදිමුම සුවකිරීමට මෙම ඖෂධය ඉදිමුණු ස්ථානයේ ආලේප කරන්න. දෙතුන් වරක් ආලේප කරන විට ඉදිමුම සුව වේ.

14). කළු හබරල මිශ්‍රිත ආලේපය
••••••••••••••••••••••••••••••••••••••••••••••

කළු හබරල අල, නියඟලා අල සහ අමු කහ සුද්ධ කර සම ප්‍රමාණයෙන් ගන්න. මෙම තුන් වර්ගය කැබලි වලට කපා ලුණු කැටයක් හා වියළි මිරිස් කරලක් සමඟ සිනිඳු වන සේ අඹරා ගන්න. පසුව එය මිනිත්තු 05ක් 06ක් පමණ කබලේ දමා පැස්සවා ගන්න. මෙය කටු පිළිකාවට ප්‍රතිකාරයකි. අදාළ ස්ථානයේ මෙම ඖෂධය ආලේප කරන්න. උදේ/සවස සුව වෙනතුරු දිනපතා ආලේප කළ යුතුයි.

🚫 සැලකිය යුතුයි
================

මෙහි සඳහන් කර ඇති ඖෂධ පන්තීන් ඔබ හට ඉදිරිපත් කර ඇත්තේ දේශීය වෙදකමේ ඇති බල මහිමයත්, ගුණ මහිමයත් ඔබට ගෙනහැර දැක්වීමේ අදහසිනි. එම නිසා මෙම ප්‍රතිකාර පන්තීන් භාවිතා කිරීමට පෙර සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න.

📗 මූලාශ්‍රය :- සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග (දමයන්ති ගොඩමුල්ල මහත්මිය), අන්තර්ජාලය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #හබරල #හබරල_අල #habarala #taro #taroplant #elephantearplant #treatmentsforheadache #healthylifestyle #ayurvedalifestyle #ayurvedalife #Ayurveda #srilankanmedicine #helamedicine




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here